වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
ජීවිතයම Offline කරන Online ණය
“හලෝ ..... මිස් නිර්මානී පෙරේරා... මම මේ කතා කරන්නේ ලියෝන් ඉන්වෙස්ට් මයික්‍රෝ ෆයිනෑන්ස් කම්පැනි ආයතනයෙන්... මිස් අපි මයික්‍රෝ ෆයිනෑන්ස් සෙන්ටර් එකේ ණය දෙන ආයතනයක්. අපට ඔබතුමියගේ තොරතුරු ලැබුණේ අපේ නෙට්වර්ක් සිස්ටම් එකේ කරපු සර්වේ එකකින්. අපට ඔබතුමියත් එක්ක ටිකක් කතා කරන්න පුළුවන්ද?
නිර්මානීට හදිසියේ ලැබුණු මේ දුරකතන ඇමතුමක් ගැන සිතාගන්න බැහැ. හැබැයි පසුගිය දවස්වල පුංචි ව්‍යාපාරයක් පටන් ගන්න ඕනේ කියලා කිහිප දෙනෙකුටම කියලා තිබුණානේ. ඒ කවුරු හරි මගේ අංකය දුන්නාද? ඇය මොහොතක් කල්පනා කරමින් ඉඳලා ආපු දුරකතන අංකයට උත්තර දෙන්න ගත්තා.
පොඩ්ඩක් කියන්නකෝ ඔයාලගේ ඔය ණය දෙන ක්‍රමය ගැන. ඇත්තටම මමත් මේ බලාඟෙන සිටියේ ණයක් ගන්න පුළුවන් ක්‍රමයක් ගැන තමයි.
නිර්මානීගේ අපේක්ෂාව අත ළඟටම ඇවිත් වගේ.. ඇයට කතා කරපු පුද්ගලයා දැන් ඒ ණය දෙන ආයතනය ගැන කියනවා. නිර්මානීත් ඒ ගැන අහගෙන ඉන්නේ හරිම කැමැත්තෙන්.
නිර්මානී දුරකතන ඇමතුම ලබා දුන් පුද්ගලයා කියපු ආකාරයටම ඔහු ලබා දුන් දුරකතන අංකයට Whatsapp කළා. ඇයගේ ලිපිනය, පවුලේ තොරතුරු, මිතුරියගේ විස්තර වගේම ඇයගේ ජාතික හැඳුනුම්පත්‍ර පිටපත්.. මේ වගේ ඔහු කියපු සියලුම පිටපත් යැව්වේ ආයමත් දෙවරක් නොසිතාමයි.
මෙලෙස ඇය විස්තර යවලා දින දෙක් ගත වුණා. ඇයට කතා කරපු පුද්ගලයා නැවත වරක් කතා කරනවා. ඔහු ඇයට කතා කරන්නේ ණය මුදල ගන්න මොකක් හරි අඩුපාඩුවක් ඇති කියලා තමයි නිර්මානී හිතුවේ.
මිස් .. මම මේ කතා කරන්නේ එදා මිස් කතා කරපු ලියොන් ඉන්වෙස්මන්ට් මයික්‍රෝ ෆයිනෑන්ස් කම්පැනියෙන්. මිස්ගේ රුපියල් පනස් දහසේ ණය මුදල හරි. ඔබතුමියට අපි ඒ ණය මුදල තව දවස් දෙකකින් මිස්ගේ බැංකු ගිණුමට බැර කරනවා. හැබැයි මිස් ඔබතුමිය හරියටම ණය වාරිකය ගෙවන්න ඕනේ පොලියත් එක්ක. එහෙම නොවුනොත් අපට නීතිමය පියවර ගන්න වෙනවා. මිස් ඔබතුමිය එක දිනයක්වත් මුදල් ගෙවන්න ප්‍රමාද කරන්න එපා. එහෙම කළොත් අපි ඔබතුමියගේ ගැරන්ටර්වරයා හරි මුදල් අය කරගන්න කටයුතු කරනවා.
