රසය, පෝෂණය සමඟ සෞඛ්‍ය සුරකින්නට දේශීය කෑම

නොවැම්බර් 22, 2021

රසය සහ පෝෂණය පිරුණු කෑම වේලක් සකසා පවුලේ ඇත්තන්ට ආදරයෙන් සංග්‍රහ කරන්නයි ඔබේ වෑයම. ඔබේ දිවියේ අංක එකත් පවුලයි. ඒ නිසාම පවුලේ සාමාජිකයන්ගේ පෝෂණය, සෞඛ්‍ය ගැන හිතා කෑම වේල සැකසීමත් ඔබේ වගකීමක්. ඒ වගකීම අකුරටම ඉටුකරන්නට රසය, පෝෂණය වගේම සෞඛ්‍ය ගැනත් හිතා තරුණී සෑම සතියකම අගනා කෑම අතිරේක ඔබට තිළිණ කරනවා.

ඒ අතිරේක අතරට අද තිළිණ වන්නේ දේශීය දේවලින් රසවත් කෑම වර්ග කිහිපයක් සකසා ගන්නා ආකාරයයි. මේ කෑම විවිධ ලෙඩ රෝග සුව කරන්නත් ඔසු ගුණයක් සහිත කෑම වීම විශේෂයි. එසේ නම් බලන්න, ඔබේ පවුලේ සාමාජිකයන්ට සකසා දෙන්නට මේ අතිරේකයේ කෑම වර්ග අතරින් ඔබේ තෝරා ගැනීම් මොනවද කියා.

අදත් මේ අතිරේකය ඔබට තිළිණ කරන්නේ සූපවේදිනී තිලානි විතානගේ මහත්මියයි. ඇය මේ කෑම සිය පවුලේ සාමාජිකයන්ගේ පෝෂණය සහ සෞඛ්‍ය ගැන සිතා සැකසූ ඒවා වීමත් විශේෂත්වයකි.

 

ඡායාරූප හා උපදෙස් සූපවේදිනී

තිලානි විතානගේ

 

සුදු හඳුන් දලු සම්බෝලය

 

අවශ්‍ය වන්නේ

 

ළපටි සුදු හඳුන් දලු

(හොඳින් සෝදා වතුර පෙරා නැටි ඉවත්කර දලු කඩාගන්න)

සිහින්ව ලියාගත් රතුලූනු

සිහින්ව ලියාගත් අමුමිරිස්

පදමට ලුණු

ගාගත් පොල්මිටක්

උම්බලකඩ කුඩු ටිකක් (අවශ්‍ය නම් පමණක්)

 

හදන්නේ මෙහෙමයි

හඳුන් දලු සිහින්ව ලියා භාජනයකට දමා රතුලූනු, අමුමිරිස්, පොල්, ලුණු හා උම්බලකඩ දමා කොළ පොඩි නොවෙන විදිහට කලවම් කරන්න. අවසානයට දෙහි ඇඹුල් එකතුකර ගන්න (මෙය කෑමට මොහොතකට පෙර හදාගන්නවා නම් හොඳයි)

 

****************

තල් හකුරු මිශ්‍ර සව් කැඳ

 

අවශ්‍ය වන්නේ

 

සූරා ගත් තල් හකුරු

ඔබේ රස පදමට

සව් ඇට ග්‍රෑම් 50ක්

උකු පොල් කිරි

කෝප්පයක්

ලුණු ස්වල්පයක්

තළා ගත් කරදමුංගු හා

කරාබු නැටි කිහිපයක්

කජු හා ප්ලම්ස්

(අවශ්‍ය නම්)

වතුර පීරිසි කෝප්ප 3ක්

 

හදන්නේ මෙහෙමයි

 

