වර්ෂ 2025 ක්වූ May 05 වැනිදා Monday
ඇඟිලි තුඩු පෙන්වන ඔබේ ඉරණම

ඇඟිලි තුඩු අනුවද ඒ ඒ පුද්ගලයාගේ ස්වභාවයන් හෙළිදරව් කෙරෙන අතර මෙම හෙළිදරව්ව පස් ආකාර වෙයි.
1. රවුම් ඇඟිලි තුඩු
2. හතරැස් ඇඟිලි තුඩු
3. ශෘංගාකාර ඇඟිලි තුඩු
4. කෝණාකාර ඇඟිලි තුඩු
5. මිශ්‍ර ඇඟිලි තුඩු
1. රවුම් ඇඟිලි තුඩු
මෙවන් ආකාරයේ ඇඟිලි තුඩු පිහිටා ඇති පුද්ගලයා අවබෝධයෙන් යුතුව කටයුතු කරයි. ලද අත්දැකීම් මත කුමන දෙයක් පිළිබඳ වුවද මනා දැනීමකින් යුක්තව කටයුතු කිරීමෙහි සමත් වෙයි. මනා ක්‍රියාශීලී බවකින් යුතුවන අතර ධෛර්ය සම්පන්න වෙයි. නිර්මාණාත්මක වේ. බොහෝ තැන්හිදී අලුත් අලුත් දේ නිපදවයි. නව මාර්ග සොයා ගනී. ගවේෂණයෙහි සමත්වෙයි. තමන් බාරගත්කාර්ය මනාව ඉටුකරන අතර ක්රමානුකූල ලෙසත්, අලංකාරවත් ලෙසත් කටයුතු කිරීමේ හපනෙකු වේ. තර්කානුකූල ලෙස සිතයි. අනෙකකු කී පමණින් පිළිනොගනියි. පර්යේෂණ කරයි. ප්රත්යක්ෂ තුළින් තත්ත්වාකාර අවබෝධයක් ලබා ගනියි. උද්යෝගිමත් වේ. සිතුවිලි බහුල වේ. ඥානවන්ත වේ.
2. හතරැස් ඇඟිලි තුඩු
මෙවන් ඇඟිලි තුඩු ඇත්තන් වැඩ කරන්නේ ඉතා ක්රමානුකූල අන්දමිනි. එහෙන් මෙහෙන් කරන වැඩවලට කැමති නොවේ. මනා පෞරුෂත්වයකින් යුතු වේ. තමන් කළ යුතු වැඩ කොටස මනා ලෙස කාර්යක්ෂම ලෙස ඉටු කරයි. යුක්තිගරුක වේ. සංවර වෙයි. අධිෂ්ඨානශීලී වේ. හදවතට එකඟව වැඩ කටයුතුවල යෙදෙන්නෙකි. තමන්ගෙන් ඉටුවිය යුතු යුතුකම් මනාව ඉටුකරයි. අසාධාරණයට එරෙහි වෙයි. අවශ්‍ය තැන්හිදී නැඟී සිටි නමුදු ගතිගුණ ඇතත් යුක්තිය වෙනුවෙන් කුමනාකාර තත්ත්වයකට වුවද මුහුණ දීමට නොපසුබට වෙයි. ආත්ම ගෞරවය වෙනුවෙන් සටනකට වුවද සූදානම්ය.
3. ශෘංගාකාර ඇඟිලි තුඩු
ක්රමානුකූල ලෙස සිහින් වී ගොස් අවසානයේ බෙහෙවින් අලංකාරවත් ලෙස කවාකාර වී නිමාවන මෙම ඇඟිලි තුඩු පිහිටන්නේ කලාත්මක හැඟීම් සහිත උණුසුම් මෘදු හදවත් ඇති පුද්ගලයන්ට ය. ප්‍රීති සහගතව නිතර පසුවන, අලංකාරයට රසවත් බවට මිහිරට ප්‍රිය කරන මොවුන් බෙහෙවින් අවංක වෙයි. කිසිදු අවිශ්වාසයක් නොමැතිව අන්‍යයන් ඇසුරු කරන මොවුහු බොහෝ විට රැවටෙති. තර්කයට වඩා හදවතට හැඟීමට මුල්තැන දෙන මොවුන් අන්‍යයන්ගේ ප්‍රශංසාවට මුසාවට මුළා වෙති. ස්ථිර ලෙස ප්‍රතිපත්ති මත පිහිටීමේ අසමත් වෙති. මිහිරි සිහින මවති. එහෙත් සිහින සැබෑ කරගන්නට ප්රයත්න නොදරති. විටෙක ඉතා කඩිසර ලෙස කටයුතු කළද ස්වභාවයෙන් කඩිසර චරිතයක් නැත. ධෛර්යය මඳ වේ. ඒකාකාරීත්වයට අකමැති වේ. රසබර අත්දැකීම් ලබන්නට දැඩි උනන්දුවක් දක්වති. අධිෂ්ඨානය දුර්වල වේ. කාමුක සිතුවිලිවලින් යුතුවේ. ජයග්රහණයන් කරා හෝ ජීවිතයේ සාර්ථකත්වය කරා ඉබේ තල්ලු වී යන වාසනා ගුණයක් සහිත වේ.
