නත්තල් කෑම මේසයට කොමඩු ජෙලි පුඩිං

දෙසැම්බර් 13, 2021

තේ බීමට අකැමැති ඔබේ අමුත්තන්ට සංග්‍රහ කරන්න මේ කොමඩු ජෙලි පුඩිම හොඳින් ගැළපේවි. ඒ විතරක් නෙවෙයි, දහවල් කෑම මේසයේ දී මෙන්ම රාත්‍රී කෑම මේසයටත් අතුරුපසක් ලෙස ඔබේ නත්තල රසවත් කරන්න මේ කොමඩු ජෙලි පුඩිම කදිමයි.

අවශ්‍ය ද්‍රව්‍ය වන්නේ:

රතු හා කොළ ජෙලි ග්‍රෑම් 100ක්

යෝගට් ග්‍රෑම් 150ක්

ජෙලටින් තේ හැඳි දෙකක්

අයිසිං ෂුගර් ( ඔබ කැමැති රස පදමට)

කොමඩු ජෙලි එක හදමු:

මුලින් ම මෙය සෑදීම සඳහා ගැළපෙන බඳුනක් සොයා ගන්න. මෙය තරමක උසක් ඇති රවුම කුඩා එකක් විය යුතුයි.

රතු පැහැති ජෙලි එකට උණු වතුර මිලි ලීටර 300ක් දමා හොඳින් දියකර බෝල් එකට දමන්න. මෙහි කළු පැහැති ඇට ලෙස පෙනෙන්නේ පැෂන් ෆෘට් ඇටයි. පිරිසුදු කරගත් පැෂන් ෆෘට් ඇට කිහිපයක් කොමඩු ඇට ලෙස පෙනෙන සේ තැනින් තැන දමන්න. දැන් මේ ජෙලි බඳුන අධිශීතකරණයට දමා ඉක්මනින් සවි වීමට හරින්න.

විනාඩි 10-15කින් මෙය හොඳින් සවි වී ඇත්දැයි බලන්න. වැඩි වේලාවක් ගියහොත් මෙය අයිස් විය හැකි නිසා ඒ ගැන අවධානයෙන් සිටීම වැදගත්. මේ අතර ජෙලටින් පෙඟීම සඳහා සාමාන්‍ය ජලය ස්වල්පයකට දමන්න.

මඳ වේලාවක් ශීතකරණයෙන් එළියේ තබා සිසිල් බව නැති කරගත් යෝගට් එකට අයිසිං ෂුගර් දමා හොඳින් දියවනතෙක් මිශ්‍ර කරන්න.

දැන් පෙඟෙන්නට දැමූ ජෙලටින් බඳුනකට දමා රත්කරන්න. උණු ජෙලටින් හැන්ද බැගින් යෝගට් මිශ්‍රණයට එකතු කරමින් හොඳින් කළවම් කරන්න. (මෙසේ කරන්නේ මිශ්‍රණය කැටි නොගැසී සකසා ගැනීමටයි) දැන් ජෙලටින් සියල්ල යෝගට් සමඟ දියකොට සෙට් වී ඇති රතු ජෙලි ලේයර් එකට උඩින් දමන්න. දැක් මෙය නැවතත් අධිශීතකරණයට දමා හොඳින් සවි වන තෙක් විනාඩි කිහිපයක් තබන්න.

දැන් කොළ පැහැති ජෙලි එකට උණුවතුර මිලි ලීටර 300ක් දමා හොඳට උතුරවා ගන්න. දැන් මෙය උණුසුම යනතෙක් තබා කලින් අධිශීතකරණයට දැමූ ජෙලි මිශ්‍රණය එළියට ගෙන එහි සුදු කොටසට උඩින් කොළ පැහැති ජෙලි මිශ්‍රණය දමන්න. (මෙය හොඳින් නිවා දැමිය යුත්තේ නැතිනම් ජෙලි දිිය වී වර්ණ එකින් එක මිශ්‍ර විය හැකි නිසයි)

දැන් මෙම ජෙලි එක ශීතකරණයේ සාමාන්‍ය කොටසට දමා පැය දෙකක පමණ වේලාවක් තබන්න. මෙය ආහාරයට ගන්නා වේලාවට ශීතකරණයෙන් ගෙන උණුවතුර බඳුනක ගිල්වා බන්දේසියකට අනෙක් පස හරවා දැමීමෙන් පහසුවෙන් ගලවා ගත හැකියි. නමුත් මෙය උණුවතුරේ වැඩි වේලාවක් නොතැබීමට මතක තබා ගන්න.