වෙනස් රසයකට ගෙවත්තෙන් ම ආහාර

අප්‍රේල් 25, 2022

 

අප මේ ගෙවන්නේ ඉතාමත් අරපිරිමැස්මෙන් ජීවත් විය යුතු කාලයකි. ආහාරවල මිල ගණන් ඉතාම ඉහළ අගයක් ගන්නා නිසා වත්තේ පිටියේ ඇති ආහාරවලට ප්‍රමුඛත්වයක් ලබා දීම අපේ මේ වෑයමයි.

මුහුණු පොතේ ඉතාමත් ආදර්ශවත් සමූහයක් වන 'කනවනම් කමු ' සමූහයේ සාමාජික සාමාජිකාවන් විසින් ඉදිරිපත් කරන දේශීය ආහාර වර්ග අතරින් කිහිපයක් මෙලෙසින් ඉදිරිපත් කරන්නෙමු. දේශීයත්වයට මුල්තැන දුන් මේ සමූහයේ ඇතැම් විට අප නොදන්නා, අපේ ගෙවත්තේ ඇති අල, කොළ, මල්, ගෙඩි ආදියෙන් රසවත් ලෙස සැකසිය හැකි කෑම වට්ටෝරු ඉදිරිපත් කෙරේ.

තරුණී පාඨක ඔබටත් මේ සුවිශේෂී කෑම වට්ටෝරු ඉදිරිපත් කරන්නේ ඒවා මේ කාලයේ දී ඔබේ ආර්ථිකයට යම් සවියක් විය හැකි බැවිනි. එමෙන්ම වෙනස් රසයකින් යුතු ආහාර රස බැලීමේ අවස්ථාව ද ඔබට හිමි ය.

 

 

විශේෂ ස්තුතිය

'කනවනම් කමු' ගෲප් ඇඩ්මින්

අමල් අත්තනායකට

 

 

අයන්ති උඩුගම්පල

දූරියන් ඇට වඩේ

 

දූරියන් වාරෙට අපතේ යන දෙයක් ලෙසින් දූරියන් ඇට හඳුන්වන්න පුළුවන්. දූරියන් මදුළුවල රස බලන බොහෝ දෙනෙක් එහි ඇට, කිසිම ලෝබකමකින් තොරව ම ඉවත දානවා. ඒත් දූරියන් ඇටත් ඉතාම රසවත් ආහාරයක් ලෙස සකසා ගත හැකියි.

 

දූරියන් ඇට යොදා සකසන මේ රසවත් වඩේ ඔබටත් දූරියන් වාරයේ දී සකසා රස විඳිය හැකියි. දූරියන් කන්න අකැමැති අයෙක් වුණත් මේ දූරියන් ඇට වඩේ එක් වරක් හෝ රස වින්දොත් ආයෙ ආයෙත් ඒවා රස විඳින්න කැමැති වීම අරුමයක් නෙවෙයි.

 

 

දූරියන් ඇට කිහිපයක්

ලියාගත් රතු ලූනු

මිරිස් කැබැලි ටිකක්

කොච්චි ටිකක්

උම්බලකඩ ස්වල්පයක් (කැබැලි කළ)

කරපිංචා ඉති කිහිපයක්

ගම්මිරිස් කුඩු ස්වල්පයක්

රස අනුව ලුණු

දැන් අපි වඩේ හදමු:

පළමුවෙන් ම දූරියන් ඇටවල පොතු ඉවත්කර සෝදා පිරිසුදු කරගන්න. මෙහි තෙත් ගතියක් තිබුණහොත් නානු විය හැකි නිසා හොඳින් වියළා ගන්න. එසේ පිරිසුදුකර තෙත හිඳුවා ගත් දූරියන් ඇට සිහින්ව ග්‍රේට් කරගන්න. දැන් එයට රස අනුව ලුණු, ගම්මිරිස් කුඩු ස්වල්පයක්, සිහින්ව ලියා ගත් රතු ලූනු, මිරිස් කැබැලි, කොච්චි කරල් කිහිපයක්, උම්බලකඩ සහ සිහින්ව ලියා ගත් කරපිංචා ආදිය දමා හොඳින් මිශ්‍රකර ගන්න.

