ගෙදර කෑම මේසයට තරු හෝටලයක අත්දැකීමක්

පෙබරවාරි 7, 2022

 

කෑම වේලක් දිව පිනවන රසයෙන් මෙන්ම එහි හැඩය, පෙනුම, වර්ණවත් බව, ගුණාත්මක බවින්ද පොහොසත් විය යුතුයි. මෙවර තරුණී රසාර වෙතින් අප ගෙන එන්නේ පරිපූර්ණ ආහාර වේලක්. එය welcome drink, soup, salad, main course, desert යනාදියෙන් යුතුය. නිවෙසට පැමිණෙන අමුත්තන්ට උත්සව අවස්ථාවකදී මෙවැනි ආහාර වේලකින් සංග්‍රහ කළහොත් තරු හෝටලයකට ගොස් සම්පූර්ණ ආහාර වේලක් ගත්තා වැනි හැඟීමක් දැනේවි.

යෝගට් මිශ්‍ර දොඩම් පානය

 

* යෝගට් එකයි

* දොඩම් යුෂ කෝප්ප එකහමාරයි

* සීනි අවශ්‍ය පමණට

 

 

 

 

මුලින්ම ජෝගුවක් ගෙන යෝගට් සහ දොඩම් යුෂ එකතුකර බ්ලෙන්ඩ් කරගන්න.

ඉන්පසුව අවශ්‍ය පමණ සීනි

එකතු කරගන්න. වීදුරුවක් ගෙන අයිස් කැට දමා ඉහත මිශ්‍රණය වීදුරුවලට දමා අලංකාර කර සංග්‍රහ කරන්න.

-------------------------------

පෝෂණ ගුණයෙන් පිරි කඩල සුප්

• තම්බාගත් කඩල අඬු කෝප්ප එකයි

• සිහින් ව ලියා ගත් ලූනූ

• චොප් කරගත් සුදු ලූනූ තේ හැඳි එකයි

• එළවළු තැම්බූ වතුර ටිකක්

• සුදු කිරි ස්වල්පයක්

• ලුණු ස්වල්පයක්

• ගම්මිරිස් ස්වල්පයක්

• රතු බෙල්පෙපර් ස්වල්පයක්

• කොත්තමල්ලි කොළ තේ හැඳි කාලක්

• තෙල් හෝ බටර් මේස හැඳි එකක්

 

 

 

• තම්බාගත් කඩල වලින් කොටසක් ඉතිරි කර ඉතිරි ප්‍රමාණයට එළවළු තැම්බූ වතුර එක්කර බ්ලෙන්ඩ් කරගන්න.

 

• බඳුනකට තෙල් හෝ බටර් ටිකක් දමා රත් වෙන්නට හරින්න. එය රත් වූ පසු ලියාගත් ලූනූ, සුදු ලූනූ එක් කර තෙම්පරාදු කරගන්න.

 

• එළවළු තැම්බූ වතුරෙන් බ්ලෙන්ඩ් කර ගත් කඩල ටිකට තෙම්පරාදුව එකතු කරන්න.මෙය උතුරා එන විට කිරි, ලුණු සහ ගම්මිරිස් දමා රස කර ගන්න.

 

• අවසානයේ රතු බෙල් පෙපර්, කොත්තමල්ලි කොළ සහ කඩල ඇට ටික දමා ළිපෙන් බාගෙන සංග්‍රහ කරන්න.

රසින් සහ පෝෂණ ගුණයෙන් ඉහළ මෙම සුප් වර්ගය ලොකු පොඩි කාටත් බෙහෙවින්ම ගුණදායක ය.

 

---------------------------

HUNNY චිලි චිකන් සැලඩ්

 

• චිකන් බ්‍රෙස්ට් ග්‍රෑම් 500 යි.

• පැණි කෝප්ප 1/4 යි.

• ඇට රහිත තායි රතු මිරිස් කරල් 4 ක්

• ඉඟුරු ග්‍රෑම් 20 යි.

• ඇස්පැරගස් ග්‍රෑම් 400 යි.

• පීනට් ඔයිල් මේස හැඳි දෙකයි.

• කොළ පැහැති ලූනු ගෙඩි හතරක්

• මාළු මිරිස් (කොළ පැහැති) ග්‍රෑම් 200 ක්.

• මාළු මිරිස් (කහ පැහැති) ග්‍රෑම් 200ක්.