මෙහෙම කියලා දුරකතන ඇමතුම විසන්දි වුණා. හරියටම කියපු දිනයටම ඇයට කියපු මුදල නිර්මානිගේ ගිණුමට බැර වෙලා තිබුණා. ඇයට හිතාගන්නත් අමාරුයි. මේ තරම් ඉක්මනට ණයක් දෙන කෙනෙක් තවත් ඉන්නවාද? නොදැනීම දිනය ළඟා වුණා. නිර්මානිට මුදල ගෙවාගන්න ක්‍රමයක් නැහැ. දන්න කියන කිහිප දෙනකුටම කතා කළා. ඒත් හරි ගියේ නැහැ. අන්තිමට ඇය තමුන්ගේ ජංගම දුරකතන අංකය වෙනස් කළේ ළඟම තිබුණු විසඳුම කියලා හිතලා. නමුත් ඇයට ඒ විසඳුමෙන් ගැලවීක් නැති වුණා. නිර්මානීගේ හොඳම හිතවතිය අනුපමා කතා කළේ ඊට පහුවදා. ඇය කතා කරලා කියපු දෙයින් නිර්මානි උන් හිටිතැනත් අමතක වෙලා ගියා.
“නිර්මානි... ඔයා කම්පැනි එකකින් ණයක් ගත්තාද? මම ඇපකාරයෙක් හැටියට නම් කරලා.. දැන් ඒ මිනිස්සු මට කතා කළා. ණය මුදල ගෙව්වේ නැත්නම් ඒ මුදල මගෙන් අය කරගන්නවා කියලා කියනවා. මොකක්ද මේ හතරබීරි කතාව නිර්මානි.. මම කිසි දෙයක් දන්නේ නැහැනේ.” නිර්මානි නොසිතපු ලෙසින් ඇය විශාල ගැටලුවකට පැටලිලා. ඇය හිතපු තරම්ම වැඩේ ලේසි නැහැ. දැන් නිර්මාණී ගත්තු මුදල වගේ දෙගුණයක් විතර ගෙවන්න වෙලා. මොකද කරන්නේ. මේ විස්තරේ නිර්මානිගේ සැමියා සපුමල්වත් දන්නේ නැහැ. දෙයියනේ.... දැන් කොහොමද මේක ගෙවා ගන්නේ. ඇය දස අතේ කල්පනා කරනවා. කරන්න කිසිම දෙයක් නැති තැන ඇය කරේ තිබුණු මාලය අතට ගත්තේ අන්තිමට ඉතුරු වුණු අවසාන විසඳුමට. හැබැයි මේ මාලය උකස් කරලා ගන්න මුදල ගෙවන්නේ කොහොමද? ඊළඟ ප්‍රශ්නය ළඟා වෙන්නේ තව ටික දවසකින්.
මේ වගේ ගිනි පොලියට ණය අරගෙන අසරණ වෙන කාන්තාවෝ අනන්තයි. මේ මුදල් අරගෙන ගෙවා ගන්න බැරිව තමුන්ගේ ජීවිතෙන් පවා වන්දි ගෙවපු අවස්ථා තිබෙනවා. සමහරු මේ ණය මුදල් ලබා ගන්නේ කාගේවත් උපදෙසක් දැනුම්වත් කිරීමක් නොමැතිව. සමහර විට මේ ණය දෙන ආයතන ටික කාලයකින් තිබුණු තැනක් සොයා ගන්නවත් නැහැ. ඒ විතරක් නොවෙයි ණය මුදල ලබා දුන් බවට කිසිම ලිඛිත ලියවිල්ලක්වත් නැහැ. නමුත් ණය මුදල ගෙවන්න සිද්ධ වෙනවා. මෙලෙස කිසිම ක්‍රමවේදයක් නොමැතිව ණය මුදල් ලබා දෙන ආයතන පිළිබඳ කිසිම වගකීමක් නැහැ. නමුත් ඈත එපිට ප්‍ර ෙද්ශවල අසරණ ජනතාව මේ වගේ ව්‍යාජ කූට ව්‍යාපාරවලට හසු වන අවස්ථා දකින්නට ලැබෙනවා. ඒ වගේ මේ වගේ ණය මුදල් ලබා දෙන ආයතන විසින් දුරකතන ඇමතුම් ලබා දෙන අවස්ථා තිබෙනවා. සමහර විට SMS පණිවුඩ හෝ Whatsapp මඟින් පණිවුඩ ලබා දෙනවා.
