කෑම මේසයට විවිධ රසට පාන්

ජුනි 24, 2020

නිවාඩුව කෙමෙන් කෙමෙන් අවසන් වෙලා දෛනික කටයුතු යථා තත්ත්වයට පත්වෙමින් තිබෙනවා. ඒ සමඟම දරුවන්ගේ පාසල් වාරයත් ආරම්භ වෙන්නයි යන්නේ. ගෙදරටම කොටුවෙලා කොරෝනා වසංගතයක් එක්කම හිස ඔසවන්න සිද්ධ වුණු නිසා හැමදාම මඟ බලාගෙන හිටිය චූන් පාන් කරත්තයටත් සමුදුන්නා.

සති ගණනක් එකම ක්‍රමයට රස විඳපු පාන් සමහරු කන්නත් අකැමැතියි. නමුත් මෙලෙසින් එකම රසයට, එකම ක්‍රමයට රස විඳපු පාන්වලින් ඔබේ කෑම මේසයට වෙනසක් කරන්න පුළුවන්.

අප මෙවර ඉදිරිපත් කරන කෑම වට්ටෝරු පෙළ උදෑසන කෑම මේසය සරසන පාන් පෙත්ත තවත් රසවත් කරන්නයි.

මෙම කෑම වට්ටෝරු සියල්ලම සකස් වී තිබෙන්නේ පාන්වලින් වුණත් එය දරුවන්ට පෝෂ්‍යදායි ලෙසින් පිළිගන්වන්න පුළුවන්.

මෙහි පාන් සමඟ යොදා තිබෙන අනෙකුත් අමුද්‍රව්‍ය කෑම වේලට පෝෂණ ගුණය එකතු කරනවා.

ඒ වගේම වෙනසකුත් එකතු වෙනවා. එම රසය හා වෙනස සමඟ ඔබටත් පාන් යොදාගෙන වෙනස් වෙනස් රසවත් කෑම වර්ග හදන්නත් පුළුවන්.

 

උපදෙස්

සකුන්තලා කරුණාරත්න

වෝ කේටස් - රුවන්වැල්ල

 

චොකලට් බ්‍රෙඩ් පුඩිං

 

අවශ්‍ය ද්‍රව්‍ය

පාන් පෙති 8 ක්

බටර් ග්‍රෑම් 75 ක්

කිරි කෝප්ප 2 1/2 ක්

ලොකු බිත්තර 2 ක්

සීනි ග්‍රෑම් 60 ක්

වැනිලා මේස හැඳී 1 1/2 ක්

කොකෝවා කුඩු මේස හැඳී 2 ක්

ඩ්‍රින්කිං චොකලට්

මේස හැඳී 1 ක්

සාදන ක්‍රමය

À මුලින්ම දියර කිරි ටික භාජනයකට දමා එයට කොකෝවා පවුඩර් සහ ඩ්‍රින්කිං චොකලට් එකතු කරන්න. එය හොඳීන් කලවම් කර ළිප මත තබා මඳක් රත් කර ගන්න. එයටම බටර් ටික ද එකතු කර කලවම් කර ගන්න.

පසුව වෙනත් භාජනයකට බිත්තර දෙක කඩා දමාගෙන එයට සීනි සහ වැනිලා එක් කර ගසා ගන්න.

 පාන් පෙති ටික කැබලි වලට කපා ගන්න. බේකිං තැටියක් ගෙන එහි බටර් ආලේප කර ඒ මත පාන් කැබැලි ටික අතුරා ගන්න.

 ඉන් පසුව කිරි මිශ්‍රණයට බිත්තර මිශ්‍රණය ටික ටික කලවම් කර ගන්න. (විස්ක් එකකින් කලවම් කරන්න.)

 පසුව කලවම් කර ගත් කිරි, බිත්තර මිශ්‍රණය පාන් කැබැලි මතට දමා ගන්න. (පාන් කැබැලි සියල්ලටම වැටෙන සේ)

 කිරි, බිත්තර මිශ්‍රණයට දැමූ පසු විනාඩි 15ක් පමණ තිබෙන්නට හරින්න. (හොඳීන් පාන් කැබැලිවලට මිශ්‍රණය උරා ගැනීම සඳහා)

 ඉන් පසු සෙන්ටිග්‍රේඩ් අංශක 180 ට රත් කර ගත් උදුනක විනාඩි 25-30 ත් අතර කාලයක් බේක් කර ගන්න.

බේක් කර ගත් පසු ශීතකරණයේ දමා හොඳීන් සිසිල් කර අයිස් ක්‍රීම් සමඟ පිළිගන්වන්න.

2020/06/24 තරුණි පුවත්පත බලන්න.