අතේ පොල් තෙල් ස්වල්පයක් තවරාගෙන සාදා ගත් මිශ්‍රණයෙන් කුඩා ප්‍රමාණ ගෙන බෝල සාදා ඒවා මඳක් අතින් තදකර වඩේ සාදා ගන්න. දැන් මේවා ගැඹුරු තෙලේ බැද කෑමට ගන්න. අතේ තෙල් තවරාගත යුත්තේ මේ මිශ්‍රණය මඳක් ඇලෙන සුළු ස්වභාවක් ගන්නා බැවිනි.

මේ දිනවල පරිප්පු ඉහළ මිළකට ගෙන වඩේ හදන්න අපහසු නිසා මේ දූරියන් ඇට වඩේ ඔබේ පසුම්බියටත් සහනයක් සලසාවි.

 

 

 

--------------------

අළුකෙසෙල් ලෙලි චිලි පේස්ට්

අළු කෙසෙල් සකසන දවසට අළු කෙසෙල් ලෙලි වලින් සැකසිය හැකි මේ අලුත් චිලි පේස්ට් එක ඔබට අත්හදා බලන්න පුළුවන්. ආහාර මිළ අහස උසට ඇති මේ කාලයට මේ චිලි පේස්ට් එක වඩාත් හොඳින් ගැළපේ.

 

අළු කෙසෙල් ලෙලි ග්‍රෑම් 250ක්

තලාගත් ඉඟුරු, සුදු ලූනු ග්‍රෑම් 50ක්

සිහින්ව ලියා ගත් කරපිංචා ග්‍රෑම්

50ක් පමණ

වියළි කෑලි මිරිස් ග්‍රෑම් 75ක් පමණ

උම්බලකඩ කුඩු ග්‍රෑම් 50ක් පමණ

(අවශ්‍ය නම්)

ලුණු රස අනුව

පොල් තෙල් ස්වල්පයක්

දුඹුරු සීනි ස්වල්පයක්

ලුණු වතුර සමඟ දියකර ගත්

සියඹලා ස්වල්පයක්

සාදා ගන්නා ආකාරය:

පළමුවෙන් අළුකෙසෙල් ලෙලි සෝදා තෙත මාත්තුකර සිහින්ව ලියා ග්‍රයින්ඩ් කරගන්න. මැටි ඇතිළියක් ළිප තබා එයට පොල් තෙල් ස්වල්පයක් දමා රත්වෙන්නට හරින්න. මේ ඇතිළියට ග්‍රයින්ඩ් කරගත් අළුකෙසෙල් ලෙලි දමා රන්වන් පැහැ වන තෙක් බැදගන්න. මෙය මඳ ගින්නේ තබා පිස ගත යුතුයි.

අළුකෙසෙල් ලෙලි රන්වන් පැහැ වන විට කරපිංචා, කෑලි මිරිස් එකතු කරන්න. කැමැති නම් උම්බලකඩ කුඩු ටික ද මෙයට එකතු කරන්න. ටික වේලාවකින් දියකර ගත් සියඹලා යුෂ, දුඹුරු සීනි ස්වල්පයක් එකතුකර හොඳින් කළවම්කර රස අනුව ලුණු ද එකතු කරන්න. මෙය කළු වෙන්නට පෙර රතු පැහැය තිබිය දීම ළිපෙන් බා ගන්න.

මේ චිලි පේස්ට් එක ඔබට කල් තබාගෙන රසවිඳීමට ද හැකියි. ඒ සඳහා හොඳින් පිරිසුදුකර ජීවානුහරණය කළ වීදුරු බෝතලයක සුළං නොවදින සේ අසුරා ගන්න.

