අරපිරිමැස්ම අගයන ඔබට රස ඉතිරෙන අපේ කෑම

ජනවාරි 24, 2022

 

රසය, පෝෂණය නොඅඩුවම ගෙන දෙන කෑම බීම හදන්නට මඟ කියන තරුණී අප මේ සතියේ ඔබට කියන්නේ රස ඉතිරෙන, පෝෂණීය කෑම වර්ග කිහිපයක් සකසා ගන්නා ආකාරයයි. මේ සකසා ඇති කෑම අරපිරිමැස්මෙන් යුතුව ඔබත් සකසා පවුලේ අය සමඟ රස විඳින්න. මේ රසවත් කෑම සකසා ගන්නා විදිහ ඔබට කියන්නේ අරපිරිමැස්ම ඉහළින්ම අගයන, පවුලේ දියුණුවට හැමවිටම කැපවූ ගෘහණියකි.

 

උපදෙස් හා ඡායාරූප - ඉතාලියේ පර්මා හි ප්‍රවීණ සූපවේදිනී

ජනනී ගුරුසිංහ

 

 

අරපිරිමැස්මට.....

 

ගෙදරක සිරිකත වන්නේ ඒ නිවෙසේ ගෘහණියයි. ගෙදර දියුණුවට හැමදේටම මුල් වෙන්නේත් ඇයයි. ඉතින් ලෝකෙටම බලපාල තියෙන මේ ගෝලීය වසංගතය හමුවේ අප බොහොම අරපිරිමැස්මෙන් යුතුව වැඩ කරගෙන දවස ගත කරන්න ඕනේ. කෑම බිම වුණත් වෙනදා වගේ ගොඩක් හදා අහක දාන්නේ නැතුව අවශ්‍ය පමණට හදාගන්න දක්ෂ වෙන්න ඕනේ. හැමදාමත් ගෙදර සාමාජිකයන්ට හාල් තබන ප්‍රමාණය දන්නවා නම් ඒ ප්‍රමාණයෙනුත් ඉතුරු වී අහක දානවා නම් ඒ දේ කරන්න එපා.

ඔබට පුළුවන් ඒ ඉතුරු බත් රෑට දිය දමා උදේට දියබත් හදන්න. එහෙම නැත්නම් ඉතුරු බත්වලින් පහුවදා උදේට, එහෙමත් නැත්නම් රෑට තෝසේ ටිකක් හදාගන්න, හවසට හැමදාම තේ බොන වෙලාට රස කැවිල්ලක් බිස්කට් එකක් කන්න පුරුදුවෙලා ඉන්නවා නම් ඒ දේවල්වලට මුදල් වැය කරන්නේ නැතුව හවසට කන්න අග්ගලා ටිකක් හදාගන්න මේ ඉතුරුවෙන බත් වියළා කුඩු කර බෝතලයකට දමා තියාගන්න පුළුවන්.

ඒ වගේම වැඩිපුර කොස් දෙල් හොයාගන්න පුළුවන් නම් අටු දෙල් සහ අටු කොස් හදලා තියාගන්න. එතකොට එක වේලකට කිරි කොස් ටිකක්, කොස් මැල්ලුමක්, දෙල් මැල්ලුමක් හදාගන්න පුළුවන්.

අටු කොස් සහ අටු දෙල් සකස් කර ගන්නා අයුරු

හොඳින් පැසුණු කොස් මදුළු තීරු කපාගන්න. කපාගත් කොස් මදුළු නටන උණු වතුරට එක් කර ඒ සැණින් පෙරාගන්න. තම්බා වතුර පෙරාගත් කොස් මදුළු ලොකු තැටියක අතුරා තද අව්වේ වියළා ගන්න. අටු දෙල් සැකසීම සඳහා දෙල් තීරු කපාගන්න. (පොත්ත සහ මැද දාරය අයින් කර) කපාගත් දෙල් තීරු නටන උණු වතුරට එක් කර ඒ සැණින් පෙරාගන්න. ඉන්පසු හොඳින් අතුරා තද අව්වේ වියළා ගන්න. දවස් දෙක තුනක් තද අව්වේ වියළා ගැනීම ප්‍රමාණවත්. එලෙස වියළා ගත් කොස් සහ දෙල් හුළං නොවදින්න සේ භාජනයක අසුරා පියන වසා තබන්න.

