උත්සවයක් රස ගන්වන්නට අලුත්ම තාලයට වෙනස්ම රසයක කෑම බීම

පෙබරවාරි 28, 2022

 

අපේ ගෘහණියන් කෑම බීම සාදන්නට උපතින්ම දක්ෂය. එම දක්ෂතාවට නිර්මාණශීලීත්වය ද එක් වූ විට ඕනෑම කෑමක් සාදා ගන්නට ඔවුන්ට හැකියාව තිබේ. අප මෙවර ඔබට තිළිණ කරන කැම වට්ටෝරු පෙළ ද එවැනි නිර්මාණශීලී කෑම වට්ටෝරු පෙළකි. ඉන්දියාව, මැලේසියාව, චීනය වැනි රටවල සාදන කෑම වට්ටෝරු අනුකරණය කරමින් දේශීය ක්‍රමයට සාදන මේ කෑමබීමවල අපේ රසය ද දේශීයත්වය ද තැවරී තිබේ.

සාම්ප්‍රදායික රසයකට වඩා තරමක් වෙනස් වූ මේ කෑම වර්ගවලට එකතු කරන අමුද්‍රව්‍ය තරමක් වෙනස්ය. එසේම එහි රසය ද වැඩිය. නිවෙසක පැවැත්වෙන උත්සවයකට, අමුත්තන් පැමිණිවිට සංග්‍රහ කරන්නට ද මෙවැනි කෑම වඩාත් ගැළපේවි. එසේම මේ කෑම බීම කුඩා දරුවන් පවා ප්‍රිය කරනු ඇත.මේ කෑම බීම වට්ටෝරු පෙළ ඔබට තිළිණ කිරීමට මෙවර අප සමඟ එක් වන්නේ සමාජ මාධ්‍ය හරහා ඔබව නිරතුරුවම මුණ ගැසෙන සූපවේදිනියකි. ඇයගේ අලුත්ම තාලයේ කෑම වර්ග අපගේ ගෘහණියන් අතර වඩාත් ජනප්‍රියව ඇත්තේ එම කෑම වර්ග සඳහා එක්කර ගන්නා අමුද්‍රව්‍ය හා සාදන ක්‍රමයේ වෙනස් බව නිසයි. ඔබත් මේ කෑම වට්ටෝරු අත්හදා බලන්න.

 

උපදෙස් සූපවේදිනී

ගයනි සුදීපිකා ප්‍රනාන්දු

ගයනි Creation

 

 

දුමින්ද කාරියවසම්

 

විශේෂ කහ බත

අවශ්‍ය ද්‍රව්‍ය

 

කීරි සම්බා කිලෝ ග්‍රෑම් 1ක්

රතුලූනු ග්‍රෑම් 50ක්

මාගරින් හෝ පිරිසුදු පොල්තෙල් මේස හැඳි 4ක්

සුවඳ කුඩු තේ හැඳි 2ක්

සුදුලූනු ග්‍රෑම් 75ක්

ලුණු රස අනුව

රම්පෙ සහ කරපිංචා

 

සරසා ගැනීමට

බිත්තර හෝ වටු කුරුලු බිත්තර 10ක්

මුද්දරප්පලම් ග්‍රෑම් 100ක්

කජු ග්‍රෑම් 100ක්

 

සාදන ක්‍රමය

 

කීරි සම්බා සහල් හොඳින් සෝදා දිය බේරෙන්න තබන්න. කට පළල ගැඹුරු භාජනයක් ළිපේ තබා මාගරින් නම් මේස හැඳි තුනක් ද, පිරිසුදු පොල්තෙල් නම් මේස හැඳි 4ක් ද එකතු කරන්න. එය හොඳින් රත්වන විට තළාගත් සුදුලූනු, අමු ඉඟුරු, රම්පෙ, කරපිංචා හා සිහින්ව කපාගත් රතුලුනු එකතු කරන්න. මෙය හොඳින් රන්වන් පාට වන තෙක් බැදගෙන දිය බේරාගත් සහල් එකතු කර එයට සුවඳ කුඩු පුරවා තේ හැඳි 2ක්, කහ ස්වල්පයක් හා ලුණු රස අනුව එකතු කර තෙලෙන් බැදෙන්න හරින්න. පසුව බත ඉදෙන ප්‍රමාණයට අවශ්‍ය වතුර ප්‍රමාණය දමා බත පිස ගන්න.

