කෙනෙක් මැරුණට පස්සේ...

නිවෙසක පුද්ගලයකු මිය යාම
ජූලි 22, 2024

 

නිවෙසක පුද්ගලයකු මිය ගිය පසු ඒ පිළිබඳව පදිංචි ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී දැනුවත් කළ යුතුය. එය ස්වාභාවික මරණයක් යැයි තීරණය කළ හැකි නම් (බොහෝ වයස්ගත හෝ දීර්ඝකාලීනව නිදන්ගත රෝගවලට ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය අය) මළ සිරුර භූමදානය කිරීමට අවසර දීමේ බලය ග්‍රාම නිලධාරීට ඇත. එසේ නොවන අවස්ථාවලදී පදිංචි ප්‍රදේශයේ පොලිස් ස්ථානය දැනුවත්කර මරණය පිළිබඳව ප්‍රදේශයේ හදිසි මරණ පරීක්ෂක (කොරොනර්) දැනුවත් කළ යුතුය. සාක්ෂි විමසීමෙන් අනතුරුව මරණය සැක සහිත නොවේ නම් අවසන් කටයුතු කිරීමට අවසර දීමේ බලය හදිසි මරණ පරීක්ෂක සතුව පවතී.

නමුත් හදිසි මරණ පරීක්ෂකට මරණය සඳහා හේතුවක් දිය නොහැකි නම් මළ සිරුර කපා පරීක්ෂා කිරීමට නියෝගයක් (post mortem order) ළඟම පිහිටි රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත නිකුත් කිරීමට පියවර ගැනේ. එහිදි ඥාතීන් පොලිස් නිලධාරියකු සමඟ රෝහලට මළ සිරුර රැගෙන ආ යුතුය. අධිකරණ වෛද්‍ය නිලධාරී විසින් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා මරණයට හේතුව හදිසි මරණ පරීක්ෂක වෙත ලබා දේ. එම හේතුව පදනම් කරගෙන අවසන් කටයුතු කිරීමේ නියෝගය හදිසි මරණ පරීක්ෂක විසින් ලබා දෙයි. අවසන් කටයුතුවලින් අනතුරුව රෝහල් රෙජිස්ට්‍රාර්වරයාගෙන් මරණ සහතිකය ලබා ගත හැකියි.

 

රෝහලක සිදු වන මරණයකදි

රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී රෝගියෙක් මිය ගිය පසු මරණයට හේතුව පැහැදිලි නම් හා ඥාතීන්ට ඒ පිළිබඳව සැකයක් නොමැති නම් මරණයට හේතුව (cause of death) දීමේ බලය ප්‍රතිකාර කළ වෛද්‍යවරයා සතුව ඇත. වාට්ටුවෙන් ලබා දෙන තාවකාලික මරණ සහතිකය ඉදිරිපත් කර අවසන් කටයුතු සිදු කළ හැකිය.

අවසන් කටයුතුවලින් අනතුරුව රෝහල් රෙජිස්ට්‍රාර්වරයා‍ෙගන් මරණ සහතිකය ලබා ගත හැකියි.

නමුත් රෝහලක සිදුවන පහත ආකාරයේ මරණ සඳහා හදිසි මරණ පරීක්ෂණයක් පවත්වන ලෙස ප්‍රතිකාර කළ වෛද්‍යවරයා ආයතන ප්‍රධානියාගෙන් ඉල්ලා සිටිය යුතුයි.