මුලින්ම සව් ටික හොඳින් සෝදා වතුර කෝප්ප 3ක් දමා ඒකටම ලුනු ස්වල්පයක් එකතු කර අඩු ගින්දරේ ළිපේ තබා හොඳින් බුබුළු දමා උතුරනකම් හැඳි ගාන්න. සව් මිශ්‍රණය වතුර පැහැ වී උතුරනකොට පොල්කිරි කෝප්පය එකතු ක හොඳින් හැඳි ගාන්න. දැන් තල් හකුරු, තළාගත් කරදමුංගු හා කරාබු නැටි සව් මිශ්‍රණයටම දමා අඩු ගින්දරේ හොඳින් හැඳි ගාමින් සව් කැඳ පිස ගන්න. උඩින් කජු හා ප්ලම්ස් දමා සරසා උණුවෙන්ම රස විඳින්න.

****************

 

ගමේ තාලෙට කහ පොල් මැල්ලුම

අවශ්‍ය වන්නේ

පොල් කෝප්පයක් පමණ

ලියාගත් කොච්චි හෝ අමුමිරිස්, සුදු ලූනු,

රතු ලූනූ, තක්කාලි හා කරපිංචා

කහ ස්වල්පයක්, ගම්මිරිස් ඇට,

අබ ස්වල්පයක්,

රම්පේ කෑල්ලක් හා පදමට ලුණු

සෝදා පිරිසුදු කර කුඩා කැබලි කඩා ගත්

හාල්මැස්සන් ටිකක් හෝ කූනිස්සන්

කුරුඳු පොත්තක්

ගොරකා පේස්ට්

 

හදන්නේ මෙහෙමයි

කොච්චි හෝ අමුමිරිස්, රතු ලූනු, සුදු ලූනු, කහ සහ ගම්මිරිස් ඇට වංගෙඩියක දමා හොඳින් කොටා ගන්න. එයටම පොල් ටික හා පදමට ලුණු එකතු කර අපි සාමාන්‍ය පොල් සම්බෝලය කොටන විදිහට කොටා ගන්න. දැන් භාජනයක් ළිපේ තියා තෙල් ස්වල්පයක් රත්කර අබ පුපුරුවා ගන්න. එයටම කරපිංචා, කුරුඳු කැබැල්ල, තක්කාලි හා ගොරකා සමඟම හාල්මැස්සන් හෝ කූනිස්සන් එකතු කර මඳ ගින්දරේ ස්වල්ප වේලාවක් බැද ගන්න.

එයටම කලින් කොටාගත් පොල් මිශ්‍රණය දමා තත්පර කිහිපයක් කූරූ ගාමින් මළවාගෙන ළිපෙන් අයින් කරන්න. (අවශ්‍ය නම් පොල් මිශ්‍රණයට උම්බලකඩ වුවත් එකතු කර ගන්න පුළුවන්.)

****************

 

පොල් රොටී කොත්තු

අවශ්‍ය වන්නේ

කුඩා කෑලි කපාගත් පොල් රොටී

අවශ්‍ය පමණට

අබ ටිකක්

තළාගත් ඉඟුරු හා සුදු ලූනු

ලියාගත් අමුමිරිස්, කරපිංචා, තක්කාලි, ලීක්ස්,

කැරට්, ලූනු කොළ, ලියාගත් කොච්චි ටිකක්

හා බී ලූනු

බිත්තරයක්

චෙඩාර් වර්ගයේ චීස් (අවශ්‍ය නම්)

සෝයා සෝස්, තක්කාලි සෝස් හා පැස්ටා සෝස් මේස හැන්ද බැගින්

ෆ්‍රයිඩ් රයිස් සීසනිං තේ හැන්දක් (සුපිරි වෙළෙඳසල්වලින් මිලදී ගත හැකියි)

පදමට ලුනු, ගම්මිරිස් කුඩු, අමු තුනපහ කුඩු ටිකක් හා මිරිස් කුඩු

ඔබ කැමැති ඕනෑම වර්ගයක හොදි මේස හැඳි 3ක් (චිකන්/මාළු/අල) හා කුකිං ඔයිල් ටිකක්

 

