රස ගුණ පිරි දේශීය ආහාර

ජනවාරි 31, 2022

 

රසට ගුණට ආහාර ගන්න කවුරුත් කැමැතියි. දේශීය ආහාරවලින් අප සොයන රසය හා ගුණය හොඳින්ම ලැබෙතත් බොහෝ දෙනා ඒ පිළිබඳ වැඩි උනන්දුවක් නොදක්වයි. විදේශීය ආහාර වර්ග මේ වන විට අපේ ආහාර වන තරමට ම අපේ ඇත්තන් ඒ රසයට හුරු වෙලා.

දේශීය ආහාරයට මුල් තැන දෙන ‘කනවනම් කමු‘ සමූහයෙන් අපෙන් ඈත්ව යන මේ කෑම වර්ග අපේ මතකයට ගෙන එයි. ඒ සඳහා පැවැත්වෙන විවිධ තරග අතර මෙවර ‘මම කැමතිම කෑම‘ යන තේමාවෙන් පැවැති තරගයට බොහෝ දෙනෙක් රසවත් දේශීය ආහාර වට්ටෝරු ඉදිරිපත්කර තිබුණා.

ඉන් ජයග්‍රාහී කෑම වට්ටෝරු තුන සමඟ තවත් රසවත් කෑම වට්ටෝරු කිහිපයක් තරුණී පාඨක ඔබ වෙනුවන් මෙලෙසින් ඉදිරිපත් කරනවා.

 

විශේෂ ස්තූතිය - කනවනම් කමු සමූහයේ Group Admin

අමල් අත්තනායකට

 

කෙසෙල් කොළේ ඔතපු සුවඳ ඉස්සෝ බැදුම

ඉස්සො තරමක් ඌෂ්ණ වුණත් බොහෝ දෙනෙක් කැමැති ආහාරයක්. ව්‍යාංජනයක් හැටියට වගේම තෙලට, ඩෙවල් විදියට හදන ඉස්සො වෙනස්ම ආකාරයකට මේ විදියට හදන්න පුළුවන්. මෙය උතුරේ දමිල ජාතිකයන්ට ආවේණික වූ දේශීය ආහාර වට්ටෝරුවකි. කෙසෙල් කොළේ ඔතපු සුවඳ ඉස්සො බැදුම ලෙසින් ද මෙය හඳුන්වන්න පුළුවන්.

 

මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය:

ඉස්සො ග්‍රෑම් 250ක්

කහ කුඩු

ගම්මිරිස් කුඩු

මිරිස් කුඩු

විනාකිරි ස්වල්පයක්

කෙසෙල්කොළ කැබැල්ලක් (ඉස්සො දමා එතීමට හැකි ප්‍රමාණයේ)

ලොකු බී ලූනු ගෙඩි 2ක්

නයි මිරිස් කරල් 2ක්

හොඳින් ඉදුණු තක්කාලි ගෙඩියක්

අඟල් 1/2ක ප්‍රමාණයේ

ඉඟුරු කැබැල්ලක්

සුදු ලූනු බික් 4ක්

රම්පෙ, කරපිංචා

කුරුඳු පොත්තක්

කරදමුංගු කරල් 2ක්

කරාබු නැටි 3ක්

පොල් තෙල්

කොත්තමල්ලි කුඩු තේ හැන්දක්

සූදුරු කුඩු තේ හැඳි 1/4ක්

ගරම් මසාලා කුඩු තේ හැඳි 1/2ක්

සීනි තේ හැඳි 1/2ක්

මුරුංගා කොළ ස්වල්පයක්

දෙහි යුෂ ස්වල්පයක්

ලුණු ස්වල්පයක්

 

දැන් අපි එය සාදමු

පළමුවෙන් ම හොඳින් සෝදා ගත් ඉස්සො එකට කහ කුඩු, ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු හා විනාකිරි ස්වල්පයක්, ලුණු ස්වල්පයක් දමා හොඳින් කලවම් කරන්න. මෙය පදම් වීමට පැයක පමණ වේලාවක් ශීතකරණයේ තබන්න.

