නත්තල් මේසයට සරල කෑම වට්ටෝරු..

දෙසැම්බර් 13, 2021

 

උඳුවප් සීතලත් සමඟින් අපට සිහි වන්නේ නත්තලයි. අපේ රටේ නැතත්, හිම වැටෙන දර්ශන, සීතලට නිවෙස්වල එක් රොක් වී සමරන නත්තල හිත්වලට ගෙන දෙන්නේ අමුතුම සතුටක්.

කිතුනුවන්ට විශේෂ වූ උත්සව සමයක් වුවත් ආගම් බේදයකින් තොරව නත්තලට අප ආදරය කරන්නේ කුඩා කල සිටම නත්තල් සීයා අපට සමීප වූ නිසාම වන්නට ඇති.

මේ සොඳුරු නත්තල් උත්සවය සමරන්නට කිතුනුවන්ගේ නිවෙස්වල විවිධ වූ රසවත් ආහාර පාන සැකසෙන්නේ අසල්වැසියන්, නෑදෑයන්, මිතුරන් යන සියලු දෙනාට ද ඉන් සංග්‍රහ කිරීමේ අරමුණින්.

මෙවර වෙනදා මෙන්ම උඳුවප් සීතල හැමතැනකම පැතිරුණත් නත්තල සමරන්නට වී ඇත්තේ තරමක අරපිරිමැස්මක් ද සමඟිනි.

ලොවම තම අණසකට යටත් කොටගත් වසංගත සමයක ඒ හා පැනනැගී ඇති ආර්ථික, සමාජයීය ගැටලු ද සමඟින් සරලව නත්තල සැමරීමට සිදුව ඇත.

අද අප ඔබට ඉදිරිපත් කරන්නේ සරලව සකසා ගත හැකි නත්තල් තේ මේසයට සුදුසු කෑම වට්ටෝරු කිහිපයකි. මේ රසකැවිලි ඔබේ නත්තලේ සතුට සැමරීමට පහසුවෙන් ම සාදා ගත හැකියි.

 

 

ඉදිරිපත් කිරීම

ප්‍රවීණ සූපවේදිනී

චාමලී මදනායක

 

--------------------------

නත්තල් තේ මේසයට රෆෙලෝ

සරල රස කැවිල්ලක් ලෙස රෆෙලෝ හඳුන්වන්න පුළුවන්.

චොක්ලට් කෑමට වැඩි කැමැත්තක් දක්වන අයගෙන් නම් රෆෙලෝ බඳුන බේරගන්න දැඩි මහන්සියක් ගන්නට සිදු වේවි.

 

මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය වන්නේ:

සුදු කුකිං චොක්ලට් හෝ සාමාන්‍ය වයිට් චොක්ලට් ග්‍රෑම් 100ක් (සුපිරි වෙළෙඳසැල්වලින් මිලදී ගත හැකියි)

විපිං ක්‍රීම් හෝ ටින් කිරි ග්‍රෑම් 50ක්

ඩෙසිකේට් පොල් ග්‍රෑම් 70ක් (මේ සඳහා එක්වරක් කිරි මිරිකා ගත් පොල් කුඩු ස්වල්පයක් හොඳින් වියළා ගන්න.)

බටර් ග්‍රෑම් 12ක්

වැනිලා තේ හැන්දක්

ආමන්ඩ් ඇට හෝ කජු ඇට ස්වල්පයක්

දැන් අපි රෆෙලෝ හදමු:

පළමුවෙන් ම චොක්ලට් ඩබල් බොයිල්කර (චොක්ලට් බඳුන උණුවතුර බඳුනක් තුළ තබා) දියකර ගන්න. දැන් බටර් හා විපිං ක්‍රීම් (මෙය ගන්නේ කිරි ගතියටයි) මිශ්‍රකර මෙයට වැනිලා ස්වල්පයක් ද එකතුකර හොඳින් මිශ්‍ර කරන්න. දැන් මෙම මිශ්‍රණයට ම වියළාගත් පොල් වලින් කොටසක් ද එකතුකර හොඳින් මිශ්‍ර කරන්න. මෙය මඳක් දියාරු මිශ්‍රණයක් ලෙස එන නිසා පැයක පමණ වේලාවක් ශීතකරණයේ තබන්න.

පැයකට පසුව ඉතිරි වූ වියළි පොල් පිඟානකට දමන්න. ආමන්ඩ් හෝ කජු ඇට ද ළංකර ගන්න. දැන් ශීතකරණයෙන් චොක්ලට් මිශ්‍රණය එළියට ගෙන තේ හැන්දකට ඉන් ස්වල්පයක් ගෙන එය අතට හලා ගන්න. මෙයට ආමන්ඩ් හෝ කජු ඇටයක් තබා චොක්ලට්වලින් වසා හොඳින් බෝල කරන්න. (දැන් මෙම මිශ්‍රණය මඳක් ගන වී ඇත)

ඉන් පසුව සාදා ගත් චොක්ලට් බෝල වියළි පොල් මතට දමා හොඳින් දවටා පිඟානකින් තබන්න. මෙය මඳ වේලාවකින් හොඳින් ගන වේ. දැන් රෆෙලෝ තේ මේසයට යන්න සූදානම්.

මෙය වඩාත් ලස්සනට පිළිගැන්වීමට ඔබේ නිර්මාණශීලී හැකියාවන් උපයෝගී කරගත හැකියි.