බත සරසා ගැනීම සඳහා බිත්තර තම්බා ගැඹුරු තෙලේ බැදගන්න. මුද්දරප්පලම් සහ කජු වෙන වෙනම මාගරින් දමා තෙම්පරාදු කරගන්න. තෙම්පරාදු කරන විට ලුණු ස්වල්පයක් ද එකතු කිරීමට අමතක නොකරන්න. බත පිළිගැන්වීමේ දී බැදගත් බිත්තර, තෙම්පරාදු කරගත් මුද්දරප්පලම් හා කජු එකතු කර සරසා ගන්න.

**********************

මාළු අච්චාරු

අවශ්‍ය ද්‍රව්‍ය

 

කෙලවල්ලෝ මාළු ග්‍රෑම් 500ක්

රතුලූනු ග්‍රෑම් 100ක්

අමු මිරිස් ග්‍රෑම් 100ක්

අඹරාගත් අබ මේස හැඳි 2ක්

විනාකිරි මේස හැඳි 2ක්

සුවඳ කුඩු තේ හැඳි 1ක්

රස අනුව ලුණු

බැද ගැනීමට තෙල්

 

සාදන ක්‍රමය

සමාන ප්‍රමාණයට මාළු කැලි කපා හොඳින් සෝදා ගන්න. සෝදාගත් මාළු මැටි ඇතිළියකට දමා ලුණු සහ විනාකිරි මේස හැඳි දෙකක් දමා හොඳින් අතගා ගන්න. සීසන් කර ගැනීමට බොහෝ වෙලා තැබීම අවශ්‍ය වන්නේ නැත. විනාඩි කිහිපයක් තැබීම ප්‍රමාණවත්. සීසන් කරගත් මාළු ගැඹුරු තෙලේ බැදගන්න. මැටි ඇතිළියක් ගෙන අඹරාගත් අබ, විනාකිරි, කෑලි මිරිස්, ගම්මිරිස් කුඩු, සුවඳ කුඩු, සීනි, දෙකට පලාගත් අමුමිරිස් සහ ශුද්ධකරගත් රතුලූනු එකතු කර හොඳින් අනාගන්න. එයට මාළු එකතු කර හොඳින් කලවම් කරගන්න. මෙයට තමන්ගේ කැමැත්ත අනුව කැරට් හා අමු ගස්ලබු ද එකතු කරගත හැකියි.

********************

මාළු හා කිරි අල කට්ලට්

 

අවශ්‍ය ද්‍රව්‍ය

කෙලවල්ලෝ මාළු

ග්‍රෑම් 500ක්

කිරි අල ග්‍රෑම් 500ක් (අර්තාපල් / බතල / මඤ්ඤොක්කා ආදිය ද යොදාගත හැකියි)

අමු මිරිස් කරල් 10 - 15ක්

රතු ලුනු ග්‍රෑම් 100ක්

සුදු ලූනු සම්පූර්ණ ගෙඩි 01ක්

සුවඳ කුඩු තේ හැඳි 01ක් (එනසාල් 03ක්, කරාබු නැටි03ක් හා කුරුඳු පොතු කැබැල්ලක් තළාගන්න)

විනාකිරි මේස හැඳි 02ක්

කෑලි මිරිස් මේස හැඳි 01ක්

ගම්මිරිස් මේස හැඳි 01ක්

පොඩි ඉඟුරු කැබැල්ලක්

රම්පෙ, කරපිංචා රස අනුව ලුණු

බැද ගැනීමට තෙල් බැටරයට

බිත්තර 01ක්

පාන් පිටි කෝප්ප 01ක්

බැදපු මිරිස් කුඩු ස්වල්පයක්

ලුණු කුඩු ස්වල්පයක්

බිස්කට් කුඩු

 

සාදන ක්‍රමය

මුලින්ම මාළු හොඳින් සෝදා භාජනයක් ළිපේ තියා එයට ලුණු කැට ස්වල්පයක්, කහ ස්වල්පයක්,‍ විනාකිරි මේස හැඳි 2ක් සහ සුවඳ කුඩු තේ හැඳි 2ක් එකතු කර එයටම වතුර ස්වල්පයක් ද එකතු කර තම්බා ගන්න. කිරි අලවලට කහ සහ ලුණු ස්වල්පයක් දමා තම්බා ගන්න. පසුව මාළු සහ අල වෙන වෙනම කුඩා කැබලිවලට පොඩිකර ගන්න.