වියළා ගත් අටු කොස් සහ අටු දෙල් හොඳින් හුළං නොවදින ලෙස අසුරා තැබුවේ නැත්නම් තිත්ත රහක් ගෙන එනවා. ඒ නිසා නොදැනුවත් කමින් හෝ හුළං වැදී යන්තම් තිත්ත රසක් වේ නම් අටු කොස් තම්බා වතුර පෙරා ගන්න. මේ දෙකම තම්බද්දී කහ ටිකක් එක් කරන්න.

----------------------------------

අටු දෙල් මැල්ලුම

 

අවශ්‍ය දේවල්

 

අටු දෙල් ග්‍රෑම් 150ක් විතර

පොල් මේස හැඳි 3ක්

ලොකු ලූනු ගෙඩි 1/2ක්

සුදු ලූනු බික් 2ක්

අමු මිරිස් කරල් 2ක්

අමු ඉඟුරු කොටසක්

කහ කුඩු තේ හැඳි 1/2ක්

ගම්ම්රිස් ඇට හෝ කුඩු තේ හැඳි 1/2ක්

රස අනුව ලුණු

කරපිංචා ටිකක්

 

මෙහෙම හදමු

 

අටු දෙල් වතුර එක් කර තම්බා වතුර පෙරා ගන්න. පොල්, අමු මිරිස්, ලූනු, සුදු ලූනු, ඉඟුරු, කහ, ලුණු, ගම්මිරිස් එක් කර හොඳින් කොටා ගන්න. නැතිනම් අඹරා ගන්න. අඹරා හෝ කොටාගත් පොල් මිශ්‍රණය සහ කරපිංචා තම්බා ගත් අටු කොස් සමඟ එක් කර මලවා ගන්න. දෙල් මැල්ලුම රස බෙරි වෙන්න සෑදු විටයි. වැඩි රසට තෙල් මේස හැඳි එකකට අබ ඇට ටිකක් එක් කර එයට අඹරා ගත් පොල් මිශ්‍රණය සහ දෙල් එක් කොට දෙල් මැල්ලුම සාදා ගත හැකියි.

------------------------

 අටු කිරි කොස් ව්‍යාංජනය

 

අවශ්‍ය දේවල්

 

අටු කොස් ග්‍රෑම් 200ක් පමණ

පොඩියට කපාගත්

ලොකු ලූනු ගෙඩි 1/2ක්

තළාගත් සුදු ලූනු බික් 2ක්

කපාගත් අමු මිරිස් කරල් 2ක්

මිටි පොල්කිරි කෝප්ප 2ක්

කහ කුඩු තේ හැඳි 1/2ක්

තුනපහ තේ හැඳි 1ක්

මිරිස් කුඩු තේ හැඳි 1ක්

කුරුඳු පොත්තක්

රම්පෙ, කරපිංචා

රස අනුව ලුණු

 

තෙම්පරාදුව සඳහා

කපාගත් ලූනු කොටසක්, තළාගත් සුදු ලූනු බික් 1ක්, මිරිස් කෑලි තේ හැඳි 1ක්, රතු වියළි මිරිස් කරල් 2ක්, කරපිංචා, අබ ඇට ස්වල්පයක්

 

මෙහෙම හදමු

අටු කොස් හයිය නිසා රැයක් පෙඟෙන්න තියන්න. පෙඟෙන්න තියන්න අමතක වුණොත් පැය දෙකකට විතර කලින් හරි පෙඟෙන්න තියන්න. එයට වතුර කෝප්ප 1ක්, කහ කුඩු, කුරුඳු, කරපිංචා එක් කර තම්බාගන්න. හොඳින් පෙඟී නැත්නම් වතුර වැඩිපුර එක් කර තම්බා ගන්න. එයට තුනපහ, මිරිස් කුඩු, අමු මිරිස්, ලූනු, සුදු ලූනු, රම්පෙ කරපිංචා රස අනුව ලුණු සහ මිටි පොල්කිරි එක් කර උයාගන්න.

කිරි හිඳෙන්න හරින්න. හොදි ගතියට ඕනේ නම් තව කිරි එක් කරන්න. කැමැති නම් ගම්මිරිස් ඇට කිහිපයක් ද එක් කරන්න. වැඩි රසට සාදා ගත් කිරි කොස් ව්‍යාංජනයට තෙම්පරාදුව එක් කරගන්න. අබ, ලූනු, සුදු ලූනු, කරපිංචා, මිරිස් කෑලි, මිරිස් කරල්, තෙල් මේස හැඳි එකට එක් කර තෙම්පරාදුව සාදාගන්න. කැමැති නම් මේ සඳහා උම්බලකඩ ටිකක් එක් කරන්න පුළුවන්.

කිරි කොස් උයනකොට දිය කිරෙන් තම්බා මිටි කිරි එක් කරන්න. අටු කොස් නිසා මෙය වතුරෙන් තම්බා මිටි පොල්කිරි එක්කර ඇත.

--------------------------------------

කිරි අඟුන කොළ සම්බෝලය

අවශ්‍ය දේවල්

 

අඟුන කොළ අවශ්‍ය පමණ

රතු ලූනු ගෙඩි 8ක්, 10ක් පමණ

ගාගත් පොල් කෝප්ප 1/2ක්

අමු මිරිස් කරල් 2ක්

ලෙමන් ගෙඩි බාගෙක යුෂ හෝ දෙහි යුෂ

තක්කාලි ගෙඩි 1ක්

රස අනුව ලුණු

 

මෙහෙම හදමු

අඟුන කොළ පොඩි නොවෙන්න ගසලා වගේ ලුණු වතුරෙන් සෝදන්න. දැන් හොඳින් තෙත මාත්තු කරගන්න.

ලූනු, අමු මිරිස්, තක්කාලි පොඩියට කපාගන්න. අඟුන කොළ සිහින්ව කපාගන්න. භාජනයක් ගෙන එයට කපාගත් රතු ලූනු, අමු මිරිස්, තක්කාලි, ලුණු, පොල්, සහ ලෙමන් යුෂ එකතුකර හොඳින් කලවම් කරන්න.

දැන් එයට සිහින්ව කපාගත් කොළ එකතුකරන්න. ගෑරිප්පුවක් මඟින් හෝ හැඳි මිටෙන් කලවම් කරන්න.

ලුණු ඇඹුල් ඇති ද බලන්න. මදි වගේ හැඟෙනවා නම් තව ලෙමන් හෝ දෙහි ඉස්ම එකතු කරන්න. මේ කොළ හුඟක් තැළුණු විට තමයි තිත්ත රස වැඩි. ඒ නිසා නිතරම කොළ සෝදද්දී, කපද්දී, කලවම් කරද්දී ගොඩක් තැළෙන්න දෙන්න එපා.

 

-----------------------------------

කැකිරි රසට උයමු

කැකිරි, පිපිඤ්ඤා පවුලට අයත් එළවළුවක්. විවිධ පාටවලිනුත් කැකිරි තිබෙනවා. තැඹිලි පාට කැකිරි තිත්ත ගතිය නැහැ. සමහර කැකිරි නම් තිත්තෙන් යුක්තයි. එහෙම වෙලාවට පිපිඤ්ඤාවල තිත්ත අරිනවා වගේ දෙපැත්තෙන්ම පෙති දෙකක් කපලා තිත්ත අරින්න.

කැකිරි තෙලට, කිරට, මැල්ලුමට මේ ඕනෙම විදියකට රසයි. තෙලට, මැල්ලුමට හදනවා නම් සිහින්ව කපාගන්න.

 

අවශ්‍ය දේවල්

 

කැකිරි ගෙඩි 1 ක් (ග්‍රෑම් 400 වගේ ඇති)

පොල් මිටිකිරි කෝප්ප 1ක්

වතුර කෝප්ප 1/2ක්

හාල් මේස හැඳි 1ක්

ගාගත් පොල් මේස හැඳි 1ක්

උම්බලකඩ කැබලි මේස හැඳි 2ක්

අමු මිරිස් කරල් 2ක්

ලොකු ලූනු ගෙඩි 1ක්

සුදු ලූනු බික් 2ක්

කුරුඳු පොතු 1ක්

තෙල් මේස හැඳි 2ක්

මිරිස් කුඩු තේ හැඳි 1 1/2ක්

කහ කුඩු තේ හැඳි 1/2ක්

මස්වලට සකස් කරගත් තුනපහ

තේ හැඳි 2ක්

ගොරකා කැබැල්ලක්

රම්පෙ, කරපිංචා

එනසාල් 2ක්

රස අනුව ලුණු

 

මෙහෙම හදමු

 

කැකිරි ගෙඩිය ලෙල්ල පිටින්ම තීරු කපන්න. එහි මැද ඇට සහිත කොටස කපා අයින් කරගන්න. ඇට අයින් කරගත් තීරුවල ගෑරිප්පුවකින් සිදුරු කරන්න. එහෙම කරන්නේ කැකිරි කොටස්වලට හොඳට පහේ හා කිරි උරාගන්න ඕනේ නිසායි. දැන් සාමාන්‍ය සයිස් එකේ පොඩි කොටු කපාගන්න. හාල් සහ පොල් කබලේ බැදගන්න. රන්වන් පාටට බැදගත් හාල් පොල් පවුඩර් එකක් වෙන්න කුඩු කරගන්න. හාල්, පොල් ඔබේ රසය අනුව තව වැඩි කරගත හැකියි.

දැන් මැටි හට්ටියක් හෝ සුදුසු භාජනයක් ළිප තබා එයට තෙල් එක් කරන්න. තෙල් රත්විගෙන එද්දී තළාගත් සුදු ලූනු, සිහින්ව කපාගත් ලොකු ලූනු, රම්පෙ, කරපිංචා, සිහින්ව කපාගත් අමු මිරිස්, කුරුඳු, එනසාල් එක් කර බැදෙන්න හරින්න. බැදීගෙන එනවිට බැද කුඩුකරගත් හාල්, පොල්, තුනපහ, මිරිස්, කහ එකතුකරන්න. එයටම තළාගත් ගොරකා කැබැල්ල ද එකතුකරන්න. දැන් හොඳ සුවඳක් ඒවි.

මේ වෙලාවට උම්බලකඩ කැබලිත් එකතුකරන්න. කොටු කපාගත් කැකිරි එකතුකර මඳ ගින්දරේ තෙලින් තැම්බෙන්න හරින්න. ටික වෙලාවකින් වතුර එකතුකර මඳ ගින්දරේම තැම්බෙන්න හරින්න. වතුර හිඳිලා කැකිරි තැම්බිලා මදි වගේ හැඟෙනවා නම් තව වතුර පොඩ්ඩක් එකතුකරන්න. කැමැති නම් දියකිරි එක්කරන්න. දැන් හොඳින් තැම්බුණු කැකිරිවලට මිටිකිරි එකතුකර හිඳෙන්න හරින්න. තෙල් පෑදිලා හිඳෙන තුරු මඳ ගින්දරේ ළිපේ තියන්න. කිරි දැම්මට පස්සේ පියනෙන් වහන්න එපා. ඔන්න දැන් කැකිරි ව්‍යාංජනය හරි. හොඳට නිවෙන්න තියන්න. පහුවදාට තමා රසය වැඩිම. ඔබට පුළුවන් දිය කිරෙන් ළිපේ තියා මිටිකිරි දාන්න.

පොලොස් සමඟ කජු

 අවශ්‍ය දේවල්

කජු ග්‍රෑම් 350ක් (පෙඟෙන්න දාන්න)

පොලොස් ග්‍රෑම් 280ක් (තම්බාගත්)

ලොකු ලූනු ගෙඩි 1ක් (ග්‍රෑම් 150ක් විතර )

අමු මිරිස් කරල් 2ක්

සුදු ලූනු බික් 2ක්

පුංචි ඉඟුරු කැබැල්ලක්

රම්පෙ, කරපිංචා ටිකක්

කුරුඳු පොඩි කැබැල්ලක්

එනසාල්, කරාබු නැටි කිහිපයක්

රස අනුව ලුණු

මිරිස් කුඩු තේ හැඳි 1 1/2ක්

තුනපහ කුඩු තේ හැඳි 1ක්

කහ කුඩු තේ හැඳි 1/2ක්

පොල් මිටිකිරි කෝප්ප 2ක්

සියඹලා ඉස්ම තේ හැඳි බාගයක් විතර

තෙල් මේස හැඳි 3ක්

 

මෙහෙම හදමු

කජු පැයක් පමණ වතුරේ බහා පෙඟෙන්න තියන්න. පොලොස් පුංචිම කැබලිවලට කපාගන්න. ලූනු, අමු මිරිස් පොඩියට කපන්න. සුදු ලූනු, අමු ඉඟුරු වංගෙඩියේ කොටාගන්න. සුදුසු භාජනයක් ළිප තබා තෙල් එකතුකර එයට ලූනු එකතුකර හොඳින් බැදගන්න. එයටම පොලොස් ටිකත් එකතුකර බැදෙන්න හරින්න. දැන් එයට අමු ඉඟුරු, සුදු ලූනු, මිරිස්, තුනපහ, කහ, කුරුඳු, එන්සාල්, කරාබු නැටි, රම්පෙ, කරපිංචා, අමු මිරිස් එකතුකර ටික වෙලාවක් පිසගන්න. තෙලෙන් ටිකක් බැදුණු පසු එයට වතුර අයින් කරගත් කජු ටිකඑකතුකරන්න. දැන් කලවම් කරන්න. විනාඩි කිහිපයක් පියන වසා පිසගන්න. ටික වෙලාවකින් මිටිකිරි එකතුකර මඳ ගින්දරේ හොඳින් පහේ වදිනකම් උයාගන්න. හොඳින් කිරි හිඳුණු පසු සියඹලා ඉස්ම ටිකක් එකතුකර ළිපෙන් ඉවතට ගන්න.


