ප්‍රතිශක්තීකරණය වඩන නිර්මාංස ආහාර

ජුනි 9, 2021

 

ආදරණීය ගෘහණියක් වන ඔබ හැමදාමත් හිතුවේ ඔබේ පවුලේ සාමාජික සාමාජිකාවන්ගේ පෝෂණය ගැනයි. ඒ නිසාම මේ වකවානුවේදී ප්‍රතිශක්තිය වඩන සෞඛාරක්ෂිත ආහාර වේලක් ගැන ඔබ වැඩි වැඩියෙන් උනන්දු වන බව අප දන්නවා. ඒ අතරම මේ ගතවී යන්නේ බෞද්ධ ජනතාව ඇතුළු ලෝවාසීන් ධර්මානුකූලව, ආගමානුකුලව ගත සිත යොමුකරන පුණ්‍යවන්ත කාලයකි. එබැවින් නිර්මාංස ආහාර වේලක රස ගුණය බෙහෙවින් වටී.

ලොව පුරා පැතිරී යන කෝවිඩ් 19 වසංගතය හමුවේ කඩාවැටුණු ආර්ථිකය ඔබේ පවුලටත් බලපා ඇති. එම නිසා මෙවර තරුණී රසාර කෑම අතිරේකය මඟින් අප ඔබට ලබා දෙන්නේ මුදල් වැය නොකර අවට පරිසරයෙන් සපයා ගත් දෙයින් සකසා ගත හැකි පෝෂණීය ආහාර වට්ටෝරු කීපයකි.

 

උපදෙස්

ප්‍රවීණ සූපවේදිනී

සුනේත්‍රා ඒකනායක

 

 

තිත්ත නැතිව පිසින කරවිල කරිය

කරවිල කියන්නෙ බොහොම ගුණදායි එළවළුවක්. කිරි දෙන මව්වරුන්ට විශේෂයි. ඒ විතරක් නෙවෙයි ඉගෙන ගන්නා දරුවන්ට මතක ශක්තිය වර්ධනය කරන්නට සමත් අපූරු ආහාරයකි.

ඒත් කරවිල වල තිත්ත රසය නොමැතිව සකසා ගැනීම සමහරුන්ට ගැටලුවක්. බලන්න මේ විදිහට කරවිල කරියක් හදලා ගෙදර හැමෝම ඉතාමත් ආසාවෙන් ආහාරයට ගනීවි.

 

අවශ්‍ය ද්‍රව්‍ය

කරවිල ග්‍රෑම් 500 ක්

ඉදුණු තක්කාලි ග්‍රෑම් 150 ක්

රම්පෙ, කරපිංචා

අමු මිරිස් කරල් 2 / 3 ක්

අඟලක පමණ කුරුඳු

කැබැල්ලක්

තලාගත් ඉඟුරු, සුදුලූනු

මේස හැඳි 2 ක්

බැදපු තුනපහ මේස හැඳි 2 ක්

මිරිස් කුඩු මේස හැඳි 1 ක්

උළුහාල් තේ හැඳි 1/4 ක්

බී ලූනු ග්‍රෑම් 50 ක්

කහ කුඩු තේ හැඳි 1/4 ක්

රස අනුව ලුණු කුඩු,

ගම්මිරිස් කුඩු

තෙල් මේස හැඳි 2 ක්

අබ ඇට තේ හැඳි 1/2 ක්

පොල් කිරි තේ කෝප්ප 2 ක්

 

සාදන අන්දම

කරවිල අඟලක දෙකක පමණ කෑලි අඟල් 3/4 ක් ඝනකමට තීරු කපාගන්න. ඇට සහිතව. පසුව භාජනයකට තෙල් ළිප තබා රත්වූ පසු අබ ඇට දමන්න. එය පුපුරන විට රම්පෙ, කරපිංචා, ඉඟුරු, සුදුලූනු, බී ලූනු, අමුමිරිස් එකතු කර කුරුඳු, උළුහාල් මිශ්‍රකර ගන්න. පසුව මිරිස් කුඩු එකතු කර විනාඩියක් පමණ බැදගන්න. පසුව කහකුඩු, බැදපු තුනපහ කුඩු මිශ්‍රකර කපාගත් කරවිල එකතුකරන්න. එයට තක්කාලි ද එකතු කර රස අනුව ලුණු කුඩු එකතු කරගන්න. පියනකින් නොවසා උයාගන්න.