• කැරට් ග්‍රෑම් 120ක්

• චයිනීස් කැබේජ් ග්‍රෑම් 150ක්

• දෙහි යුෂ මිලි ලිටර් අසූවක්

 

 

 

• කුකුළු, මස්, පැණි, ග්‍රේට් කරගත් ඉඟුරු සහ පෙති කපාගත් තායි චිලි භාජනයකට දමා මිශ්‍ර කරගන්න.

 

• ඉන් පසු මද උණුසුමෙන් ඇස්පැරගස් තම්බා ගන්න.

 

• භාජනයකට හෝ ෆ්‍රයි පෑන් එකකට පීනට් ඔයිල් දමා කුකුළු මස් ද ඇතුළුව මිශ්‍රණය එක්කර පිසගන්න.

 

• කුකුළු මස් සමඟ ඇස්පැරගස් ද භාජනයට දමා කපාගත් ලූනු, මාළුමිරිස්, කැරට්, ගෝවා, දෙහි යුෂ සහ ඉතිරි තෙල් ද එක්කර මිශ්‍ර කරමින් මඳක් ටෝස්ට් කර ගන්න.

මෙය 4 දෙනෙකුට පමණ සෑහේ.

-----------------------

සුදු ලූනු මිශ්‍ර අල මෑෂ්

 

 

• සුදුලූනු ගෙඩි හතරක්

• ඔලිව් තෙල් මේස හැඳි එකක්

• අර්තාපල් කිලෝ එකක්

• කිරි මිලිලීටර් 125 ක්

• බටර් ග්‍රෑම් 55ක්

• ලුණු, ගම්මිරිස්

 

 

 

 

ඇලුමීනියම් ෆොයිල් එකක් ගෙන එහි මතුපිට ඔලිව් තෙල් තවරා ඒ මත සුදු ලූනු බික් වෙන්ව ඔතා ගන්න.එය සෙල්සියස් අංශක 180ක හෝ ෆැරන්හයිට් 350 උෂ්ණත්වයේ පැයකට ආසන්න කාලයක් තබා පිටතට ගන්න.

 

*වෙනත් බඳුනකට වතුර ටිකක් දමා එයට ලුණු මිශ්‍ර කරන්න.

 

* පොතු ඉවත් කරගත් අර්තාපල් අල මෙම වතුරට දමා ළිප මත තබා හොඳින් පොඩි කර ගන්නට හැකි ආකාරයට තම්බා ගන්න.

 

* සුදු ලූණු පොතු ඉවත්කර ග්‍රේටර් එකක් ආධාරයෙන් ග්‍රේට් කරගන්න.

 

* එය බඳුනකට දමා ඊට කිරි, බටර්, ලුණු සහ ගම්මිරිස් අවශ්‍ය පමණ යොදා බටර් දියවනතුරු මද රස්නයෙන් පිසගන්න.

 

* තම්බාගත් අලවල වතුර ඉවත් කර හොඳින් පොඩිකර ගන්න.

 

* එය සාදා ගත් සුදු ලූනු මිශ්‍රණයට එක්කර නැවත මඳ රස්නෙන් පිසගන්න.

 

* ළිපෙන් බා බඳුනකට බෙදා සරසාගෙන කෑම මේසයට යවන්න.

-----------------------

මී කිරි මිශ්‍ර කුකුළු මස් කරිය

 

 

• කටු සහ සම ඉවත් කර ගත් කුකුළු මස් ග්‍රෑම් 450ක්

• ඔලිව් තෙල් මේස හැඳි 3යි

• පෙති කපාගත් ලූනු ගෙඩි 3 යි

• ඉඟුරු මේස හැඳි 1/2 යි

• සුදු ලූණු මේස හැඳි 1 යි

• කහ කුඩු මේස හැඳි 1/4 යි

• කුඩුකරගත් එනසාල් කරාබු නැටි

ස්වල්පයක්

• මුදවපු මී කිරි මිලිලීටර් 200 ක්

• පාන් පිටි මේස හැඳි 1ක්

• මිරිස් කුඩු මේස හැඳි 1 ක්

• ගම්මිරිස් කුඩු මේස හැඳි 1 ක්

• රම්පෙ, කරපිංචා

• ලුණු රස පදමට

 

 

 

• බඳුනක් ළිප තබා තෙල් ටිකක් දමා රත් වෙන්නට හරින්න.

