සල්ලිවලට තට්ටු කරන ඒ. ටී. එම්. හෙල්පර්ස්ලා

ඒ. ටී. එම්. යන්ත්‍ර ළඟදී වෙනදාට වඩා පරෙස්සමෙන්
අප්‍රේල් 24, 2023

 

සිරියාවතී ඉස්කෝලේ හාමිනේ අතේ ඇඟිලි ගනිමින් බලා සිටියේ අප්‍රේල් මාසයේ පැන්ෂන් මුදල ලැබෙන තුරුය. අවුරුද්දට කිරි අම්මා බලන්නට එන ලොකු පුතාගේ පොඩි දරුවන්ට ඇඳුමක් ගන්න, ගෙදර අඩුපාඩු අඩුම කුඩුම ටිකක් මිලදී ගන්න. ගස්වල පොල්ටික කඩාගන්න ගුණපාලට මුදල් දෙන්න. මේ වගේ දහසක් රාජකාරී ගොන්නක් ඉටුකර ගන්නට අප්‍රේල් මාසයේ පැන්ෂන් මුදල ගන්න බැංකුවට ගියේ අප්‍රේල් 10 වැනිදා උදෑසනමය.

 

කඩි ගුළක් සේ සෙනඟ උතුරා ගලා ගිය පිළියන්දල නගරයේ බැංකුව අසලට සිරියාවතී ඉස්කෝලේ හාමිනේ ළඟාවන විට උදෑසන නවය පසු වී තිබුණි. බැංකුව අසල කාඩ්පත් පෝළිම දකින විට ඉස්කෝලේ හාමිනේට හීන් දාඩිය දමන්නට විය. ඒත් මොනවා කරන්න ද ඇය හෙමින් සීරුවේ දිගු පොළිමට එකතු වූයේ කීයට හරි මුදල් ලබාගැනීමේ අපේක්ෂාවෙනි.

 

පැය භාගයක් වැනි කාලයක් ගතවන විට ඉස්කෝලේ හාමිනේගේ වාරය ළඟා විය. තවත් කිහිප දෙනකු ඉදිරියෙන් සිටියදී තම බැංකු ATM කාඩ්පත අතට ගත් ඇය තම අත් බෑගයට අත දැමුවේ උපැස් යුවළ සොයා ගැනීමටය. සිරියාවතී ඉස්කෝලේ හාමිනේට දෙවියන් සිහිවිය.

 

“දෙයියනේ... කණ්ණාඩි කුට්ටම ගෙනල්ල නැහැනේ...” ඇය අන්ත අසරණව වටපිට බැලුවේ කවුරුන් හෝ දන්නා කෙනෙකුගේ උපකාරයෙන් මුදල් ලබා ගැනීමටය. ඇය කලබලයෙන් වටපිට බලන විටම සිහින් සිරුරක් ඇති හොඳින් ඇඳ පැළඳ සපත්තු කුට්ටමක් ද පැළදි තරුණයෙක් ඇය අසලට ආවේ ඇය හොඳින් දන්නා හඳුනන අයෙකු ලෙසිනි.

 

“මොකක් ද අම්මේ ප්‍රශ්නේ කාඩ් එක ගෙනත් නැද්ද...”

ඔහු විමසුවේ මහත් ලෙන්ගතු ‍විලසිනි.

 

“නෑ... පුතේ කාඩ් එකනම් ගෙනාවා... ඒත් මේ මගේ කණ්ණාඩි කුට්ටම ගෙනල්ල නෑනේ. කිසිම දෙයක් මට පේන්නෙ නැහැ.” ඇයට සිදු වූ අකරතැබ්බය ගැන නොසඟවා පැවසුවේ ඔහුගෙන් උපකාරයක් අපේක්ෂාවෙනි.

 

“හරි හරි... අම්මා කලබල වෙන්න එපා. මම සල්ලි අරන් දෙන්නම්. මමත් මේ ගමේ යන්න සල්ලි ගන්න ආවේ. ඔහු ඉස්කෝලේ හාමිනේ සමඟ සමීප වූයේ එලෙසිනි.

 

“ඊළඟ මොහොතේ පැමිණියේ සිරියාවතී ඉස්කෝලේ හාමිනේගේ වාරයයි. ඇය තමා සමඟ ඉතාම කුළුපඟව කතා කළ තරුණයාට තම කාඩ්පත දුන්නේ ඇයගේ කාඩ්පතේ රහස් අංකය ද පවසමිනි. කාඩ්පත අතට ගත් තරුණයා තම සාක්කුවට අත දමා නැවතත් එය එළියට ගනිමින් “ආ... එන්නකෝ... අම්මාම කාඩ් එක දාන්නකෝ...” කියා ATM යන්ත්‍රය සවි කළ කුටියට දෙදෙනාම ඇතුළු වූයේ ඔහුගේ අවංකභාවය හා විනිවිද පෙනෙන ඇයට හොඳින්ම දැනෙන ලෙසිනි.