මේ සමාජීය ගැටලුව සමස්ථ සමාජයටම විශාල හානියක්. අසරණ ජනතාවට පිහිටවීමේ පරමාර්ථයෙන් යුතුව ඔවුන්ගේ පිහිටට එන මේ ආයතන විසින් එම අසරණයන් සූරා කෑම විශාල විනාශයක්. සමහර අවස්ථාවලදී මේ අසරණ ජනතාව මේ ණය මුදල් කිසිම සොයා බැලීමකින් තොරව ලබා ගෙන ඉන්පසුව විශාල ණය උගුලක පැටලී විවිධ ජීවිතයන්ට හසු වී මානසික කඩාවැටී දුක් විඳින්නට සිදු වෙන්නේ විශාල සමාජීය ගැටලු රාශියක් නිර්මාණය වෙමිනි.
අප මෙවැනි ක්ෂණික මූල්‍ය ණය ලබා දෙන ආයතන මෙලෙස ණය ලබාදීම පිළිබඳ සිදුකරන ක්‍රියාවලිය පිළිබඳ විමසීමක් කළේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවෙන්. එම දෙපාර්තමේන්තුවේ වගකිවයුතු නිලධාරියකු විසින් මෙවැනි ආයතන පිළිබඳ අපට සඳහන් කළේ මෙලෙසින්.
“ජංගම දුරකතන හරහා සමාජ මාධ්‍ය හා ජංගම දුරකතන මඟින් ණය මුදල් ලබාදීමේ ක්ෂුද්‍ර මූල්‍ය ආයතය ගැන තොරතුරු දිනපතාම ලැබෙනවා. මෙලෙසින් මේ ණය මුදල් ලබාදෙන සියලුම ආයතනය මහ බැංකුවේ ක්ෂුද්‍ර මූල්‍ය ආයතනයක් ලෙස ලියාපදිංචිය නොලැබූ ආයතනයි. දැනට අපේ රටේ මහ බැංකුවේ ලියාපදිංචිය ලැබූ ආයතන තිබෙන්නේ හතරයි.
නමුත් මේ ආකාරයට ජංගම දුරකතන මඟින් සමාජ මාධ්‍ය හරහා සිදුකරන ණය ලබාදෙන ආයතන කිසිවක් මහ බැංකුවේ ලියාපදිංචිය ලබා නැහැ. ඒ නිසා මෙවැනි ආයතන මඟින් සිදු කරන ගනුදෙනු පිළිබඳ නීතිමය පියවරක් ගැනීමට භාර මූල්‍ය ආයතනයන්ට විරුද්ධව පියවර ගැනීමට අවස්ථාවක් නැහැ. මෙලෙස එම ආයතන ණය ලබාදීම සිදුකරන්නේ පෞද්ගලිකව මැදිහත්වීමක් අනුවයි. එහිදී මහ බැංකුවට මේ ගැන මැදිහත්වීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.
නමුත් මේ වසරේ සිට මෙවැනි මූල්‍ය ආයතන සඳහා නියාමනයක් සිදු කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන පනතක් මඟින් අධිකාරියක් පිහිටුවීමට කටයුතු කරනවා. මහ බැංකුවට පරිභාහිරව ක්‍රියාත්මක මෙම අධිකාරිය මඟින් දැනට ලියාපදිංචිය නොලැබූ සියලු ආයතන සඳහා නීතිමය පියවර ගැනීමට කටයුතු කරනවා. එවිට ණය මුදලක් ලබා ගැනීමෙන් පසු සිදුවන බලපෑම් හා අනිසි පොලී අයකිරීම් ගැන ඍජුවම ජනතාවට පියවර ගන්න අවස්ථාව ලැබෙනවා. ඒ විතරක් නොවෙයි මෙලෙස පෞද්ගලික දුරකතන අංක වෙත ලබාදෙන ඇමතුම් හා පණිවුඩ ගැනත් එම අධිකාරිය ජනතාවට දැනුම්දීමේ අවස්ථාව ලැබෙනවා.”
මෙවැනි පියවරක් මහ බැංකුව විසින් සිදු කිරීම කාලීන අවශ්‍යතාවයකි. එසේම එම අධිකාරිය මඟින් සිදු කරන නියාමනය ඔස්සේ ව්‍යාජ වංචාකාරී මූල්‍ය ආයතන නීතිය හමුවට ගෙන ඒමට අවස්ථාව උදාවෙනු ඇත. තවද එලෙස අසරණ ජනතාව මුළා කර මුදල් ලබාගැනීමේ ව්‍යාපාරයන්ට ද වැට බැඳෙනු ඇත.
තොරතුරු සැපයීම
මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව