අපේ කමට කටට රසට හදමු කෑම

ජනවාරි 3, 2022

නව වසරක ඇරැඹුමත් සමඟ අපි තව තවත් අලුතින් සිතන්නට පටන් ගනිමු. වැටෙන හැම තැනදී ම ආයෙ ආයෙත් නැඟිටිමින් ජීවිතය දිනන්නට වෙර ගනිමු.

ගෘහණියක් ලෙස මේ නව වසරේ ස්වාභාවිකත්වයට මුල් තැන දෙමින් පවුලේ පෝෂණය සුරකින්නට ඇප කැප වෙමු.

ඒ සඳහා හැමදාමත් මඟ පෙන්වන ඔබේ ආදරණීය හිතවතිය තරුණී වෙතින් රසයත් පෝෂණ ගුණයත් සහිතව දේශීයත්වයට මුල් තැන දෙන ආහාර වට්ටෝරු පෙළක් මෙලෙස ගෙන එන්නෙමු. මේ ඔබේ පවුලේ ආරක්ෂාව වෙනුවෙන්මයි.

රසය, පෝෂණ ගුණය කෑමක තිබිය යුතුමයි. සිත්ගන්නා පෙනුමක් සහිතව අලංකාර ලෙස කෑම පිළිගන්වන ආකාරය ද බෙහෙවින් වැදගත් වන්නකි.

කෑමට පිරියක් ඇතිවන්නේ රසයත් පෙනුමත් නිසාය.

කෑමවල අඩංගු පෝෂක නිසා ලෙඩ රෝගවලින් ආරක්ෂා වන අතරම සිරුරට අවැසි පෝෂණය ද සපුරයි.

මේ සියල්ල පැහැදිලි කරමින් මේ ආහාර වට්ටෝරු අපි ඔබට තිළිණ කරන්නෙමු.

මේ කෑම ඔබට ප්‍රධාන අහාර වේලට, අමතර ආහාර ලෙස, තේ පැන් සාදයට හා අතුරුපස ලෙස ප්‍රයෝජනයට ගත හැකියි.

 

ඡායාරූප හා උපදෙස් - සූපවේදිනී

තිලානි විතානගේ

 

 

----------------------

 

කිතුල් හකුරු ඉඹුල් කිරිබත්

අවශ්‍ය වන්නේ

 

සුදු කැකුළු හාල් කෝප්ප 3ක්

උකු පොල්කිරි අවශ්‍ය ප්‍රමාණයට

ලුණු පදමට

සිහින්ව ගා ගත් පොල් කෝප්පයක්

සිහින්ව ගා ගත් කිතුල් හකුරු කෝප්පයක්

තළාගත් කරදමුංගු හා කරාබු නැටි 3ක්

 

හදන්නෙ මෙහෙමයි

 

මුලින්ම අපි පැණි පොල් මිශ්‍රණය සාදා නිවෙන්න තියා කිරිබත් එක හදමු.භාජනයකට කිතුල් හකුරු ටික හා වතුර මේස හැන්දක් දමා ළිපේ තියා මඳ ගින්දරේ හැඳි ගාමින් උණු කරන්න.

හකුරු මිශ්‍රණය උණු වෙනකොට එයට පොල් හා තළාගත් කරදමුංගු හා කරාබු නැටි දමා නොනවත්වාම හැඳි ගාන්න. පැණි පොල් මැළවී හොඳ සුවඳක් එනවා. එවිට ළිප නිවන්න.

දැන් සුදු කැකුළු හාල් හොඳින් සෝදා අපි සාමාන්‍ය කිරිබත් උයන ප්‍රමාණයට වතුර දමා ළිප තියන්න. බත ඉදී වතුර හිඳෙනකොට පොල්කිරි හා පදමට ලුණු දමා කිරි ටික හිඳෙන තුරු හැන්දෙන් කලවම් කරමින් උයාගන්න.