 

• රත් වූ පසු ලියාගත් ලූනූ, සුදු ලූනූ, ඉඟුරු, රම්පෙ, කරපිංචා එක්කර රන්වන් පැහැය වන තෙක් බැදගන්න.

 

• ඉන්පසූ කපාගත් කුකුළු මස් එක්කර ගම්මිරිස් කුඩු, ලුණු, කහ කුඩු, එනසාල්, කරාබුනැටි කුඩු ද එකතු කරන්න.

 

• පාන් පිටි සහ මිරිස් කුඩු එකට මිශ්‍ර කර එයත් කරියට දමන්න.

 

• මස් වැහෙන තරමට වතුර එක්කර තැම්බෙන්නට හරින්න.

 

• මස් තැම්බුණු පසු අවසානයේ මුදවපු කිරි ටික එක්කර හොඳින් මිශ්‍රකර මඳගින්නේ ටික වේලාවක් තිබෙන්නට හරින්න.

---------------------

රි බ න් රයිස්

රතු පැහැති බත් සඳහා

අවශ්‍ය ද්‍රව්‍ය

 

• පිසගත් බාස්මතී ග්‍රෑම් 100 යි

• චොප් කරගත් සුදු ලූනූ තේ හැඳි 1/2 යි

• චොප් කරගත් ලොකු ලූනූ තේ හැඳි 1/2 යි

• රම්පෙ කරපිංචා ස්වල්පයක්

• කැට කැපූ බීට් අල ස්වල්පයක්

• අවශ්‍ය නම් රතු වර්ණක බිංදු කිහිපයක්

 

සාදන ක්‍රමය

 

• බඳුනකට බටර් ටිකක් දමා රත් වූ පසු ලූනූ, සුදු ලූනූ , බීට්රූට්, රම්පෙ, කරපිංචා එකතු කරන්න.

• දැන් මෙම තෙම්පරාදුවට අවශ්‍ය නම් රතු වර්ණක බිංදු කිහිපයක් සහ පිසගත් බාස්මතී කර ලුණු ගම්මිරිස් රස පදමට දමා මිනිත්තු තුන හතරක් පිසගන්න.

 

කොළ පැහැති බත් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

 

• පිසගත් බාස්මතී ග්‍රෑම් 100 ක්

• තම්බාගත් ග්‍රීන් පීස් ස්වල්පයක්

• සිහින්ව ලියාගත් ඉඟුරු, සුදු ලූනූ ස්වල්පයක්

• කොළ වර්ණක ස්වල්පයක්

• රම්පෙ, කරපිංචා

• අමුමිරිස් ග්‍රෑම් 20 ක්

• ලුණු, ගම්මිරිස් රස පදමට

• බටර් මේස හැඳි දෙකක්

 

සාදන ක්‍රමය

 

• බඳුනකට බටර් දමා රත්කර එයට ලූනූ සුදුලූනූ, රම්පෙ, කරපිංචා, ග්‍රීන්පීස් සහ සිහින්ව කපාගත් අමුමිරිස් එකතු කරන්න.

• ඉන්පසු පිසගත් බත් කොළ පැහැති වර්ණක, ලුණු, ගම්මිරිස් රස පදමට දමා මිශ්‍රකර ළිපෙන් බාගන්න.

 

කහබත් සඳහා

• පිසගත් බාස්මතී ග්‍රෑම් 100 යි.

• ලියා ගත් ඉඟුරු, සුදුලූනූ, ලූනූ ස්වල්පයක්

• කුඩා කොටු හැඩයට කපාගත් අන්නාසි කැබලි ස්වල්පයක්

• රම්පෙ, කරපිංචා, කුරුඳුපොතු

• ලුණු, ගම්මිරිස්

• ගිතෙල් මේස හැඳි එකක්

 

සාදන ක්‍රමය

 

• බඳුනකට ගිතෙල් දමා රත් වූ පසු ඉඟුරු සුදුලූනූ, රම්පෙ, කරපිංචා සහ කුරුඳු පොතු එක්කර තෙම්පරාදු කරන්න.

• මෙයට බත් ටික දමා රස අනුව ලුණු ගම්මිරිස් එක්කරන්න. අවසානයේ කැබැලි කපාගත් අන්නාසි එකතු කරන්න.