 

කාඩ්පත යන්ත්‍රයට ඇතුල්කර සිරියාවතී ඉස්කෝලේ හාමිනේ තමා සමඟ සිටි තරුණයාට තම අංකය සටහන් කරන ලෙස පැවසුවේ එය හොඳින් නොපෙනෙන බැවිනි. මිනිත්තු කිහිපයක් ගත විය. ඔබගේ රහස් අංකය වැරැදිය. කරුණාකර නිවැරැදි අංකය සටහන් කරන්න .මෙලෙසින් යන්ත්‍රයේ සටහන් වූයේ යාන්තමින් ඉස්කෝලේ හාමිනේටත් පෙනෙන ලෙසිනි.

 

“මෙකේ අංකය වැරැදියි කියනවා අම්මේ... මේ කාඩ් එක මාසයක් විතර පාවිච්චි කළේ නැතුවහම ඔහොම වෙනවා. අම්මාට දැන් ආය මේ කාඩ් එකෙන් සල්ලි ගන්න නම් බංකුව ඇතුළට ගිහින් අහන්න” කියා නැවතත් කාඩ්පත ඇය අත තැබුවේ ඉස්කෝලේ හාමිනේගේ සියලු බලාපොරොත්තු දියකර හරිමිනි.

 

ඇය ATM කාඩ්පත අතට ගනිමින් සෙමෙන් සෙමෙන් බැංකුවේ දොරකඩට ළඟා වන විට තරුණයා ද එම ස්ථානයේ දකින්ට නොලැබීමට ගත වූයේ විනාඩි දෙක තුනක කාලයකි. මේ පුංචි කාලය තුළ සියල්ලම හමාර විය. ඉස්කෝලේ හාමිනේගේ කාඩ්පත වෙනුවට බැංකුවේම අවලංගු කාඩ්පතක් ඇයට ලබා දී ඇත්තේ ඔහුගේ සාක්කුවෙන් ගෙනය. ඉස්කෝලේ හාමිනේ රහස් අංකය ද ඔහුට පැවසූ නිසා ඇය බැංකුවේ දොරටුව අසලට යන්නටත් පෙර ඇයගේ සැබෑ ATM අංකය ගෙන රහස් අංකය ගසා ඇයට උපකාර කරන්න පැමිණි තරුණයා මුදල් ද රැගෙන එම ස්ථානයෙන් පලා ගොස් තිබුණි. බැංකුවට ඇතුල් වී බැංකු නිලධාරියාට කාඩ්පත දී සියල්ල පවසන විට ද ඇයගේ මුදල් ඇයට අහිමි වී හමාරය.

 

මේ සිදුවීමට සම්බන්ධ පුද්ගලයා මෙලෙසින් ව්‍යාජ ලෙස වයෝවෘද්ධ අයගේ බැංකු කාඩ්වලින් ලබාගෙන ඇති මුදල් ප්‍රමාණය රුපියල් කෝටියකට අධිකය. සැකකරු මිරිහාන ප්‍රදේශයේ බැංකුවක් අසලදී අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සතුව විවිධ බැංකුවල කාඩ්පත් 15ක් පමණ සොයාගත් බව පොලිසිය පවසයි. හිටපු නාවුක සෙබළෙකු වූ ඔහු මෙලෙස වයෝවෘද්ධ පුද්ගලයන්ගෙන් හා කාන්තාවන් මුලාකර ඔවුන් සතුව ඇති ATM කාඩ්පත සූක්ෂම ලෙස ලබාගෙන ඒ වෙනුවට වෙනත් කාඩ්පතක් ලබා දී ඔහු මෙතරම් මුදලක් සොරාගෙන තිබේ. පිළිවෙළට හැඳ පැළඳ බැංකු කාඩ්පත් කුටි අසල රැඳී සිටින මේ පුද්ගලයා මෙලෙස අසරණ වයෝවෘද්ධ වැඩිහිටියන්ට උදව් කිරීමට ඉදිරිපත් වී රහස් අංකය ද අසාගෙන ඒ කාඩ්පත ඇතුල් කරන මො‍හොතේ එය ඔහුගේ අතට ගෙන එම බැංකුවේම අක්‍රිය වූ කාඩ්පතක් ලබා දීම ඔහුගේ උපායයි. අදාළ පුද්ගලයාගේ නියම කාඩ්පත ඔහු ලබාගත් පසු එහි ඇති මුදල් සියල්ලම මේ පුද්ගලයා ලබාගෙන එම ස්ථානයෙන් පලා යයි.

 

මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා අවුරුදු 24ක් වන පිළියන්දල ප්‍රදේශයේ සැකකරුවෙකි. මේ සැකකාර පුද්ගලයා පිළිබඳ පිළියන්දල , මහරගම , කොට්ටාව , දෙහිවල මිරිහාන පොලිස් ස්ථානවලට පැමිණිලි 60ක් පමණ මේ වනවිටත් සිදුකර ඇතැයි පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇත.

 

නුගේගොඩ කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය මඟින් මේ පිළිබඳ වැඩිදුරටත් පරීක්ෂණ පවත්වන අතර මෙවැනි සැකකටයුතු පුද්ගලයන් බැංකු ATM කාඩ්පත් කුටි අසල රැඳී සිටිනවා දුටුවොත් වහාම පොලිසියේ ක්ෂණික දුරකතන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවට දන්වා සිටියි.

 

මේ සත්‍ය සිදුවීමට සම්බන්ධ පුද්ගල නම් මනඃකල්පිතය