උයාගත් කිරිබත ටිකක් නිවෙන්න තියන්න. මඳක් නිවුණු කිරිබත් ටිකක් පුවක් කොළපතකට හෝ ලන්ච් ෂීට් එකක් මැදට තියා රොටියක් වගේ තුනීකර මැදට පැණි පොල් ටිකක් තියන්න. දැන් පැණි පොල් පැත්ත අනිත් පැත්තෙන් වසා මදක් තදකර දෙපැත්තට අඹරා ගන්න (ටොෆියක දෙපැත්ත වගේ). දැන් එය සෙමෙන් දිග හැර කෙසෙල් කොළයක අතුරා මේසයට තියන්න.

 

----------------------

අවශ්‍ය වන්නේ

 

කතුරුමුරුංගා කොළ

රටකජු

කැබලි කපාගත්

වියළි මිරිස් කරල් 2ක්

බැදීමට තෙල්

කෑලි මිරිස්

ලුණු හා සීනි ඔබේ රස පදමට

 

හදන්නේ මෙහෙමයි

 

මුලින්ම කතුරුමුරුංගා කොළ සෝදා වතුර බේරා ගන්න. තෙල් රත් කර කතුරුමුරුංගා කොළ ටික ටික දමා ක්‍රිස්පි වෙනකම් ගැඹුරු තෙලේ බැදගෙන තෙල් බේරීමට පසෙකින් තබන්න. දැන් පිළිවෙළින් රටකජු හා වියළි මිරිස් ද ගැඹුරු තෙලේ බැද තෙල් බේරා ගන්න. වියළි භාජනයකට ගැඹුරු තෙලේ බැද ගත් සියල්ල දමා එයට කෑලි මිරිස්, ලුණු හා සීනි එකතුකර කොළ පොඩි නොවන සේ හැන්දකින් හෙමින් මිශ්‍ර කර රස විඳින්න.

----------------------

 

 

බණ්ඩක්කා සලාදය

අවශ්‍ය වන්නේ

 

ළපටි බණ්ඩක්කා

කරල් කිහිපයක්

ලියාගත් බී ලූනු,

අමුමිරිස් හා තක්කාලි

ලුණු, ගම්මිරිස් රස පදමට

අවශ්‍ය නම් උම්බලකඩ

කැබලි

බැදීමට තෙල්

 

හදන්නේ මෙහෙමයි

බණ්ඩක්කා සෝදා කොටු හැඩයට කපා ලුණු කුඩු දමා අතගා ගන්න. තෙල් රත් වෙන්න තබා බණ්ඩක්කා ටික ගැඹුරු තෙලට දමා කොළ පාට යන්න කලින් තත්පර කිහිපයක් බැදගෙන තෙල් බේරෙන්න තියන්න. දැන් එයට ලූනු, අමුමිරිස් හා තක්කාලි එකතු කර පදමට ලුණු, ගම්මිරිස් දමා පොඩි නොවන සේ මිශ්‍ර කර කෑමට ගන්න.

 

----------------------

 

හුණුසහල් බත්

අවශ්‍ය වන්නේ

 

කඩෙන් මිලදී ගත් කැඩිච්ච හාල් (සුණුසහල්) හෝ බත් අග්ගලා හදලා ඉතුරු වෙන කැඩිච්ච හාල් කෝප්පයක්

ඔබේ රස පදමට ලුණු

කලටි පොල් මිටක්

 

හදන්නේ මෙහෙමයි

 

මුලින්ම හුණුසහල් ටික සෝදා සාමාන්‍ය බත් උයන ප්‍රමාණයට වඩා වතුර ටිකක් වැඩියෙන් තියා ළිපේ තබන්න. බත ඉදී බුබුළු දමා උතුරනකොට පොල් ටික කලවම් කර, ලුණු ද පදමට එකතු කර හැඳි මිටකින් හොඳින් කලවම් කරමින් පිස ගන්න. උණුවෙන්ම සැර ලුණු මිරිසක් හෝ මිරිස් මාළු හොද්දක් සමඟ රස විඳින්න.

