අනාගතය පිළිබඳ පැහැදිලි චිත්‍රයක් මනසේ ඇඳගන්න

තාරුණ්‍යය වර්ණවත් කරගන්න
ඔක්තෝබර් 10, 2022

ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනී දිනීෂා ලියනගේ වෙතින් රුවන්මය අදහස්

හිමිදිරියේ නද දෙන විහඟුන්ගේ සුයාමය තරම්ම තාරුණ්‍ය ප්‍රබෝධවත් ය. පින්න විසිරුණු සියුමැලි රෝස මලක් සේම එය විකසිත ය. එසේ ම සමනල තටුවක සියුමැලි බව ද තාරුණ්‍යය දරා සිටියි.

 

මනුස්සයකුගේ ජීවිතයේ සොඳුරුතම, ශක්ති ශක්තිජනක ම අවධිය තාරුණ්‍යයි. නමුත් ඇතැමුන්ට සොඳුරු තුරුණු විය බියජනක සිහිනයක් යැයි හැඟෙන්නේ එකී අවධිය තුළ ඔවුන් ළඟා කරගත යුතු දේ පිළිබඳ අවබෝධයක් නොමැතිව දුවන්නන් වාලේ හිස් ලූ ලූ අත දුවමින් හෙම්බත් වී සිටින නිසයි. එසේ හෙම්බත් වී හති අරින ඔබට කැලණිය සරසවියේ ජනසන්නිවේදන අධ්‍යයනය අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනී දිනීෂා ලියනගේ කියන මේ වදන් සිසිල් පැන් පොදක් වේවි.

"නිසල අතීතයේ දෘෂ්ටීන් කලබලකාරී වර්තමානයට ප්‍රමාණවත් නොවේ. වර්තමානය දුෂ්කරතාවලින් පිරී ඇත. අපි අවස්ථාවට සුදුසු ලෙස නැඟී සිටිය යුතු වන්නෙමු. ඊට ගැළපෙන පරිදි අප සිතිය යුතුය. ක්‍රියා කළ යුතුය. "අමෙරිකානු ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් කී වදන් වර්තමානයට ද සාධාරණිකරණය වෙයි. ඒ නිසාම අතීතයේ අඳුරු සෙවණැලි ඉරා දැමීමට තරම් ධෛර්යයක් සිතෙහි ගොඩ නඟා ගත යුතුයි. ඔබ අතීතයේ කඳුළු විලක පතුළෙහි සිටියත්, තාඩන පීඩන අපහාසවලින් තැළී පොඩි වී සිටියත්, දරිද්‍රතාවයේ හිණිපෙත්තේහි එල්ලී සිටියත් එය ඊළඟ තත්පරේ හුස්ම ගන්නට බාධාවක් නොවේ.

කඳු, හෙල්, තැනිතලා මැදින් ගඟක් සුන්දරව ගලන්නා සේ අපගේ ජීවිතය ද දුක් කරදර බාධක ඔස්සේ අලංකාරව ගලා යා යුතුය. හුස්ම ගන්නවා යැයි අපට හැඟෙන්නේ එවන් විටෙකයි.

ගලා යෑම්වලට අභියෝග නොකළ යුතුය,

ජීවිතයේ එක් එක් අවධීන්වල දී අරමුණු තිබිය යුතුය. ඒ අරමුණු කාලයට අනුරූප නොවන ආකාරයට මිශ්‍ර කර ගතහොත් අර්බුදවලට මුහුණ දීමට සිදුවෙයි. අධ්‍යාපනය ලැබිය යුතු අවධියෙදී පාඩම් කටයුතු කඩාකප්පල් කර ප්‍රේම සබඳතාවල පැටලෙනවා නම් එකී අවධියේදී අප ළඟා කරගත යුතු අරමුණු අහිමි වෙයි. ජීවිතය බොහෝ ඉදිරියට ගොස් ආපසු හැරී බලන විට පසුතැවීම ඉතිරි වන්නේ එවන් විටෙකයි. නිශ්චිත කාලයට, නිශ්චිත කාර්යයන් කිරීමට තරුණ තරුණියන් හිතට ගත යුතු නියතයකි. එකී කාර්යයන් පටලවා ගතහොත් පැටලෙන්නේ අපගේ ජීවිතයයි. ඇතැමුන්ට විෂයානුබද්ධ දැනුමක් ලබා ගැනීමට අපහසු නම් එකී කාලය තුළ යම් කර්මාන්තයක් හැදෑරීමට හෝ යොමු විය යුතුයි. අධ්‍යාපනය ලැබිය යුතු අවධියේදී එවන් ආයෝජනයක් කුමන හෝ ක්‍රමයකින් කළ යුතුයි. නැත්නම් සිදුවන්නේ මතුවට පසුතැවිලි වීමටයි.