4. උල් ඇඟිලි තුඩු (කෝණාකාර ඇඟිලි තුඩු)
උසස් කල්පනා ශක්තියකින් යුතුවේ. ක්‍රියාකාරී බවින් අඩු වුවද තමන් භාරගත් කටයුතු දක්ෂභාවය නිසාම මනාකොට නිම කිරීමට සමත් වේ. දක්ෂ වෙයි. බුද්ධියට වඩා සිතට වහල් වීමේ ස්වභාවය බෙහෙවින් වැඩිය. එබැවින් බොහෝ කරදරවලට මුහුණ දීමට සිදුවේ. ඉතා මෘදු හැඟීම් ඇති බැවින් ප්රශ්නවලදී අන්දමන්ද වෙති. අන්‍යයන්ගෙන් උපකාර නොලදහොත් බෙහෙවින් දුකට පත් වෙති. මෙවැනි මොහොතක සිය පණ හානි කර ගැනීමට පවා සිතන්නට තරම් ඔවුන් ආත්ම ශක්තියෙන් හීන වේ. අලංකාරයට දැඩි සේ ඇලුම් කරති. සිහින මැවීමත් එම සිහින රසවිඳිමින් කාලය කා දැමීමත් මොවුන්ගේ සිරිතය. තමන්ම තමන් ගැන තෘප්තිමත් වන පුද්ගලයින් වීම ඔවුන්ගේ දියුණුවට ඉමහත් බාධාවක් වෙයි.
ප්‍රේමය ශෘංගාරය වැනි හැඟීම්වලට වහල් වී වැඩ කටයුතු කරන්නට ගොස් අපහසුවට පත්වන අය මේ අතර වේ. කලාකාමී හදවතක් තිබුණද එම හැඟීම් ගැඹුරු නොවේ. සරල වින්දනයකට ඔවුහු දැඩිසේ ඇලුම් කරති. ජීවිතයේ සැබෑ ගැඹුරු නොදකින මොවුන් බොහෝවිට දුකින් පිරි ජීවිතවලට ඇද වැටෙති.
5. මිශ්‍ර ඇඟිලි තුඩු
කිසිදු අතක එක හා සමාන ඇඟිලි තුඩු පිහිටන්නේ නැත. බැලූ බැල්මට එක හා සමාන ලෙස පෙනුණද ඇඟිලි තුඩු එකිනෙක අතර සැබෑ වෙනස්කම් දැකිය හැක්කේ දැඩි නිරීක්ෂණශීලී දෑසකින් යුතුව පරීක්ෂා කළොත් පමණි. එහෙත් බැලූ බැල්මට විවිධාකාර තුඩු සහිත ඇඟිලි පිහිටි පුද්ගලයින්ද දක්නට ලැබේ. මිශ්‍ර ඇඟිලි තුඩු සහිත පුද්ගලයින් ලෙස සැලකෙන්නේ එවන් පුද්ගලයන් බැව් සාමුද්‍රික ශාස්ත්රයේ නියමයයි.
එවැනි ඇඟිලි තුඩු පිහිටි පුද්ගලයින් විවිධ ගතිගුණ දරති. බොහෝ කටයුතුවලදී දක්ෂතා දක්වන්නේ, ඉතා සටකපට මායම් ද සහිත එවන් පුද්ගලයන් වෙෙළඳ සමාගම්වල ඉහළ තනතුරු දරති. දේශපාලන ක්ෂේත්රයේ ඉහළ තනතුරු දරති. ඔවුන්ගේ ක්‍රියා පිළිවෙත පිළිබඳ කිසිදු නිශ්චිත බවක් නැත. සියලු ගතිගුණ සම්මිශ්‍රව පවතී. ඇතැම් විට නොසිතූ විරූ දියුණුවක් ලබන්නට ඔවුන් වාසනාවන්ත වන අතර ඇතැම් විට සිතාගත නොහැකි තරමේ අසාර්ථකභාවයකට වුවද පත්වීමට ඉඩ ඇත.
කෙසේ වුවද මොවුහු සාර්ථක යුග දිවියක් ගෙවති. අඹු දරුවන් වෙනුවෙන් කළ යුතු යුතුකම් නොපිරිහෙලා ඉටුකරති. දැඩි ආත්මාර්ථකාමී ලෙස ඇතැම් විටෙක හැසිරෙන මිශ්‍ර ඇඟිලි තුඩු සහිත වූවන් ඇතැම් විටෙක විශ්වාස කළ නොහැකි තරමේ පරිත්‍යාගශීලීන් ලෙස කටයුතු කරනු දකින්නට ද පිළිවන. කෙසේ වුවද මොවුන් පිළිබඳ පූර්ව නිගමන ඉදිරිපත් කිරීමට දෙවියන්ටවත් හැකි නොවේ.
ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී ගුප්ත විද්‍යා ආචාරිණී
නිරංගා බාලසූරිය
රූ රටා - නිලක්ෂි ආරියරත්න