කොස් ඇට කළුපොල් මාළුව

අවශ්‍ය දේවල්

කොස් ඇට 22ක් පමණ

පොල් මිටිකිරි කෝප්ප 1 1/2ක්

කහ තේ හැඳි 1/4ක්

තුනපහ තේ හැඳි 1/2ක්

මිරිස් කුඩු තේ හැඳි 1ක්

බැදපු තුනපහ තේ හැඳි 1/2ක්

පොල් මේස හැඳි 2ක්

හාල් මේස හැඳි 2ක්

ලොකු ලූනු ගෙඩි 1/2ක්

සුදු ලූනු බික් 1ක්

අමු මිරිස් කරල් 2ක්

රස අනුව ලුණු

රම්පෙ, කරපිංචා

පොඩි කුරුඳු කැබැල්ලක්

 

මෙහෙම හදමු

කොස් ඇට තම්බාගන්න. තම්බාගත් කොස් ඇට වංගෙඩියට දමා තළාගන්න. පොත්ත සමඟින් කෑමට අකැමැති නම් කොස් ඇට වටේ තිබෙන දුඹුරු පාට සිවිය නො ගැලවෙන ලෙස පොත්ත ගලවා ඉවත් කරන්න. දැන් තළාගත් කොස් ඇටවලට රස අනුව ලුණු, කහ, මිරිස් කුඩු, තුනපහ, බැදපු තුනපහ එකතු කරන්න. හාල් සහ පොල් පෑන් එකක (කබලේ) බැද හොඳින් කුඩු කර එකතු කරන්න. ලොකු ලූනු, සුදු ලූනු, අමු මිරිස්, කුරුඳු පොඩි කැබැල්ලක්, රම්පෙ හා කරපිංචා ද එකතු කරන්න. දැන් මේ සියල්ල එකතු කර මිටි පොල්කිරි කෝප්ප 1 1/2 එකතු කර මඳ ගින්නේ පිසගන්න. කොස් ඇට තළාගන්නේ පොල්කිරිත් සමඟ එකතුකළ පහේ හොඳට කොස් ඇටවලට උරාගන්නයි.


ළපටි රාබු දලු සම්බෝලය අවශ්‍ය දේවල්

රාබු කොළ මිටක්

රතු ලූනු ගෙඩි 7ක්- 8ක් (නැත්නම් ලොකු ලූනු කොටසක්)

කැමැති නම් අමු මිරිස් කරලක් දෙකක්

ගාගත් පොල් අහුරක්

තක්කාලි සාමාන්‍ය ප්‍රමාණයේ ගෙඩි 1ක්

රස අනුව ලුණු

ගම්මිරිස් කුඩු තේ හැඳි 1/4ක්

දෙහි බාගෙක යුෂ

 

මෙහෙම හදමු

රාබු කොළ, ලුණු එකතුකරපු වතුරෙන් හොඳින් ගසා සෝදා ගන්න. සෝදාගත් කොළ සිහින්ව ලියාගන්න. ලූනු, අමු මිරිස්, තක්කාලි සිහින්ව කපාගන්න. කපාගත් කොළ, තක්කාලි, ලූනු, අමු මිරිස්වලට පොල්, ගම්මිරිස්, ලුණු, දෙහි යුෂ එකතුකර කලවම් කරන්න. පොල් කැමැති අයුරින් එකතුකරන්න. වැඩියෙන් එකතුකළාම ගොඩක් රසයි. පොල් නොදා හදනවා නම් අනිත් සියලු දේ සමඟින් ඔලිව් තෙල් මේස හැන්දකුත් එකතුකර සාදන්න. මැල්ලුමට හදනවා නම් තක්කාලි, ගම්මිරිස් හැර, කහ ටිකක් එකතුකර යන්තම් මලවගන්න. ළිපෙන් බා දෙහි යුෂ ටිකක් එකතුකරන්න.