හදාගන්නේ මෙහෙමයි

කුකිං ඔයිල් ටික ළිපේ තියා රත් කරන්න. ඒකට අබ දමා පුපුරුවන්න. ඒකටම තළාගත් ඉඟුරු හා සුදු ලූනු, කරපිංචා, අමුමිරිස්, තක්කාලි හා බී ලූනු දමා බැදෙන්න හරින්න. දැන් පොල් රොටී කෑලි, බිත්තරය, චීස් හැර ඉතුරු සියල්ලම දමා තවත් ටික වෙලාවක් බැදෙන්න හරින්න. ඒකටම හොදි ටික එකතු කරන්න. දැන් බිත්තරය එකතුකර ටිකක් වෙලා හැන්දකින් කූරු ගාන්න.

පොල් රොටී කෑලි හා චීස් එකතු කර හොඳින් මිශ්‍ර කර ළිප ඕෆ් කර උණුවෙන්ම කෑමට ගන්න. (අවශ්‍ය නම් චිලි පේස්ට් වුවදමෙය හදනකොට එකතු කර ගන්න පුළුවන්)

 

****************

අමු ගස්ලබු සලාදය

 

 

අවශ්‍ය වන්නේ

 

හොඳින් පැසුණු ගස්ලබු ගෙඩියක්

ලෙමන් යුෂ

සලාද කොළ

අවශ්‍ය නම් පොල් ටිකක් හා රටකජු ටිකක්

ඔබේ රස පදමට ලුණු හා ගම්මිරිස් කුඩු

 

හදන්නේ මෙහෙමයි

 

ගස්ලබු ගෙඩියේ පොත්ත හා ඇට ඉවත් කර ග්‍රේටරයක් භාවිත කර ග්‍රේට් කර ගන්න. එයට කුඩාවට කපාගත් සලාද කොළ හා අවශ්‍ය නම් පොල්, රටකජු එකතු කරන්න. දැන් පදමට ලුණු, ගම්මිරිස් කුඩු හා ලෙමන් යුෂ එකතු කර පොඩි නොවන සේ හැන්දකින් කලවම් කර එවෙලේම කෑමට ගන්න.

 

****************

පොලොස් බර්ගර්

 අවශ්‍ය වන්නේ

 

සාමාන්‍යයෙන් පොලොස් උයන්න

ගන්න ප්‍රමාණයේ කෑලි 10ක් පමණ

BBQ සෝස් කෝප්ප 1/2ක්

තළාගත් සුදු ලූනු

සිහින්ව ලියාගත් බී ලූනු හා අමුමිරිස්

මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු

ලුණු ඔබේ රස පදමට

වර්ජින් කොකනට් ඔයිල් හෝ ඔලිව් තෙල් මේස හැන්දක්

සෝයා සෝස් මේස හැන්දක්

බර්ගර් බන්

සැරසීමට සලාද කොළ හා ගෝවා

 

හදන්නේ මෙහෙමයි

මුලින්ම පොලොස් කැබලි කුඩාවට කපා ලුණු හා වතුර දමා හොඳින් තම්බා ගන්න. (ඔබ ටින් පොලොස් භාවිත කරනවා නම් තැම්බීමට අවශ්‍ය නොවේ) ඒක තැම්බෙන අතරේ භාජනයකට BBQ සෝස්, සෝයා සෝස් හා මිරිස් කුඩු එකට දමා හැන්දකින් මිශ්‍ර කර පසෙකින් තබා ගන්න.

පොලොස් කැබලි තැම්බුණු පසු හොඳින් පොඩි කර ඒකත් පසෙකින් තබා ගන්න. දැන් භාජනයක් ළිපේ තියා වර්ජින් කොකනට් ඔයිල් හෝ ඔලිව් තෙල් දමා රත් කර එයට සුදු ලූනු, බී ලූනු හා අමුමිරිස් දමා තෙම්පරාදු කරන්න. ගම්මිරිස් එකතු කරන්න. එයටම පොඩි කරගත් පොලොස් එකතු කර ටික වේලාවක් බැද ගන්න. කලින් හදාගත් BBQ සෝස් මිශ්‍රණය එකතු කර ළිප ඕෆ් කරන්න. ලුණු අවශ්‍ය නම් පමණක් දාන්න.