මේ අතර කෙසෙල් කොළය සෝදා තෙතමාත්තුකර තෙල් ස්වල්පයක් ගා ගින්දරට අල්ලා තවන්න.

බී ලූනු ගෙඩි හා නයි මිරිස් සිහින්ව කපා ගන්න. තක්කාලි ගෙඩිය සිහින් කොටුවලට කපා ගන්න. ඉඟුරු හා සුදුලූනු එකට අඹරා ගන්න.

දැන් බඳුනක් ළිප තබා එයට පොල් තෙල් ස්වල්පයක් දමා තළා ගත් කරදමුංගු, කරාබුනැටි, කුරුඳු, රම්පෙ, කරපිංචා එයට දමන්න. තෙම්පරාදුවට පහේ වර්ග දමා පදම් කරගත් ඉස්සො (උනපු වතුර බේරා) ටික දමන්න.

දැන් හැන්දකින් හොඳින් කලවම් කරමින් බදින්න.

ළිපේ ඇති මිශ්‍රණයට ම ලියාගත් ලූනු සමඟ ලුණු ස්වල්පයක් ද එකතු කරන්න.

දැන් ඉඟුරු, සුදුලූනු පේස්ට් එක හා තක්කාලි එකතු කරන්න. එයටම කහ කුඩු තේ හැඳි 1/4ක් දමා හොඳින් මිශ්‍රණය කලවම්කර පියනකින් වසා විනාඩි 2ක පමණ වේලාවක් තබන්න.

ඉන්පසුව බැදුමට මිරිස් කුඩු මේස හැන්දක්, කොත්තමල්ලි කුඩු, සූදුරු කුඩු, ගරම් මසාලා, සීනි එකතු කරන්න. ළිපේ ගින්දර වැඩිකර මිශ්‍රණය හොඳින් කලවම් කරන්න. තක්කාලිවලින් උනපු වතුර හිඳෙන තෙක් උයා ළිපෙන් බාන්න. මෙයට දෙහි යුෂ ස්වල්පයක් ද එකතු කරන්න. දැන් කලින් තවාගත් කෙසෙල් කොළයේ මැදට කරපිංචා කොළ අහුරක් සහ මුරුංගා කොළ ස්වල්පයක් දමා තුනී කරන්න. එය උඩට හදාගත් ඉස්සො බැදුම උණුවෙන්ම දමා එයට උඩින් තවත් මුරුංගා කොළ ස්වල්පයක් දමා තුනී කරන්න. බත් පාර්සලයක් ඔතන ආකාරයට මෙය ඔතා කෙසෙල් පට්ටයකින් ගැට ගසන්න.

නන්ස්ටික් පෑන් එකක් ළිපේ තබා එයට තෙල් මේස හැඳි භාගයක් පමණ දමා ඔතාගත් පාර්සලය ඒ තුළ තබා වසා විනාඩි 2 - 3ක් පමණ මඳ ගින්නේ තබන්න. නැවත පාර්සලය අනෙක් පස හරවා නැවතත් පියනෙන් වසා එවැනිම වේලාවක් තබන්න.

ළිප නිවා ඉස්සො පාර්සලය එසේම පැයක් පමණ වේලාවක් තබා කෑමට සූදානම්ව පාර්සලය ලිහන්න.

සුවඳ විහිදෙන රසවත් ඉස්සො බැදුම ඔබේ රස නහර පිනවාවි.

ඉදිරිපත් කිරීම - චතුරිකා ලක්මිණි

 

 

--------------------------

අන්නාසි රට ඉඳි හින්දුම

 

පලතුරු යොදගෙන බත් කන්න සැකසූ අපූරු ව්‍යංජනයක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. රසයන් කිහිපයක් එකට එක් වූ මෙය වෙනස්ම අත්දැකීමක් ගෙන දෙන ආහාර වට්ටෝරුවක් වනවා නිසැකයි.