තෙම්පරාදුව සඳහා භාජනයක් ළිපේ තබා තෙල් එක්කර තෙල් හොඳින් රත්වූ පසු හීනියට කපාගත් රතුලූනු, අමුමිරිස්, ඉඟුරු, සුදුලූනු, රම්පෙ, කරපිංචා එකතු කර රන්වන් පාටට බැදීගෙන එනවිට කෑලි මිරිස්, විනාකිරි, ගම්මිරිස් සහ සුවඳ කුඩු එකතු කරන්න. තෙම්පරාදු මිශ්‍රණයට මාළු සහ කිරි අල එකතු කර හොඳින් මිශ්‍ර කර ටික වේලාවක් තෙම්පරාදු වෙන්න අරින්න. රස අනුව ලුණු එකතු කරන්න. මාළු සහ කිරි අල සඳහා ලුණු එකතු කර තම්බා ගෙන ඇති බැවින් ලුණු එකතු කිරීමේ දී සැලකිලිමත් වන්න. පසුව ළිපෙන් ගෙන නිවෙන්නට තබන්න. මෙයට තම්බාගත් වටු කුරුලු බිත්තර ද එකතු කර ගත හැකියි. පසුව කට්ලට් බෝල සකසා ගන්න.

තැවරුම් මිශ්‍රණය සඳහා පාන් පිටි, බිත්තර, කහ කුඩු, බැදපු මිරිස් කුඩු සහ රස අනුව ලුනු සහ වතුර ස්වල්පයක් එකතු කර බ්ලෙන්ඩර් කර ගන්න. නැත්නම් ගෑරුප්පුවකින් ගසා ගන්න. සකසාගත් බෝල මෙම මිශ්‍රණයේ තවරා අනතුරුව බිස්කට් කුඩු තවරා ගැඹුරු තෙලේ බැද ගන්න.

******************

 

අලිපේර අතුරුපස

අවශ්‍ය ද්‍රව්‍ය

හොඳින් ඉදුණු කොළ පාට මදය සහිත අලිගැටපේර ගෙඩි 02ක්

එළකිරි කෝප්ප 02ක්

ටින්කිරි ග්‍රෑම් 150ක්

කජු ග්‍රෑම් 100ක්

පැණි

 

සාදන ක්‍රමය

හොඳින් ඉදුණු කොළ පාට අලිගැටපේර ගෙඩි දෙකක මද බ්ලෙන්ඩරයට දමා ගන්න. එයට නැවුම් එළකිරි කෝප්ප දෙකක් එකතු කරන්න. එයටම ලොකු ටින්කිරි ටින් භාගයක් (ග්‍රෑම් 150ක්) පමණ එකතු කරගෙන හොඳින් ගසා ගන්න. එයට දෙහි ගෙඩි දෙකක යුෂ එකතු කරන්න. පසුව මෙය වීදුරුවලට වත් කර එයට උඩින් පැණි සහ කපාගත් කජු දමා ශීතකරණයේ පැය දෙකක් පමණ තබා අතුරුපසක් ලෙස රස බලන්න.

********************

 

පරිප්පු වඩේ

අවශ්‍ය ද්‍රව්‍ය

කඩල පරිප්පු ග්‍රෑම් 500ක්

කුඩා ඉස්සෝ ග්‍රෑම් 150ක්

උම්බලකඩ ග්‍රෑම් 50ක්

රතු ලූනු ග්‍රෑම් 100 ක්

අමු මිරිස් ග්‍රෑම් 50ක්

වියළි මිරිස් කරල් 05 - 06ක්

සූදුරු, මාදුරු තේ හැන්දක්

ගොටුකොළ මිටියක ප්‍රමාණයක්

කරපිංචා ඉති 02 - 03ක්

ලුණු අවශ්‍ය ප්‍රමාණයට

අවශ්‍ය පමණට තෙල්

 

සාදන ක්‍රමය

 

පැය 03ක් පමණ පොඟවා ගත් කඩල පරිප්පු කැමැති ආකාරයට අඹරා ගෙන මෙයට අමුද්‍රව්‍ය සියල්ල හොඳින් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. අවසානයට ගොටුකොළ එකතු කර අවශ්‍ය ප්‍රමාණයට ගුලි සාදා ඔබ කැමැති හැඩයට වඩයක් සාදාගන්න. රත් වූ තෙල්වලට බහා බැදගන්න.

