බැති සිතින් පේවෙන්න නිර්මාංස කෑම-02

මැයි 12, 2021

 

මේ ඇරැඹී ඇත්තේ බැති සිතින් පේවී බුදුන්, දහම්, සඟුන් සරණ යමින් වන්දනාමාන කරමින් පෙහෙවස් සමාදම් වී පින් රැස් කරගන්නා උතුම් වෙසක් සමයයි. සිදුහත් උපත, බුදුවීම හා බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑම මූලික කරගත් උතුම් වෙසක් පො‍ෙහාය ලොව පුරා විසිරී හිඳින බොදුනුවන්ට මංගල්‍යයකි. මේ කාලයේ බොහෝ බෞද්ධයන් දැහැමි සිත් පෙරදැරි කරගනිමින් තම ජීවිතය ආගමානුකූලව ගෙවන්නට වෙහෙසෙති. තමන්ගේ ජීවිතය සුවපත් කරගන්නට, තමන් ඇසුරු කරන අයගේ ජීවිත සුවපත් කරන්නට, මරණින් මතු සුගතියේ ඉපදෙන්නට පින්කම් කරති.

තරුණී සමඟ සෙනෙහසින් බැඳී හිඳින අපේ බොදුනුවන් ද මේ කාලය දැහැමි සිතින් ගෙවන්නට නිර්මාංස කෑම කන්නට වෙන්කරයි. ඒ නිසාම අපි පින්බර වෙසක් මාසය පුරාවටම ඔබට නිර්මාංස ආහාර වට්ටෝරු තිළිණ කරන්නෙමු. මේ එහි දෙවැනි දිගහැරීමයි. ඔබේ ගෙවත්තෙන්, වෙළෙඳපොළෙන් පහසුවෙන් සපයාගත හැකි දේවල් උපයෝගී කරගෙන පෝෂණීය බවින් හා රසයෙන් අනූනව මෙලෙස නිර්මාංස කෑම සකසා ගනිමු.

 

 

නෙළුම් අල සීනි සම්බෝලය

 

අවශ්‍ය දේවල්

 

නෙළුම් අල ග්‍රෑම් 200 ක්

ලූනු ග්‍රෑම් 400 ක්

සුදුලූනු බික් 2 ක්

දෙකට පලාගත් අමු

මිරිස් කරල් 4 ක්

රම්පෙ, කරපිංචා ටිකක්

කුරුඳු කැබැල්ලක්

එනසාල් කරල් 6 ක් විතර

කහ තේ හැඳි 1/4 ක්

මිරිස් කුඩු තේ හැඳි 1 ක්

කෑලි මිරිස් තේ හැඳි 2 ක්

රස අනුව ලුණු

තත්කාලි සෝස් මේස

හැඳි 1 ක් හෝ 2 ක්

තෙල් මේස හැඳි 2 ක්

 

සාදන ආකාරය

 

නෙළුම් අල මතුපිට සූරා පොත්ත යවා රවුම්වලට කපාගන්න. දැන් කපාගත් නෙළුම් අල පෙති දෙසැරයක් සෝදා ඇතුලේ ඇති මඩ යවාගන්න. ඉන්පසු ලුණු වතුරේ බහා ටික වේලාවක් තබා හොඳින් සෝදා ගන්න. පසුව එම පෙති පුංචිම කෑලි වෙන්න කපාගන්න.

ලූනුත් සිහින්ව කපාගන්න. සුදුසු භාජනයක් ළිප තබා තෙල් එකතුකර පුංචි කොටස්වලට කපාගත් නෙළුම් අල ටික බැදගන්න.

දැන් එය වෙනත් බඳුනකට අයින්කර ළිප තැබූ භාජනයට තෙල් පොඩ්ඩක් එක්කර එයට තළාගත් සුදු ලූනු, කුරුඳු, රම්පෙ, කරපිංචා, එනසාල් එකතුකරන්න. එයටම ලූනුත් එකතුකර හොඳින් තෙලෙන් තැම්බෙන්න දෙන්න. දැන් කෑලි මිරිස්, මිරිස් කුඩු, රස අනුව ලුණු සහ මිරිස් කරල් එක්කර අඩිය අල්ලන්න නොදී එහාට මෙහාට කරමින් ලූනු ටික හොඳින් මලවගන්න. ටික වෙලාවකින් නෙළුම් අල ද එකතු කරන්න. සෝස් ටිකත් එකතුකර තව පොඩි වෙලාවක් ළිප තබා පසුව ළිපෙන් බාන්න.

කැමැති නම් සෝස් නොදා සීනි තේ හැඳි 1 දාන්න. සියඹලා ඉස්ම පොඩ්ඩකුත් එකතුකරන්න පුළුවන්.