 

මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

හොඳින් පැහුණු තරමක අන්නාසි ගෙඩියක්

රට ඉඳි බික් 5ක්

අබ තේ හැඳි 1/4ක්

උළුහාල් ඇට කිහිපයක්

රම්පෙ, කරපිංචා

කුරුඳු පොතු කැබැල්ලක්

එනසාල්, කරාබු නැටි දෙකක් පමණ

වියළි මිරිස් කරල් කිහිපයක්

බී ලූනු ගෙඩියක් (කුඩා)

ඉඟුරු, සුදුලූනු අඹරා තේ හැඳි 1/2ක්

මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු, තුනපහ කුඩු තේ හැඳි 1 බැගින්

කහ ස්වල්පයක්

මිටිකිරි කොප්ප 1 ක්

පොල්තෙල් ස්වල්පයක්

ලුණු රස අනුව

 

දැන් එය මෙලෙසින් සකසමු

මුලින්ම අන්නාසි ගෙඩිය සුද්දකර කුඩා කැබැලිවලට කපන්න. එයට ලුණු, කහ, කැබැලි මිරිස් ස්වල්පයක් දමා අතගා පසෙකින් තබන්න.

දැන් මැටි ඇතිළියක් ළිප තබා එයට පොල් තෙල් ස්වල්පයක් දමන්න. තෙල් රත්වන විට අබ, උළුහාල්, ඉඟුරු, සුදුලූනු, සිහින්ව කපාගත් ලූනු, වියළි මිරිස් කරල්, කුරුඳු, එනසාල්, කරාබු නැටි දමා මඳක් තෙම්පරාදු කරගන්න.

අන්නාසි කැබැලි ටික පහේ ටික අල්ලා පාට වෙනස්වෙන විට ඇට ඉවත්කර කැබැලි කරගත් රටඉඳි එයට එකතු කරන්න. ඒ එක්කම මිටිකිරි ටික ද එයට දමා බඳුන වසා හොද්ද මඳක් හිඳෙන්නට හරින්න. හොද්ද හිඳීගෙන එනවිට අවශ්‍ය තරමට ලුණු ඇඹුල් තිබේදැයි බලා ළිපෙන් බාන්න.

බත් මෙන්ම පාන්, ආප්ප ආදිය කන්නත් මේ අන්නාසි, රටඉඳි හින්දුම හොදින්ම ගැළපේ.

 

ඉදිරිපත් කිරීම - මනෝරි සුමේදා ලියනගේ

---------------------

කුකුළුමස් කළුපොල් ව්‍යංජනය

සිරුරේ ප්‍රෝටීන් අවශ්‍යතාවට රුකුලක් වුවත් මස්, මාළු එකම රසයකින් ගන්න නම් වැඩි දෙනෙක් දක්වන්නේ මැළිකමක්. මේ චිකන් කළුපොල් ව්‍යංජනය ඔබේ ආහාර රුචිය වඩවනවාට සැක නැහැ.

 

මේ සඳහා අවශ්‍ය වෙන්නේ

කුකුළු මස් ඔබ කැමැති ප්‍රමාණයක්

තුනපහ කුඩු- මිරිස් කුඩු

කහ කුඩු

ගම්මිරිස් කුඩු

අමු මිරිස් කරල් කිහිපයක් (2 - 3ක්)

තක්කාලි හෝ සියඹලා

සුදු ලූනු බික් කිහිපයක්

කරපිංචා, රම්පෙ

බී ලුනු ගෙඩියක්

අමු ඉඟුරු කැබැල්ලක්

ලුණු කුඩු ස්වල්පයක්

බැදගත් හාල් සහ පොල් ස්වල්පයක්

 

දැන් එය මෙලෙසින් සාදමු

පළමුවෙන්ම කුකුළු මස් ටික අවශ්‍ය ප්‍රමාණයට කැබැලිවලට කපා සෝදා ගන්න. ඉන්පසුව තාච්චියට මිරිස් තුනපහ දමා කළු නොවන සේ හොඳින් බැදගන්න.