**********************

 

පැණි අච්චාරු

අවශ්‍ය ද්‍රව්‍ය

තරමක අන්නාසි ගෙඩියක්

කජු ග්‍රෑම් 50ක් (කැබලි කපාගත්)

මුද්දරප්පලම් ග්‍රෑම් 50ක්

රටඉඳි ග්‍රෑම් 100ක් (තීරු කපාගත්)

විනාකිරි කෝප්ප 1/2ක්

අඹරාගත් අබ මේස හැඳි 3ක්

මාළු මිරිස් ග්‍රෑම් 100ක්

රතු ලූනු ග්‍රෑම් 100ක්

කැරට් ග්‍රෑම් 100ක් (තීරු කපාගත්)

හකුරු ග්‍රෑම් 100ක් (ග්‍රේට් කරගත්)

සීනි ග්‍රෑම් 50ක්

ගම්මිරිස් මේස හැඳි 1ක්

ලුණු කුඩු අවශ්‍ය පමණ

කැමැති නම් බෙල්පෙපර් පාට තුනෙන්ම කෑලි කිහිපයක් දමන්න.

 

සාදන ක්‍රමය

මැටි ඇතිළියක් ගෙන එයට විනාකිරි එකතු කර අඹරාගත් අබ, සීනි, හකුරු, ලුණු අවශ්‍ය ප්‍රමාණයට එකතු කර එයට ගම්මිරිස් හා කෑලි මිරිස් ඔබේ රස අනුව එකතු කරන්න. පසුව ඉහත සඳහන් අමුද්‍රව්‍ය සියල්ල එකතු කර විනාඩි 20ක් පමණ තබා රස බලන්න.

*********************

 

කුකුළු මස් අච්චාරුව

අවශ්‍ය ද්‍රව්‍ය

කුකළු මස් කිලෝ ග්‍රෑම් 1ක් (මෙයට ඔබට ඕනෑම මස් වර්ගයක් ගත හැකියි.)

විනාකිරි අඬු කෝප්ප භාගයක්

අඹරාගත් අබ මේස හැන්දක්

රතු ලූනු ග්‍රෑම් 50ක්,

අමු මිරිස් ග්‍රෑම් 50ක්

කැරට් ග්‍රෑම් 50ක්

තරමක් පැසුණු ගස්ලබු ස්වල්පයක්

ලුණු, කෑලි මිරිස්, ගම්මිරිස් අවශ්‍ය ප්‍රමාණයට

සුවඳ කුඩු තේ හැන්දක් (සුවඳ කුඩු නොමැති නම් එනසාල් ඇට 05ක්, කරාබුනැටි 03ක්, කුරුඳු පොතු කැබැල්ලක්)

සීනි ඔබේ රස පදමට

හොඳින් පැසුණු තරමක අන්නාසි ගෙඩියක්

අවශ්‍ය පමණට තෙල්

 

සාදන ක්‍රමය

මුලින් මස් පොඩියට කපාගන්න. එයට ලුණු කුඩු හා විනාකිරි එකතු කර අනා පැයක පමණ කාලයක් තබා පසුව රත් වූ තෙල්වල බහා බැදගන්න. මැටි හට්ටියක් ගෙන විනාකිරි, අබ හා ලුණු එකතු කර එයටම ඉහත පැණි අච්චාරු සෑදූ පරිදිම අමුද්‍රව්‍ය සියල්ල එකතු කර හොඳින් කලවම් කර අවසානට මස් ටික එකතු කරගන්න. මෙය විනාඩි 20ක පමණ වසා පසු ආහාරයට ගන්න.