 

සුදු බත් සඳහා

 

• පිසගත් බාස්මතී ග්‍රෑම් 100යි

• බිත්තර සුදු මද එකයි

• ලියා ගත් සුදු ලූනූ, ලූනූ

ටිකක්

• ලුණු ස්වල්පයක්

• එළවළු තෙල් මේස හැඳි එකක්

 

සාදන ක්‍රමය

 

• බඳුනක් ළිප තබා එළවළු තෙල් ටිකක් දමා රත්වූ පසු බිත්තර සුදු මදය

එක්කර ගන්න . ඉන් පසු ලූනූ, සුදු ලූනූ සහ ලුණු එකතු කර බත් ටික දමා තෙම්පරාදු කරන්න. අවසානයේ දීසියක් ගෙන වර්ණ හතරක් සහිත තීරු ලෙස දීසියක අතුරා සරසාගෙන කෑම මේසයට යවන්න. විශේෂයෙන් කුඩා දරුවන් මෙවැනි වර්ණ කීපයක බත් කෑමට ප්‍රිය කරයි.

 

----------------

චොකලට් ඇන්ඩ් නට් මූස්

*නැවුම් කිරි මිලි මිලි ලීටර් 250 ක්

* අයිසිං සීනි ග්‍රෑම් 50ක්

*ජෙලටින් ග්‍රෑම් 25ක්

*චොකලට් ගනාශ් ග්‍රෑම් 200 ක්

*කජු ග්‍රෑම් 50 ක්

 

* නැවුම් කිරිවලට චොකලට් ගනාශ් අයිසිං සීනි සහ ජෙලටින් එක්කර හොඳින් බීට් කර ගන්න

* මෙම මිශ්‍රණය කෝප්පයකට දමා ඒ මත සිහින්ව කපා ගත් කජු කැබලි ඉසින්න.

*මෙම බඳුන ශීතකරණයේ තබා අවශ්‍ය

 

මොහොතේදී පිටතට ගෙන සංග්‍රහ කරන්න.

-------------------------------------

දිවුල් ටාර්ට්

 

*පාන් පිටි ග්‍රෑම් 250 යි

* බටර් ග්‍රෑම් 200 යි

*බිත්තර අටක්

*වැනිලා තේ හැඳි දෙකක්

* දිවුල් ජෑම්

 

 

 

* පිටි සහ බටර් එකට මිශ්‍ර කර ඉන්පසු බිත්තර, වැනිලා හා සීනි බටර් මිශ්‍රකර පිටි මිශ්‍රණයට කලවම් කරගන්න.

* එම පේස්ට් එක රෝලිං පින් එකකින් රෝල් කර රවුම් අච්චුවකින් කපා කේස් එකක දමා බේක් කරගන්න.බේක් කරගත් පසු එය ඉවතට ගෙන නිවුණු පසු දිවුල් ජෑම් පුරවා තමන් කැමති ආකාරයට සරසා ගන්න.

(ටාර්ට් සෑදීමට ගන්නා කේස් වෙළෙඳ සැලෙන් ලබාගත හැකිය.)

-------------------------------

පිලවු රයිස්

 

 

 

• බාස්මති හාල් ග්‍රෑම් 200 යි

• ගිතෙල් මේස හැඳි දෙකයි

• කරදමුංගු ඇට 3 ක්

• කරාබු නැටි 2 ක්

• ගම්මිරිස් ඇට 3-4ක්

• ලුණු රස පදමට

 

 

• වතුර අවශ්‍ය ප්‍රමාණයට

• කහ කුඩු ස්වල්පයක්

 

 

• මුලින්ම බාස්මති හාල් සෝදා වතුර පෙරා ගන්න.

• පෑන් එකක් ළිප තබා එයට ගිතෙල් ටිකක් දමන්න.

• තෙල් රත්වූ පසු කරාබු නැටි, කරදමුංගු සහ ගම්මිරිස් ඇට දමා තෙම්පරාදු කර ගෙන එයට සෝදාගත් සහල් ටික එකතු කරන්න.

• සහල් ටික මිනිත්තු දෙකක් පමණ තෙම්පරාදු වෙන්නට හැර කහ, ලුණු සහ බත තැම්බීමට අවශ්‍ය වතුර එක්කර බත පිසගන්න.

• මෙය උණුසුම තිබියදීම සංග්‍රහ කරන්න.