තැම්බීමට අවශ්‍ය තරම් වතුර එකතු කර ගන්න. හොඳින් ඉදුණු පසු පොල්කිරි එකතු කර හොඳින් පිස ගන්න.

----------------------------

පෝෂණයෙන් ඉහළ  මිශ්‍ර එළවළු කරිය

එළවළු ගන්න නිතර නිතර වෙළෙඳපොළට යන්නට බැරි කාලයකි මේ. ඒ වගේම ගෙනාව එළවළු වලින් ඉතිරි වුණු එළවළු ටික එකතු කරලා එක කරියක් හදා ගන්න පුළුවන් නම් එය කොයිතරම් වටිනවාද? එය පෝෂණය පැත්තෙන් වුණත් වටිනවා.

 

අවශ්‍ය ද්‍රව්‍ය

බෝංචි, කැරට්, වම්බටු, අළු කෙසෙල් සහ ඕනෑම එළවළු වර්ග කිහිපයක් භාවිත කළ හැකියි.

සුදුලූනු බික් 3 - 4 ක්

තරමක බී ලූනු ගෙඩි 1 ක්

අමු මිරිස් කරල් 2 - 3 ක්

ගාගත් පොල් කෝප්ප 1 ක්

වියළි මිරිස් කුඩු තේ හැඳි 2 ක්

කහ කුඩු තේ හැඳි 1/2 ක්

රස අනුව ලුණු කුඩු

ගම්මිරිස් කුඩු ස්වල්පයක්

සූදුරු තේ හැඳි 1 ක්

තක්කාලි ගෙඩි 2 ක්

රම්පෙ, කරපිංචා

තෙල් මේස හැඳි 3 ක්

පොල් වතුර / යෝගට් හෝ මුදවපු කිරි කෝප්ප 1 ක්

 

සාදාගන්නා අන්දම

පළමුව එළවළු ටික සෝදා කපා ගන්න. ගාගත් පොල්වලට අමු මිරිස්, සූදුරු ඇට දමා අඹරාගන්න.

භාජනයකට තෙල් දමා රත්වූ පසු අබ ඇට දමන්න. පුපුරන විට රම්පෙ, කරපිංචා, බීලූනු දමන්න. බැදීගෙන එන විට කපාගත් එළවළු ද මිරිස් කුඩු, කහ කුඩු, තක්කාලි සහ පොල් වතුර එකතු කර උයාගන්න. රස අනුව ලුණු කුඩු, ගම්මිරිස් එකතුකරන්න. ඉන්පසුව අඹරාගත් පොල් මිශ්‍රණයද දමා විනාඩි 2 - 3 ක් උයා අවසානයට කිරි ටික එකතු කරන්න.

------------------

වෙනස්ම රසයක් ගෙනෙන මුරුංගා මද බැදුම

මුරුංගා කියන්නේ පෝෂණයෙන් ඉහළ එළවළුවක්. ගමේ ගොඩේ වැටවල් වල ඉබේ වැවෙන මුරුංගා වෙනස්ම ආකාරයකට පිළියෙල කර බලන්න. පවුලේ අය ගොඩක් ආසාවේවි.

අවශ්‍ය ද්‍රව්‍ය

මුරුංගා ග්‍රෑම් 500 ක්

(මෝරපු නැති)

බී ලූනු ගෙඩි 2 - 3 ක්

තක්කාලි ගෙඩි 3 - 4 ක්

වියළි මිරිස් කෑලි මේස හැඳි 2 ක්

කහ කුඩු තේ හැඳි 1/4 ක්

සුදුලූනු මේස හැඳි 2 ක්

කුරුඳු කෑල්ලක්

අබ ඇට තේ හැඳි 1 ක්

රස අනුව ලුණු කුඩු සහ

ගම්මිරිස් කුඩු

තෙල් මේස හැඳි 3 - 4 ක්

රම්පෙ, කරපිංචා

උම්බලකඩ ටිකක් (අවශ්‍ය නම් පමණක්)

 

සාදාගන්නා අන්දම

මුරුංගා මදය සූරාගන්න. තෙල් රත්වන්නට තබන්න. රත්වූ පසු අබ ඇට එකතු කරන්න. පසුව රම්පේ, කරපිංචා, සුදුලූනු, කුරුඳු එකතුකර බැදගන්න. පසුව වියළි මිරිස් කෑලි, කහ කුඩු, තක්කාලි, ලුණු එකතුකර ගන්න. ටික වේලාවක් බැදගත් පසු සූරාගත් මුරුංගා මද එකතු කර මඳගින්නේ උයාගන්න.අවශ්‍ය නම් උම්බලකඩ එකතු කරන්න. අවසානයට මුරුංගා කොළ මිටක් එකතු කර ගත හැකි නම් පෝෂණයත් රසත් වැඩි කර ගත හැකිය.