දැන් බර්ගර් බන් එක දෙකට කපා බටර් හෝ චීස් තවරා පොලොස් මිශ්‍රණය ඒ මත තවරා ගන්න. අවසානයට පොලොස් මිශ්‍රණය උඩින් සලාද කොළ හා ගෝවා අතුරා රස විඳින්න. අවශ්‍ය නම් මයොනිස් සෝස් දාන්නත් පුළුවන්.

 

 

****************

කෝප්ප දලු මැල්ලුම

අවශ්‍ය වන්නේ

 

පිරිසුදු කරගත් ළපටි කෝප්ප දලු මිටක්

පොල් ටිකක්

ලියාගත් අමුමිරිස් හා රතු ලූනූ

කහ ස්වල්පයක්

පදමට ලුණු

 

හදන්නේ මෙහෙමයි

 

සිහින්ව ලියාගත් කොළ ටිකට ඉතුරු සියලුම දේවල් දමා කොළ පොඩි නොවන සේ අතින් මිශ්‍ර කරන්න. කොළ මැල්ලුමට තෙල් ස්වල්පයක් අතගා තත්පර කිහිපයක් ළිපේ තබා කූරූ ගාමින් මළවාගෙන ළිපෙන් අයින් කර වෙනත් භාජනයකට මාරු කරන්න. නැත්නම් භාජනයේ රස්නෙට මැල්ලුමේ ලස්සන කොළ පැහැය නැති වෙනවා.

****************

 

ක්‍රිස්පි පතෝල

අවශ්‍ය වන්නේ

 

සාමාන්‍ය ළපටි පතෝල කෑලි කීපයක්

බැටර් එක සඳහා

කඩල පිටි මේස හැඳි 2ක්

පාන්පිටි මේස හැඳි 1ක්

රුලන් මේස හැඳි 1ක් (රුලං අත්‍යවශ්‍යම නෑ. ඒත් ඕනෙම බැටර් එකකට රුලං ටිකක් එකතු කළ විට ක්‍රිස්පි ගතිය එනවා)

 

බිත්තරයක්

බැදීමට තෙල්

 

පිරවුම සඳහා,

තම්බා පොඩි කරගත් අල ගෙඩි කීපයක්

තළාගත් සුදු ලූනු, ලියාගත් රතු ලූනු, තක්කාලි හා අමුමිරිස්

ගම්මිරිස් කුඩු හා පදමට ලුණු

අවශ්‍ය නම් සැමන් හෝ තම්බා ගත් බිත්තර කහමද හෝ කැමති දෙයක් එකතු කර ගන්න පුළුවන.

 

හදන්නේ මෙහෙමයි

මුලින්ම පතෝල කරල්වල මැද හැඳි මිටකින් පරිස්සමෙන් අයින් කර රවුම් කපා ගන්න. දැන් ඒක පැත්තකින් තියා පිරවුම හදා ගනිමු. මුලින්ම භාජනයක් ළිපේ තියා, ඒකට බටර් ටිකක් දමා සුදු ලූනු, රතු ලූනු, අමුමිරිස් හා තක්කාලි දමා තෙම්පරාදු කරන්න. ඒකටම තම්බා හොඳින් පොඩි කරගත් අල, සැමන් හෝ බිත්තර එකතු කරලා, පදමට ගම්මිරිස් හා ලුණු දමා පැත්තකින් තියා ගන්න. (කට්ලට් පිරවුම වගේ)

 

දැන් හදන්න යන්නේ බැටර් එක

කඩල පිටි භාජනයකට දමා, ඒකට ලුණු, බිත්තරය හා රුලං ටික දාන්න. වතුර ස්වල්පයක් දමා කට්ලට්වලට වඩා පොඩ්ඩක් ඝනකමට හැන්දකින් බැටර් එක හදා ගන්න.