 

 

*********************

 

හතු බැදුම

අවශ්‍ය දේවල්

 

හතු ග්‍රෑම් 500 ක්

ලූනු ග්‍රෑම් 500 ක්

රස අනුව ලුණු

මිරිස් කුඩු තේ

හැඳි 1 ක්

සුදුලූනු බික් 4 ක්

කරපිංචා ඉති 7 ක - 8

ක කොළ

බැදීමට අවශ්‍ය

පමණට තෙල්

 

සාදන ආකාරය

හතු සෝදා වතුර බේරා සිහින් තීරුවලට කපාගන්න. ලූනු හා සුදුලූනු සිහින්ව කපාගන්න. තෙල් ටිකක් වෙන්න එක්කර හැඳිගාමින් හතු බැද ගන්න. ලූනු හා සුදුලූනු ද බැදගන්න. දැන් කරපිංචා කොළත් බදින්න. මේ තුන් වර්ගයම වෙන වෙනම තෙල් බේරෙන්න පේපර් සර්වියට් මත තබන්න. දැන් සියල්ල භාජනයකට එක්කර එකට කලවම් කරගන්න. එයට රස අනුව ලුණු, මිරිස් කුඩු එකතු කරන්න. දෙහි ඇඹුල් ටිකකුත් එකතු කරන්න.

**************************

වම්බටු සම්බෝලය

 

අවශ්‍ය දේවල්

 

වම්බටු ග්‍රෑම් 400 ක්

ලූනු ග්‍රෑම් 75 ක්

තක්කාලි ග්‍රෑම් 100 ක්

අමු මිරිස් කරල් 3 ක්

මිරිස් කුඩු තේ හැදී 1/2 ක්

සීනි තේ හැඳි 1/2 ක්

දෙහි බෑයක ඉස්ම

රස අනුව ලුණු

බැදීමට අවශ්‍ය

පමණට තෙල්

 

සාදන ආකාරය

 

වම්බටු සිහින් පෙති කපාගන්න. ලූනු, අමු මිරිස්, තක්කාලි පොඩියට කපාගන්න. සිහින්ව කපාගත් වම්බටු පෙති ලුණු, කහ අතගා තෙලේ බැදගන්න. දැන් මේ සියල්ල එකට එකතුකර එයට මිරිස් කුඩු, සීනි, දෙහි ඉස්ම සහ ලුණු ටිකක් එකතුකර කලවම්කර කෑමට ගන්න.

******************************

 

නෙළුම් අල ව්‍යාංජනය

 

අවශ්‍ය දේවල්

නෙළුම් අල ග්‍රෑම් 400 ක්

ලොකු ලූනු ගෙඩි 1 ක්

අමු මිරිස් කරල් 2 ක්

සුදුලූනු බික් 2 ක්

රම්පෙ, කරපිංචා

කුරුඳු පොතු කැබැල්ලක්

තළාගත් කරඳමුංගු

කරල් 2 ක්

 

රස අනුව ලුණු

මිරිස් කුඩු තේ හැඳි 1 ක්

තුනපහ කුඩු තේ හැඳි 1 ක්

කහ කුඩු තේ හැඳි 1/2 ක්

මස් උයන්න හදාගත් තුනපහ කුඩු තේ හැඳි 1 ක්

තෙල් මේස හැඳි 2 ක්

මිටි කිරි කෝප්ප 1 1/2 ක්

 

අවශ්‍ය දේවල්

නෙළුම් අල පීලර් (peeler) එකක් මඟින් හෝ පිහියක් මගින් පොත්ත සූරා ඉවත්කරන්න. සිහින් පෙති වෙන්න කපා ලුණු වතුරේ දමා හොඳින් ගසා සෝදන්න. එවිට නෙළුම් අල තළ රැඳී ඇති මඩ සහ විසබීජ ඉවත් වෙනවා. අපි කහ සහ ලුණු වතුර යොදාගෙන කොළ වර්ග සෝදන්නේ මේ හේතුව නිසායි. දැන් ආයෙමත් හොඳ වතුරෙන් සෝදන්න. සුදුසු භාජනයක් ළිප තබා එයට තෙල් මේස හැඳි 2 එක් කරන්න. තෙල් රත්විගෙන එද්දී එයට තළාගත් සුදුලූනු, එනසාල් (කරඳමුංගු), රම්පෙ, කරපිංචා , කුරුඳු එකතු කරන්න. ඒ සියල්ල චුට්ටක් බැදුණු පසු සිහින්ව කපාගත් ලූනු එකතු කරන්න. ලූනුත් තැම්බීගෙන එන විට එයටම තුනපහ වර්ග, මිරිස් කුඩු, කහ, ලුණු එකතු කරන්න. ටික වෙලාවකින් නෙළුම් අල සහ අමු මිරිස් එකතු කරන්න. දැන් මඳ ගින්දරේ හිමින් තෙලෙන් තැම්බෙන්න දෙන්න. කොහොමත් ගින්දර වැඩි කරන්න එපා. එතකොට තුනපහ බැදෙන්නේ නැහැ. කර වෙනවා. මඳ ගින්දරේම හදන්න. තෙලෙන් ටික වෙලාවක් තැම්බුණු පසු මිටි කිරි එකතුකර හිමින් කිරෙන් තැම්බිලා හිඳෙන්න දෙන්න. ඇඹුලට ටිකක් කන්න කැමැති නම් මෙයට තක්කාලි ගෙඩි 1 ක්, සියඹලා ඉස්ම ටිකක් එකතු කරගන්න

 

උපදෙස් හා ඡායාරූප 
 ඉතාලියේ පර්මා හි සූපවේදිනී 
ජනනී ගුරුසිංහ