මෙය කළු වූ විට තිත්ත රසයක් එයි. ඒ නිසා මෙය මඳ ගින්නේ බැද ගන්න. ඉන්පසුව හාල් මිට සහ පොල් ස්වල්පය ද හොඳින් රන්වන් පැහැ වනතෙක් බැදගෙන මිරිස් ගලේ හොඳින් කුඩු වනතෙක් අඹරා ගන්න.

දැන් බැදගත් තුනපහ සහ මිරිස් කුඩු ද අඹරා ගත් හාල් පොල් මිශ්‍රණය ද චිකන් එකට දාන්න. එයට කහ කුඩු හා අවශ්‍ය පමණට ලුණු දමා හොඳට අතගා විනාඩි 10ක් පමණ වේලාවක් පදම් වීමට (සීසන් වීමට) තබන්න.

සුදු ලූනු, බී ලූනු, ඉඟුරු, අමු මිරිස්, ගම්මිරිස් වංගෙඩියේ දමා හොඳින් තලා ගන්න. පසුව මැටි හට්ටියක් ළිපේ තබා එයට තෙල් ස්වල්පයක් දමා රත්වෙන්නට තබන්න. තෙල් රත්වන විට එයට තලාගත් සුදු ලූනු, අමු ඉඟුරු මිශ්‍රණය සහ රම්පෙ, කරපිංචා දමන්න.

ඉන්පසුව එයට කුකුළු මස් ටික දමා හොඳින් කලවම් කරන්න. මෙයට ඔබ කැමැති පරිදි තක්කාලි හෝ සියඹලා යුෂ ස්වල්පයක් එකතු කරන්න.

තමාගේ රසයට අනුව ලුණු ද එකතු කරන්න. වතුර ස්වල්පයක් පමණක් දමා මඳ ගින්නේ තැම්බෙන්නට හරින්න. නැතිනම් හොද්ද උකුවට ගැනීමට අපහසුයි.

තෙල්වලට අකැමැති අයට තෙල් නොදමා වුවද මෙය සකසා ගැනීමට පුළුවන්. දිවගට ඉමිහිරි රසයක් ගෙන දෙන කුකුළු මස් කළුපොල් ව්‍යාංජනය ඔබේ නිවෙසට පැමිණෙන අමුත්තන්ට ආහාර වේලක් ලබාදීමේදීත් ඔබට සකසා ගත හැකියි.

 

ඉදිරිපත් කිරීම - හසිනි දිල්රුක්ෂි

------------------------

කොහිල සීනි සම්බෝලය

බත්, පාන්, ආප්ප, ඉඳිආප්ප, කිරිබත් මේ හැම දෙයක් එක්කම හොඳින්ම ගැළපෙන්නේ සීනි සම්බෝලයයි. අද පවතින ඉහළ ලූනු මිලත් සමඟින් සීනි සම්බෝල හැදීම තරමක් අපහසුයි. ඒත් කොහිල අලවලින් සැකසූ මේ සීනි සම්බෝලය ඔබේ කෑම වේලට වෙනස්ම රසයක් එක් කරාවි.

 

මේ සඳහා අවශ්‍ය වන්නේ

සුද්ද කරගත් කොහිල අල කිහිපයක්

අමු මිරිස් කරල් 2 - 3ක්

රම්පෙ, කරපිංචා

කෑලි මිරිස්

සීනි සවල්පයක්

කූනිස්සන් හෝ උම්බලකඩ

බී ලූනු ගෙඩි 4ක්

දෙහි යුෂ ස්වල්පයක්

ලුණු රස අනුව

 

දැන් අපි සීනි සම්බෝලය

හදමු

කොහිල අල අඟලක පමණ කැබැලිවලට කපා සිහින් තීරු ලෙස ලියා ගන්න. තෙල් බඳුනක් ළිප තබා කපාගත් කොහිල රන්වන් පැහැ වනතෙක් බැදගන්න. ඉන්පසුව එහි තෙල් බේරෙන්නට තබන්න. දැන් සිහින්ව කපාගත් ලූනු ද රන්වන් පැහැ වනතෙක් හොඳින් බැදගෙන තෙල් බේරෙන්නට තබන්න.