(ඒකත් පැත්තකින් තියන්න.) මුලින්ම කපාගත් පතෝල රවුම් ටික පිළිවෙළට පිඟානක අසුරන්න. පිරවුමෙන් ටික ටික අරන් අර රවුම් පුරවන්න.

දැන් අල පිරවුම පුරවා ගත් පතෝල රවුම් බැටර් එකේ දාලා (5ක් වගේ එක් වරකට) තෙලට දමා රන්වන් පැහැ වනතුරු බැද ගන්න. බැටර් එක ඝනකම වැඩි නම් තව වතුර ටිකක් එකතු කරන්න.

 

******************

 පිටවක්කා කොළ මිශ්‍ර පරිප්පු ව්‍යාංජනය

මුලින්ම පරිප්පු ව්‍යංජනය සකසා ගන්න. ළිපෙන් බාන්නට පෙර හොඳින් සෝදා ගත් පිටවක්කා කොළ එකතු කර ළිප නිවා ගන්න. පරිප්පු එකේ රස්නෙට පිටවක්කා කොළ යාන්තමින් තැම්බුණාම ඇති. (අවශ්‍ය නම් පරිප්පු තෙම්පරාදු කර ගන්නත් පුළුවන්)

 

ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කිරීමේ ඖෂධීය ගුණයෙන් යුත් පිටවක්කා ශාකයේ කොළ නෙල්ලි කොළයට සමානයි. මෙහි වර්ග දෙකක් තියෙනවා. රතු පාට දණ්ඩ තියෙන පිටවක්කා ශාකය සහ කොළ පාට දණ්ඩ සහිත එළ පිටවක්කා ශාකය. අප කෑමට ගන්නේ එල පිටවක්කා ශාකයයි. එය පිටිපස්සේ පුංචි ගෙඩි වැලක් සේ දකින්නට තියෙනවා. ඖෂධ ගුණයෙන් ඉතා ඉහළ මෙය සාමාන්‍ය ව්‍යවහාරයේ "බිම් නෙල්ලි" යනුවෙන් ද හඳුන්වනවා. මෙය බොහෝ දෙනා වල් පැළෑටියක් කියලා හිතාගෙන විනාශ කරන, හුඟක් දෙනෙක් අඳුරන්නෙ නැති ශාකයක්.

සෙංගමාලයට, දියවැඩියාවට, දිලීර, වයිරස්, බැක්ටීරියා ආසාදනවලට, ලේ පිරිසුදු කරන්න, මුත්‍රා ආසාදනයට, මලබද්ධයට, සෙම් රෝගවලට ඉතාමත් ගුණදායක ශාකයක් යැයි වෙද පොත්වල සඳහන් වෙනවා .

පිටවක්කා අක්මාව නීරෝගිමත්ව තබා ගන්න බොහෝ උපකාරී වෙනවා. ආයුර්වේදයේ මේ පැළෑටිය සෙංගමාලය, කහ උණ වැනි රෝග වලට ඖෂධයක් ලෙස භාවිත කරනවා. ඒ වගේම අක්මාව දුර්වල වුණාම එන ඇස් පෙනීම දුර්වල වීමේ රෝගයට, පිත වැඩි වීමට, සැරෙන් සැරේ එන උණ රෝගයට , අක්මාවේ තෙල් තැන්පත් වුණාම එන ෆැටි ලිවර් තත්ත්වයට හා ලේවල සීනී පාලනය යන රෝග හා තත්ත්වයන් වළකා ලීමේ හැකියාවක් මේ එල පිටවක්කා පැළෑටියට තියෙනවා. මීට අමතරව වකුගඩුවල ගල් දිය කර හැරීමේ විශේෂ හැකියාවක් ද මෙහි ඇත.

(පිටවක්කා ගැන මේ තොරතුරු අන්තර්ජාලයෙනි)