රත්තරන් කොල්ලයට අහුවෙන්න එපා

රත්තරං ...
ජුනි 5, 2023

 

රන් සහ කාන්තාව අතර ඇත්තේ පුදුමාකාර සබැඳියාවකි. එය කවදා කෙසේ ඇතිවූයේ දැයි නොදන්නා මුත් රන් ආභරණයක් නොපැලඳි කාන්තාවක් සොයාගැනීම තරමක් අපහසු කටයුත්තකි.

 

අලුත උපන් කිරිකැටියා වෙනුවෙන් රන් පංචායුධයක්, දියණියක් නම් පුංචි කරාඹු යුගලක් තිළිණ කරන්නට, දියණියකගේ මල්වර මංගල්‍යය වෙනුවෙන් රනින් තැනූ මාල, කරාබු, වළලු තෑගි දෙන්නට පමණක් නොව, දියණියකගේ විවාහයට පෙර ඇය වෙනුවෙන් මාල, වළලු, මුදු, කරාබු තනවන්නටත් මවුපියෝ අමතක නොකරති.

එබැවින් කාන්තාවකගේ උපතේ පටන් ඇයට රන් ආභරණ හා බැඳුණු අපූරු සබඳතාවක් පවතින බව නොරහසකි.

කෙතරම් රන් ආභරණ තමා සතු වුවද කාලයේ තාලයට ගැළපෙන අලුත්ම මාදිලියේ රන් ආභරණ මිලදී ගැනීමට හෝ ඒවා මාරුකර ගන්නටත් අපේ කාන්තාවන් හරිම දක්ෂයි. එවැනි අවස්ථාවලදී වංචාවන්ට හසු නොවී නිවැරැදි රන් භාණ්ඩ තෝරා ගැනීම ඉතාම වැදගත්.

විශ්වාසවන්ත බව

 

සාමාන්‍යයෙන් කාන්තාවන් සාප්පු සවාරියේ යෙදෙන්නට හරිම කැමැතියි. ඇයගේ රුචිකත්වය පරිදි ඇඳුම්, පැලඳුම් ආදිය ඕනෑම ස්ථානයකින් තෝරා ගන්නවා සේම රන් ආභරණ මිලදී ගත නොහැකි බව ඔබ අවබෝධ කරගන්න. මන්ද ඔබ මිලදී ගන්නා රන් ආභරණවල විලාසිතාව, මිල ගණන්, එහි ප්‍රමාණය, හැඩවැඩ වාගේම එය මිලදී ගන්නා ස්ථානය පිළිබඳත් වැඩි අවධානයක් යොමු කළ යුතුමයි. වෙනත් ආභරණ මෙන් නොව රන් ආභරණ මිලදී ගන්නට ඉතාමත් විශ්වාසවන්ත ස්ථානයක් තෝරාගත යුතු අතර, ඔබ මිල දී ගත් ආභරණ වෙනුවෙන් වගකීම් සහතිකයක් ලබා ගන්නත් අමතක කරන්නෙපා.

ඊට අමතරව ආභරණයේ අඩංගු රන් ප්‍රමාණය, මිල ගණන්, ඔබගේ නම ලිපිනය සහිත පිළිගත් බිල්පතක් ලබා ගැනීමත් ඉතා වැදගත්.

 

බාහිර පෙනුමට රැවටෙන්න එපා

 

රන් ආභරණයක් මිලදී ගැනීමේ දී වැඩි දෙනකුගේ අවධානය යොමු වන්නේ එහි විලාසිතාව, පෙනුම කෙරෙහි පමණයි. හිත ඇදී යන මෝස්තරය ගැන පමණක් සිතා බලා මිල දී ගන්නා ඇතැම් ආභරණ භාවිතයේ දී විවිධ ගැටලු ඇතිවිය හැකියි. මන්ද සියුම් කැටයම්, මෝස්තර ආදිය සහිත ආභරණ නිතර භාවිතයට තරමක් අපහසු වේවි. ඒවායේ සියුම් ස්ථාන පළුදු වී හෝ කැඩී බිඳී යාමට ඉඩ ඇති අතර, නිතර භාවිතය නිසා තෙල්, කුණු, දූවිලි රැඳී අවපැහැ ගැනීමට ද ඉඩ තිබේ. එබැවින් ඔබ මිල දී ගන්නා ආභරණයේ විලාසිතාව ගැන පමණක් නොව නිරන්තර පාවිච්චිය පිළිබඳ අවධානය යොමු කරන්නත් අමතක නොකළ යුතුයි.

 

වෙළෙඳපොළ වටිනාකම

 

පසුගිය කාලවකවානුවේ වෙළෙඳපොළ මිල ගණන් අතිශයින්ම ඉහළ ගිය භාණ්ඩය වූයේ රන් ආභරණයි. සාමාන්‍යයෙන් රන් පවුමක මිල රුපියල් දෙලක්ෂ තිස් දාහකටත් වඩා ඉහළ ගොස් තිබූ අතර, මේ වන විට එක් ලක්ෂ පනස් දහසක් වැනි මුදලකට එය පහත වැටී තිබේ. වසරේ විවිධ කාල වකවානුවලදී මෙලෙස රන් මිල අඩු වැඩිවන අතර ඒ පිළිබඳ අවධානයෙන් පසුවී ඔබට අවශ්‍ය මිල දී ගැනීම් සිදු කළ හැකියි.

පිරිසුදු රත්තරන් පවුමකට රන් ග්‍රෑම් අටක් අඩංගු වේ. අතීතයේ දී නම් මේ මිනුම මංචාඩිවලින් සඳහන් වූ අතර මංචාඩි 3 1/2ක් ග්‍රෑම් 01කි.

 

ප්‍රමිති සහතිකය

 

ඔබ විසින් ගෙවනු ලබන මුදලට සරිලන පරිද්දෙන් නියමිත ප්‍රමිතියෙන් යුත් ආභරණයක් ලැබෙන්නේ ද යන්න පිළිබඳව දැනුවත්ව සිටීමත් ඉතා වැදගත්. මෙරට ස්වර්ණාභරණවල ප්‍රමිතිය පරීක්ෂා කරන බලයලත් ආයතනය වන්නේ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියයි. මේ ආයතනය හරහා ඔබේ රන් ආභරණයේ ප්‍රමිතිය පිළිබඳ සහතිකයක් ලබාගත හැකි අතර, එමඟින් ඔබ වැය කළ මුදලට වටිනා රන් ආභරණයක් ඔබ සතු වේ දැයි දැන කියා ගත හැකි බවත් සිහියේ තබාගන්න.

 

අදහස් දැක්වීම හෙට්ටිවීදියේ

ක්‍රවුන් ජුවෙල්ස් අධිපති

බාලා මහතා