රම්පෙ, කරපිංචා ද ගැඹුරු තෙලට දමා බැදගන්න. මෙලෙසින්ම කූනිස්සන් / උම්බලකඩ හා අමු මිරිස් ද බැදගන්න.

දැන් වෙනත් මැටි බඳුනක් ළිප තබා එයට තෙල් ටිකක් දමා රත්වෙන්නට තබන්න. තෙල් රත්වූ පසු කෑලි මිරිස් එයට එකතුකර ටිකක් බැදෙන විට කලින් වෙන් වෙන්ව බැදගත් සියලුම ද්‍රව්‍ය එයට එකතුකර හොඳින් කළවම් කරගන්න.

අවසානයේ දී සීනි ස්වල්පයක් හා රස අනුව ලුණු ස්වල්පයක් ද එකතු කරන්න. දෙහි යුෂ ස්වල්පයක් ද එකතුකර හොඳින් කලවම්කර මේසයට යවන්න. හොඳින් වසා තැබීමෙන් සති තුනක පමණ කාලයක් තබා ගැනීමට ද පුළුවන.

 

ඉදිරිපත් කිරීම - සුයමියා රුවිනි පීරිස්

--------------------

මඤ්ඤොක්කා සම්බල

මඤ්ඤොක්කා අපි බොහෝ දෙනෙක් ආසාවෙන් රස විඳින ආහාරයක්. තම්බා ආහාරයට ගන්නා අතර ම කිරට, තෙලට රසවත් ව්‍යංජන ලෙසින් ද ආහාරයට ගත හැකියි. අද අපි ඔබට ඉදිරිපත් කරන්නේ මඤ්ඤොක්කා සම්බෝලයක් සාදා ගන්නා ආකාරයයි.

 

මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

මඤ්ඤොක්කා අලයක්

රතු ලූනු

අමු මිරිස් කරල් 2 - 3ක්

උම්බලකඩ ස්වල්පයක්

ගා ගත් පොල් ටිකක්

පුළුස්සා ගත් වියළි මිරිස් කරල් 4ක්

දෙහි යුෂ ස්වල්පයක්

 

දැන් එය මෙලෙසින් සාදමු

පළමුවෙන් ම මඤ්ඤොක්කා අලය හොඳින් සුද්ධකර සෝදා ගන්න. අලය සිහින්ව ලියා ගන්න. (කැරට් සම්බෝලයට මෙන්)

ඉන් පසුව උතුරන වතුර බඳුනකට ලියා ගත් මඤ්ඤොක්කා දමා විනාඩි 20ක පමණ වේලාවක් නොවසා තම්බා ගන්න. දැන් මෙය නැවත ඇල්ජලයෙන් දෙතුන් සැරයක් සෝදා හොඳින් මිරිකා බඳුනකට දමන්න. දැන් එයට ම සිහින්ව ලියාගත් රතු ලූනු, අමු මිරිස්, උම්බලකඩ හා පොල් එකතු කරන්න. පුළුස්සා ගත් වියළි මිරිස් හා දෙහි යුෂ ද එකතුකර හොඳින් කලවම් කරන්න.

රස අනුව ලුණු ද එකතුකර කෑම මේසයට යවන්න. මේ විදියට වෙනස් රසයකට ඔබටත් මඤ්ඤොක්කා සම්බෝලයක් රස විඳිය හැකියි.

 

ඉදිරිපත් කිරීම - එස්. එච්. ලීලා