-----------------

පොඩිත්තන් ප්‍රිය කරන පොලොස් මීට් බෝල්ස්

මේ දවස්වල ගම්වල සිටින ඔබට පහසුවෙන් සොයා ගන්න පුළුවන් දෙයක් තමයි පොලොස්. රසයෙන් වගේම ගුණයෙනුත් ඉහළ පොළොස් වලින් පොඩිත්තන් ආසා කරන විදිහට මීට බෝල්ස් හදා ගන්නා අන්දමයි මේ.

 

අවශ්‍ය ද්‍රව්‍ය

තම්බා පොඩි කරගත් පොළොස්

ග්‍රෑම් 500 ක්

සිහින්ව කපාගත් බී ලූනු ගෙඩි 1 ක්

අමු මිරිස් කරල් 2 - 3 ක්

රසට ලුණු කුඩු, ගම්මිරිස් කුඩු

කෝන් පිටි මේස හැඳි 3 - 4 හෝ

(කඩල පිටි එම ප්‍රමාණය)

අමු තුනපහ කුඩු මේස හැඳි 1 ක්

සිහින්ව කපාගත් කරපිංචා කොළ මිටක් තමන් කැමැති පලාවර්ගයකින් මිටක් පමණ හීනියට ලියා ගන්න.

තෙල් (ගැඹුරු තෙලේ බැදීමට)

 

සාදාගන්නා අන්දම

තෙල් හැර ඉතිරි ද්‍රව්‍යයන් සියල්ල එකට හොදින් මිශ්‍ර කර අනාගන්න. මෙතැනදී කෝන් පිටි හෝ කඩල පිටි වෙනුවට දවස් 1 - 2 ක් පරණ පාන් පෙති 2 ක් පමණ පොඩි කර මිශ්‍රණයක් අනාගත හැකිය.පෝෂණය වැඩි කරගැනීමට සිහින්ව කපාගත් පලාවර්ගයක් එකතු කරගන්න. පසුව හොඳින් අනාගත් මිශ්‍රණයන් කුඩා බෝල සාදා රත්වූ ගැඹුරු තෙලේ බැදගන්න. පසුව තමන් කැමැති ආකාරයකට උයා ගත හැකිය. මස් කරියක් ආකාරයට හෝ බැදුමක් ආකාරයට සාදාගත හැකිය.

-----------------

කල් තබාගෙන රස විඳිය හැකි වට්ටක්කා චට්නි

වට්ටක්කා කියන්නේ පෝෂණය පිරුණු එළවළුවක් වුණත් නිතර නිතර එක දිගටම වට්වක්කා මාළුව කන්න කවුරුත් කැමැති වෙන එකක් නැහැ.

ඒත් ලොකු වට්ටක්කා ගෙඩියක් ගෙනා අවස්ථාවක නාස්ති නොවී ඉතිරි වට්ටක්කා වලින් ප්‍රයෝජනයක් ගත හැකි නම්. වට්ටක්කා චට්නි එකක් හදා ගන්න පුළුවන් නම් එයට කදිම විසඳුමක්. අරපිරිමැස්ම ගැන හිතන ඔබ මේ චට්නි එක හදලා බලන්න. පවුලේ අය ආසාවෙන් රස විඳීවි.

 

අවශ්‍ය ද්‍රව්‍ය

වට්ටක්කා ග්‍රෑම් 500 ක්

ඉඟුරු / සුදුලූනු මේස හැඳි 2

මිරිස් කුඩු මේස හැඳි 2 ක්

ලුණු කුඩු, ගම්මිරිස් කුඩු

විනාකිරි කෝප්ප 1 1/2 ක්

අඟලක පමණ කුරුඳු කෑල්ලක්

ප්ලම්ස් 100 (අත්‍යාවශ්‍ය නොවේ)

සීනි ග්‍රෑම් 400 ක්

වට්ටක්කා ඇට ඉවත නොහරින්න

 

සාදාගන්නා අන්දම

වට්ටක්කා පොත්ත ඉවත් කර ඇටද ඉවත්කර සෝදා ගන්න. කුට්ටි කපා තම්බාගන්න. වට්ටක්කා ඇට කබලේ බැදගන්න. තම්බාගත් වට්ටක්කා බ්ලෙන්ඩර් කරගන්න. අවශ්‍ය නම් වට්ටක්කා තම්බාගත් වතුර ටිකක්ද මිශ්‍ර කරන්න. ප්ලම්ස්, වට්ටක්කා ඇට හැර ඉතිරි ද්‍රව්‍යයන් මිශ්‍රකර උණුකර ගන්න. තරමක් ඝනකමට (චට්නි එකේ පදමට) පැමිණි පසු ප්ලම්ස්, වට්ටක්කා ඇට එකතු කර ළිපෙන් ඉවතට ගන්න.