i) සියලුම සැක සහිත මරණ

ii) රථවාහන අනතුරු හේතුවෙන් මරණයට පත් වූ අය

iii) පහරදීම්, ගිනි අවි, කැරලි කෝලාහල නිසා මරණයට පත් වූ අය

IV) වස විස ශරීර ගත වී මරණයට පත් වූ අය

V) දියේ ගිලීම්, ගෙල වැලලා ගැනීම්, දිවි නසා ගැනීම්

Vi) ලිංගික අතවර නිසා මරණයට පත් වූ අය

Vii) දරු ප්‍රසූතියේදී මිය ගිය කාන්තාවන්

Viii) බිලිඳු මරණ

Ix) බෙහෙත් විසවී/අසාත්මික වී මියගිය අය

X) ශල්‍යකර්මයක් අතරතුර මිය ගිය අය

Xi) රෝහල් කාර්ය මණ්ඩලයේ අත්වැරදීමකින් මිය ගිය අය

Xii) රෝහල් ගත වී පැය 24ක් යාමට පෙර මරණයට පත් වූ අය

Xii) රෝහලට ඇතුළත් කරන විට මියගොස් සිටි අය

එහිදී රෝහල් අධ්‍යක්ෂවරයා රෝහල් පොලිසිය වෙත හදිසි මරණ පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සිටියි. රෝහල් පොලිසිය මරණකරු පදිංචි ප්‍රදේශයේ පොලිස් ස්ථානයට ඒ පිළිබඳව දැනුම් දෙයි. ළඟම ඥාතීන් පොලිසියට ගොස් පැමිණිලි කර පොලිස් නිලධාරීයකු සමඟ රෝහලට පැමිණිය යුතුය. එහිදී රෝහල් හදිසි මරණ පරීක්ෂක හමුවී සාක්ෂි විමසීමක් සිදු කෙරේ. හදිසි මරණ පරීක්ෂකට මරණය සඳහා හේතුවක් දිය හැකි නම් අවසන් කටයුතු කිරීමට අවසර දීමේ බලය ඔහුට ඇත. එසේ නොවන විට පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන ලෙස නියෝගයක් හදිසි මරණ පරීක්ෂක විසින් අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත නිකුත් කරයි. අධිකරණ වෛද්‍ය නිලධාරී විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කර මරණයට හේතුව හදිසි මරණ පරීක්ෂක වෙන ලබා දෙයි.

එම හේතුව පදනම් කරගෙන අවසන් කටයුතු කිරීමේ නියෝගය හදිසි මරණ පරීක්ෂක විසින් ලබා දෙයි. අවසන් කටයුතුවලින් අනතුරුව රෝහල් රෙජිස්ට්‍රාර්වරයාගන් මරණ සහතිකය ලබා ගත හැකිය.

අධිකරණ වෛද්‍ය නිලධාරීයාට එම අවස්ථාවේ දී මරණයට හේතුව සොයා ගත නොහැකි නම් පටක/රුධිර සාම්පල රස පරීක්ෂක වෙත යොමු කර විවෘත තීන්දුවක් ලබා දී පසුව වාර්තා ලැබුණු පසු මරණයට හේතුව ලබා දේ.

ක්ෂේත්‍රයේ සිදු වූ හෝ රෝහලක සිදු වූ සැක සහිත මරණයකදී (හඳුනා නොගත් මළසිරුරු, අපරාධයක් හේතුවෙන් මිය ගිය අය)

 

පොලිසිය මහේස්ත්‍රාත්වරයා දැනුවත්කර පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමේ නියෝගයක් ලබා ගත යුතුය. අධිකරණ වෛද්‍ය නිලධාරියා සිදුවීම සිදු වූ ස්ථානය නිරීක්ෂණය කරමින් (crime scene visit) පූර්ව අවබෝධයක් ලබා පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කර මරණයට හේතුව අධිකරණය වෙත ඉදිරිපත් කරයි. අධිකරණ නියෝගයට අනුව අවසන් කටයුතු සිදු කළ යුතුය.

පොලිසිය පරීක්‍ෂණ පවත්වා අපරාධකරුවන් නීතිය හමුවට පමුණුවා දඬුවම් ලබා දීමට කටයුතු කළ යුතුය.

ඉහත සඳහන් කිසිදු කටයුත්තක් සඳහා ඥාතීන් කිසිදු නිලධාරියකුට මුදල්/අල්ලස් ලබා දිය යුතු නැත.

 

 

උපදෙස් :

වෛද්‍ය චින්තන

විරාජ් ලියනගේ