 

රැලි එක්ක රැල්ලට යන්න එපා

වර්තමානයේ බොහොමයක් තරුණ තරුණියන් සාමාන්‍ය පෙළ හා උසස් පෙළ නිම කිරීමෙන් පසු ප්‍රසිද්ධ ක්ෂේත්‍රයක පාඨමාලාවන් කිරීමට යොමු වන්නේ තම මිතුරු මිතුරියන් හෝ නෑදෑ හිතමිත්‍රාදීන් එකී පාඨමාලාවන් හැදෑරීමට යොමු වන නිසයි. එමඟින් බොහෝ අර්බුද පැන නඟී අපේ අධ්‍යාපනය අපගේ දක්ෂතාවලට අනුකූලව සිදු කළ යුතුයි. බටහිර රටවල එකිනෙකාගේ ජීවිතවලට ඇඟිලි ගැසීම් සිදු නොවන නිසා දරුවන්ට තම දක්ෂතාව මත තම අධ්‍යාපනය හදාරා වෘත්තීය ජීවිතය වෙත ළඟා විය හැකියි.

ඒ නිසා ඔවුන්ට තමන් කැමැති ක්ෂේත්‍රය තෝරා ගැනීමට පහසු වෙයි. එහෙයින් තමන් කැමැති දේ කැමැත්තෙන් කිරීමට තරම් ධෛර්යයවන්ත වන්න. සමාජයට අවශ්‍ය ලෙස රූකඩයක් වී මානසික සුවය නැති කර ගන්නවාට වඩා තමන් කැමැති අධ්‍යාපන ක්ෂේත්‍රයක් හදාරා, තමන් කැමැති වෘත්තීයක් තුළ අභිමානවත් පුද්ගලයකු ලෙස නැඟී සිටින්න, ඒ නිසාම තමන්ගේ සැඟවුණු දක්ෂතා තේරුම් ගෙන එකී දක්ෂතාවලට අනුකූලව පාඨමාලාවක් හදාරා යම් අරමුණක් වෙනුවෙන් සූදානම් වීමෙන් සමාජයේ දී අතරමං වන්නේ නැත. ඒ වගේම ඇතැම් වෘත්තීන්වල නියැළීමට යම් වයස් සීමාවක් පවතියි. අපගේ අනාගත අරමුණ ගැන සිතීමට ප්‍රමාද වුවහොත් එකී වෘත්තීන් මඟ හැරීයාමට පුළුවන. ඒ නිසා කාලයත් සමඟම අරමුණු වෙනස් වුවත් ඉදිරියේදී නිරත වන වෘත්තීය පිළිබඳ පැහැදිලි චිත්‍රයක් මනසේ ඇඳ තබා ගැනීම වඩාත් වැදගත්ය. ඒ වගේම අත්‍යවශ්‍යම කාරණය වන්නේ එකී සිහිනය එනම් බලාපොරොත්තුව කිසිදිනක අත් නොහැරීමයි.

 

සිහිනය රහසක්ව තබා ගන්න.

ඇතැම් දරුවන් අනාගතයේ සැලසුම්කර ඇති බලාපොරොත්තු, සිහින බොහෝ විට විවෘතව ප්‍රකාශ කරයි. නමුත් එකී අරමුණ ප්‍රකාශ කිරීම මඟින් හොඳම දේ අපට අහිමි වීමට ඉඩකඩ ගොඩනැඟිය හැකියි. ඒ නිසා යම් අරමුණකට යෑමට සැලසුම් කරනවා නම් ඒ සැලැස්ම සිතෙහි ඇඳගන්න. ඔබට කීමට අවශ්‍ය නම් ඒ පිළිබඳ මවුපියන් පමණක් දැනුවත් කරන්න. ඔබ හඳ ඇල්ලීමට සිහින දකින විට ගල් ගසන මිනිසුන්ව, සිනහසීමට තැත් දරන මිනිසුන්ව එවිට ඔබට මුණ ගැසෙන්නේ නැත. ඒ නිසා සිහිනය රහසක්ව තබා ගෙන ඒ වෙනුවෙන් කැපවීමෙන්, නොසැලෙන ධෛර්යයෙන් වැඩ කිරීම වඩාත් වැදගත්ය.

 

 

අදහස් දැක්වීම

කැලණිය විශ්වවිද්‍යාලයේ

ජනසන්නිවේදන අධ්‍යයනය

අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනී

දිනීෂා ලියනගේ