උණුවතුරේ තම්බා පිරිසුදු කරගත් බෝතල්වලට දමා නිවුණු පසු මූඩිය වසා තබන්න. ඉතා රසවත් චට්නි වර්ගයකි. කල්තබා ගත හැකිය.

 

---------------------

 

මැංගෝ ජෙලි පුඩිම

මේ අඹ වාරයයි. කාලයේ විදිහට මුදලක් වැය නොකර කෑමක් සාදා ගත හැකි නම් එහි ඇති වටිනාකම කියා නිම කළ නොහැකියි. මේ එවැන්නකි

 

අවශ්‍ය ද්‍රව්‍ය

ඉදුණ අඹ ග්‍රෑම් 500 ක්

නැවුම් කිරි කප් 2 ක්

(පිටිකිරි දියකර කප් 2 ක් සාදා ගත හැක)

රසට සීනි (තමන්ට කැමැති පරිදි)

ජෙලටින්

වතුර කප් 1 ක්

ලුණු කුඩු තේ හැඳි 1/4

පමණ

 

සාදාගන්නා අන්දම

ඉදුණු අඹ පොත්ත ඉවත්කර මද කුඩා කොටස්වලට කපාගන්න.

එයට වතුර කප් 1 ක් එකතු කර ක්‍රීම් එකක් ආකාරයට බ්ලෙන්ඩර් කරගන්න.

බ්ලෙන්ඩර් කරගත් අඹ කප් එකෙන් මැනගන්න. (උදා:- කප් 3 ක් පමණ ප්‍රමාණයක් ඇතිවේ.)

පසුව කිරි රසට සීනි එකතු කරන්න. එයටම ලුණු කුඩු ද මිශ්‍රකරන්න.

මිශ්‍රණය ප්‍රමාණයෙන් කප් 5 කට පමණ තියෙනවා නම් ජෙලටින් තේ හැඳි 5 ක් ප්‍රමාණයක් ගෙන උණුවතුර කප් 1/2 ක දියකර ගන්න.

අඹ මිශ්‍රණය ළිපේ තබා උණුවේගෙන එනවිට දියකරගත් ජෙලටින් එකතු කරගන්න.

ජෙලටින් ටික හොඳින් දියවූ පසු ළිපෙන් ඉවතට ගෙන තමන් කැමැති භාජනයකට දමා ශීතකරණයේ මිදෙන්න තබා කෑමට ගන්න.

 

--------------------

රස ගුණ පිරි වැටකොලු පොතු බැදුම

(අපේ ඉතා පැරැණි කෑම වට්ටෝරුවකි)

ගෙදරට වැටකොලු ගෙනාවාම පොත්ත විසිනොකර තබා කෑමට ගන්න. පසු දින ගැනීම සඳහා ශීතකරණයේ තබා ගත හැකි අතර ශීතකරණයක් නොමැති නම් කඩදාසි කැබැල්ලක හොඳින් ඔතා තබාගත හැකිය.

 

අවශ්‍ය ද්‍රව්‍ය

වැටකොලු පොතු අවශ්‍ය ප්‍රමාණයට

බී ලූනු ගෙඩි 1 ක්

ඉඟුරු, සුදුලූනු මේස හැඳි 1 ක්

රසට ලුණු කුඩු, ගම්මිරිස් කුඩු

වියළි කෑලි මිරිස් මේස හැඳි 1 1/2 ක්

කහ කුඩු තේ හැඳි 1/2 ක්

තක්කාලි ගෙඩි 2

කුරුඳු කැබැල්ලක්

අබ ඇට තේ හැඳි 1 ක්

රම්පේ, කරපිංචා

අවශ්‍ය නම් උම්බලකඩ කුඩු

තෙල් මේස හැඳි 3 - 4 ක්

පොල් කිරි කෝප්ප 1/2 (මිටි කිරි)

 

සාදාගන්නා අන්දම

වැටකොලු පොතු මිරිස් ගලේ තබා තලා කුඩාවට කපාගන්න. (මිරිස්ගලක් නැතිනම් පොතු බරැති දෙයකින් තලා කපාගන්න.)