 

----------------------

නිල් කටරොළු හාල් පිට්ටු

 

අවශ්‍ය වන්නේ

 

හාල් පිටි පීරිසි කෝප්ප 2ක් (කඩේ හාල් පිටි පැකට් පාවිච්චි කරන්න පුළුවන්)

නිල් කටරොළු මල් 30ක් පමණ (භාවිත කරන මල් ප්‍රමාණය අනුව පාට වෙනස් වෙනවා)

සිහින්ව ගා ගත් නැවුම් පොල් පීරිසි කෝප්ප 1ක්

උතුරන වතුර කෝප්ප 1/2ක්

පදමට ලුණු

 

හදන්නේ මෙහෙමයි

 

මුලින්ම මල් ටික සෝදා උතුරන වතුර දමා නිල් පැහැ වනතුරු වසා තබන්න.

නිල් පැහැ වතුර හොඳින් නිවා ගන්න.

හාල් පිටි භාජනයකට දමා එයට පොල් ටිකත් එකතු කර නිල් පැහැ වතුර බොහෝම ස්වල්පය බැගින් දමමින් අතින් හෙමිහිට කැට කර ගන්න. කැට කරන ගමන් ලුණු එකතු කර ගන්න. කැට සිහින් විය යුතුයි. වතුර වැඩි කර ගන්න එපා.

එතකොට පිට්ටු කැට ලොකු වෙනවා. පිට්ටු කැට වියළි නැතුව තෙත් ගතියට තියෙන්න ඕනේ. දැන් පිට්ටු බම්බුවක දමා විනාඩි 15ක් පමණ තම්බා ගන්න. පොල් කිරි හා ලුණු මිරිස් එක්ක රස විඳින්න

 

---------------------------

නිල්/සුදු කටරොළු දලු කැඳ

 

අවශ්‍ය වන්නේ

 

සුදු කැකුළු හාල් මිටක්

තළා ගත් සුදු ලූනු බිකක්

ගාගත් පොල් කෝප්පයක් පමණ

රස අනුව ලුණු

කටරොළු දලු මිටක්

හදන්නේ මෙහෙමයි

සුදු කැකුළු හාල් මිටක් ළිපේ තියා ඒකට තළා ගත් සුදු ලූනු බිකක් එක් කර බෙරි වෙන්න උයා ගන්න. පොල් කෝප්පයක් පමණ ගෙන, එයට කටරොළු දලු හා වතුර දමා බ්ලෙන්ඩ් කර පෙරා ගන්න. පොල්කිරි කොළ මිශ්‍රණයටම බෙරි වෙන්න උයා ගත් බත් ටික දමා හොඳින් බ්ලෙන්ඩ් කර ගන්න.

විනාඩි කිහිපයක් ළිපේ තියා නොනවත්වාම හැඳි ගාමින් උතුරුවා පදමට ලුණු දාන්න.

කැඳ උතුරුවා ගත් ගමන්ම වෙනත් භාජනයකට මාරු කරන්න. නැත්තම් කොළ කැඳවල ලස්සන කොළ පාට නැති වෙනවා.

 

----------------------

 නිල් කටරොළු අයිස් පලම්

 

 

අවශ්‍ය වන්නේ

 

නිල් කටරොළු මල් 30ක් පමණ (ඔබ භාවිත කරන මල් ප්‍රමාණය අනුව පාට අඩු වැඩි වෙනවා)

සීනි ඔබේ රස අනුව

දෙහි යුෂ

උතුරන වතුර කෝප්ප 3ක්

 

හදන්නේ මෙහෙමයි

 

මුලින්ම මල් ටික හොඳින් සෝදා භාජනයකට දාන්න. දැන් මල් වැහෙන්න උතුරන වතුර කෝප්ප 2ක් දමා හොඳින් නිවෙනකම් වසා තබන්න. නිවෙන්න තියපු වතුර එක ලස්සන නිල් පැහැයක් ගන්නවා. එහි මල් ටික අයින් කර පෙරා ගන්න. දැන් නිල් පැහැ වතුර කොටස් දෙකකට බෙදා එක් කොටසකට දෙහි යුෂ එකතු කරන්න. එවිට එය ලස්සන දම් පැහැයක් ගන්නවා.

මිශ්‍රණ දෙකටම ඔබේ රස පදම අනුව වෙන වෙනම සීනි එකතු කර ගන්න. පොප්සිකල් මෝල්ඩ් එකකට පාට දෙක වෙන වෙනම දමා පුරා රාත්‍රියක් පමණ අධි ශීතකරණයේ තබා රස විඳින්න.