භාජනයකට තෙල් දමා රත්වූ පසු අබ ඇට දමා පුපුරන විට රම්පේ, කරපිංචා, ඉඟුරු, සුදුලූනු, කුරුඳු, ලියාගත් ලූනු, වියළි මිරිස් කෑලි, කහ කුඩු, තක්කාලි සහ තලා කුඩාවට කපාගත් වැටකොලු පොතු එකතුකර මඳ ගින්නේ උයාගන්න. රස අනුව ලුණු කුඩු, ගම්මිරිස් කුඩු එකතු කර අවසානයට පොල් කිරි එකතුකර හොඳින් හින්දවා ගන්න.

වඩාත් රසවත් කිරීමට අවශ්‍ය නම් උම්බලකට කුඩු එකතු කරගන්න.

ඉතා රසවත් කෑමකි.

 

--------------------

වෙනස්ම රසයක් ගෙනෙන සූදුරු බත

මේ දවස්වල ගෙදරටම වෙලා ඉන්න නිසා බත් කෑම සමහරකුට එපා වෙලත් ඇති. ඒ නිසා අපි ඔබට තරමක් වෙනස් ආකාරයට බත් උයා ගන්න අන්දම කියා දෙන්නයි යන්නේ.

 

අවශ්‍ය ද්‍රව්‍ය

හාල් ග්‍රෑම් 500 ක් හෝ තමන්ට අවශ්‍ය ප්‍රමාණයට

(ප්‍රමාණය වැඩි කරන්නේ නම් එයට සාපේක්ෂව අනෙකුත් ද්‍රව්‍ය ප්‍රමාණයද වැඩි කර ගත යුතුය)

බී ලූනු ගෙඩි 1 ක්

තලා පොඩිකරගත් ඉඟුරු, සුදුලූනු මේස හැඳි 1ක්

රම්පේ, කරපිංචා, අඟලක සේර කෑල්ලක්.

එනසාල්, කරාබු නැටි, අඟලක කුරුඳු කෑල්ලක්

සූදුරු ඇට මේස හැඳි 1 1/2 ක්

ගම්මිරිස් ඇට මේස හැඳි 1 ක්

රස අනුව ලුණු කුඩු

පොල්කිරි කප් 1 ක් (මිටි කිරි)

එළඟිතෙල් හෝ පොල්තෙල් මේස හැඳි 3 ක්

 

සාදාගන්නා අන්දම

හාල් සෝදා ගන්න. භාජනය ළිපේ තබා තෙල් දමන්න. තෙල් රත්වීගෙන එනවිට රම්පේ, කරපිංචා, සේර, ඉඟුරු, සුදුලූනු, බී ලූනු එකතුකරගන්න. එය බැදීගෙන එන විට සූදුරු ඇට, ගම්මිරිස් ඇට එකතු කරන්න.

පසුව සෝදා ගත් හාල් එකතු කර ඉදීමට අවශ්‍ය ප්‍රමාණයට වතුර දමා බත උයාගන්න.

බත මඳ ගින්නේ තබනවිට පොල් කිරිවලට ලුණු එකතුකර එයට දමා වසා තබන්න.

මෙම බත රසවත් කරගන්න තමන්ගේ ගෙවත්තේ ඇති කෝප්ප කොළ හෝ කතුරුමුරුංගා කොළ හෝ මුරුංගා කොළ ටිකක් ගැඹුරු තෙලේ බැද අවසානයට එකතු කරගන්න.

 

-----------------------

උදේ කෑමක්

එළවළු මිශ්‍ර හාල්පිටි පෑන් කේක්

 

අවශ්‍ය ද්‍රව්‍ය

සුදු කැකුලු හෝ රතු කැකුලු හාල් කප් 1 ක් (කලින් දින රෑට පෙඟෙන්න දමන්න)

අල ගෙඩි 1 (තම්බා පොඩිකරගන්න)

කැරට් අල 1, රතුලූනු හෝ බී ලූනු අවශ්‍ය ප්‍රමාණයට

අමු මිරිස් කරල් 2 - 3 ක්

කරපිංචා මිටක්, මුරුංගා කොළ මිටක්

රස අනුව ලුණු කුඩු, ගම්මිරිස් කුඩු

කහ කුඩු තේ හැඳි 1/4 ක්

තෙල්

 

සාදාගන්නා අන්දම

පොඟවාගත් හාල් වලට වතුර ටිකක් මිශ්‍රකර ක්‍රීම් එකක් ආකාරයට බ්ලෙන්ඩර් කරගන්න. එයට තම්බා පොඩිකරගත් අල ගෙඩියද දමා බ්ලෙන්ඩර් කරගන්න.

ඉන්පසු මෙය භාජනයකට දමා සිහින්ව කපාගත් කැරට්, අමුමිරිස්, ලූනු, කරපිංචා, මුරුංගා කොළ, රස අනුව ලුණු කුඩු, කහ කුඩු, ගම්මිරිස් එකතු කරගන්න.

මිශ්‍රණය තරමක් දියාරුවට තිබිය යුතුයි. වතුර ටිකක් මිශ්‍ර කරගන්න. තමන්ට අවශ්‍ය්‍ය නම් බීට් කරගත් බිත්තරයක්ද එකතු කළ හැකිය.

පසුව පෑන් එකකට තෙල් ටිකක් දමා රත්වූ පසු මිශ්‍රණයෙන් ටිකක් දමා රන්වන් පාටට දෙපැත්ත පුච්චා කරියක් සමග කෑමට ගන්න.

තමන්ට අවශ්‍ය නම් කුරක්කන් පිටි මේස හැඳි 2 ක් එකතු කළ හැකිය. පෝෂණය වැඩිවේ.

 

---------------------

කටට සැරට වෙජිටබල් පෆ්

පොඩිත්තන් නිවෙසේ රැඳෙන මේ කාලයේ ඔවුන් වෙනුවෙන් මේ කදිම ආහාරය සකසා ගන්න.

 

අවශ්‍ය ද්‍රව්‍ය

ඕනෑම වර්ගයක අල ග්‍රෑම් 100 ක්

(බතල, මඤ්ඤොක්කා හෝ වට්ටක්කා භාවිතා කළ හැකිය)

අමු මිරිස් කරල් 2 ක් පමණ

බී ලූනු ගෙඩියක්

තරමක කැරට් අල 1 ක්,

ලීක්ස්, ගෝවා තමන්ට අවශ්‍ය තරම්

රස අනුව ලුණු කුඩු / ගම්මිරිස් කුඩු

අමු තුනපහ කුඩු තේ හැඳි 1 ක්

රසට දෙහි යුෂ

පොල් මේස හැඳි 2, 3 ක්

මිරිස් කුඩු තේ හැඳි 2 ක්, කහ කුඩු

තේ හැඳි 1/2 ක්

කරපිංචා මිටක්, ඕනෑම පළා වර්ගයක් (මිටක් පමණ)

 

පේස්ට්‍රිය සඳහා

පාන්පිටි ග්‍රෑම් 250 ක්

රසට ලුණු කුඩු, බේකිං පවුඩර්

තේ හැඳි 1/4 ක්

පොල් මේස හැඳි 2 ක්

පොල් කිරි මේස හැඳි 3 - 4

(අවශ්‍ය ප්‍රමාණයට)

ගැඹුරු තෙලේ බැදීමට තෙල්

 

සාදාගන්නා අන්දම

පේස්ට්‍රියට අවශ්‍ය ද්‍රව්‍ය අනාගෙන පසෙකින් තබන්න.

තම්බාගත් අල වර්ගය පොඩි කරගන්න. එයට සිහින්ව කපාගත් අමුමිරිස්, ලූනු, කැරට් අවශ්‍ය ප්‍රමාණයට ලීක්ස්, ගෝවා එකතු කරන්න. පසුව ගාගත් පොල්, අමු තුනපහ, රසට ලුණු කුඩු, ගම්මිරිස්, කරපිංචා, පලාවර්ගයත් දමා කළවම් කර රසට දෙහි යුෂ එක්කර ගන්න. පසුව දෙහි ගෙඩි ප්‍රමාණයේ බෝල සාදා ගන්න. පේස්ට්‍රියෙන් කුඩා බෝල කඩා ගෙන අල්ල මත තබා රවුමට තුනීකර සූදානම් කරගත් කරිය මැදට තබා වටේ එකතුකර රවුම් කර බෝල සාදාගන්න.රත්වූ ගැඹුරු තෙලේ රන්වන් පාටට බැද උණුවෙන් කෑමට ගන්න. ගත හැකිය.