 

 

ඉදිරිපත් කිරීම :

මධුෂානි මායාදුන්නේ

------------------------

උදේ වේලට සරල ආහාරයක්

උදෑසන ආහාරය සඳහා බත් හෝ වෙනත් බර ආහාර ගැනීමට බොහෝ දෙනෙක් දක්වන්නේ අකැමැත්තක්. අලිගැටපේර, බිත්තර ආදිය දමා සැකසූ මේ ආහාරය සරල මෙන්ම පෝෂ්‍ය ගුණයෙන් ද ඉහළයි. ඉතාමත් පහසුවෙන් සකසා ගත හැකි වීමත් මෙහි විශේෂත්වයක්.

එකම ආහාර වර්ග නිසා ආහාර රුචිය නැතිවූ ඔබේ දූ පුතුන්ටත් මේ සරල ආහාරය හොඳින් ම ගැළපේවි. එහෙමනම් අපි මේ ආහාරය සකසන්නේ කෙසේදැයි බලමු.

 

 

ොකු අලිගැටපේර ගෙඩි කිහිපයක්

බිත්තර (අලිපේර ගෙඩිවල ප්‍රමාණය

මෙන් දෙගුණයක්)

ලුණු ස්වල්පයක්

ගම්මිරිස් කුඩු ස්වල්පයක්

එය සාදන්නේ මේ ආකාරයටයි:

මුලින් ම අලිගැටපේර ගෙඩි සෝදා දෙකට පලන්න. දැන් හැන්දක් ආධාරයෙන් අලිපේර මදය බිත්තර දැමීමට හැකි වන සේ ගැඹුරට ඉවත් කරන්න. මෙහිදී අලිපේර මදය සම්පූර්ණයෙන් ඉවත් කිරීමට අවශ්‍ය නැත. දැන් එයට බිත්තරයක් කඩා දමා උඩින් ලුණු ස්වල්පයක් හා ගම්මිරිස් කුඩු ස්වල්පයක් ඉසින්න. සෙල්සියස් අංශක 180ක උණුසුමට සැකසූ අවන් එකට මේ බිත්තර සහිත අලිපේර දමා විනාඩි 15-20ක් පමණ වේලාවක් තබා ඉවතට ගන්න.

ඉන් පසුව ඔබ කැමැති ආකාරයේ ටොපිං එකක් මෙයට දමා ගත හැකියි. මෙයට දමා ඇත්තේ බේක් කළ බේකන්, ලූනු, චීස්, ඔරිගානෝ ආදියයි. නමුත් මෙයට ඔබ කැමැති දෙයක් දමා කෑමට ගත හැකියි.

රස වගේම පෝෂ්‍ය ගුණයෙන් ද ඉහළ මේ ආහාරය ඔබට ඉතාමත් පහසුවෙන් සකසා ගැනීමට පුළුවන්. උදේ ආහාරයක් ලෙසින් මෙන්ම රාත්‍රී ආහාරයක් ලෙස වුවද මෙය

සකසා රස විඳිය හැකියි.

 

ඉදිරිපත් කිරීම :

කල්පනා හේවා කණ්ඩම්බි

 

------------------------------------

වට්ටක්කා බැදුම

එළවළු මිල ඉහළ ගියත් තරමක් හෝ අඩු මුදලකට සපයා ගත හැකි එළවළුවකි වට්ටක්කා. තම්බා පොල් සමඟ උදේ ආහාරයක් ලෙස වුවද ආහාරයට ගතහැකි මේ රසවත් ඵලය කිරට සාදා බත්පතට එකතු කරගැනීමයි බොහෝ දෙනෙක් කරන්නේ. ඒත් විවිධ රසයට සාදා ගත හැකි වට්ටක්කා බැදුමක් ලෙස සාදා ගන්නා ආකාරය අද අපි ඔබට ඉදිරිපත් කරන්නෙමු.

 

 

වට්ටක්කා ග්‍රෑම් 250ක්

ලොකු ලූනු ගෙඩියක්

සුදු ලූනු බික් 2ක්

අමු මිරිස් කරල් 2ක්

අමු තුනපහ තේ හැඳි 1/2ක්

ගම්මිරිස් කුඩු ස්වල්පයක්

කහ කුඩු ස්වල්පයක්

රම්පෙ, කරපිංචා

කෑලි මිරිස් තේ හැන්දක්

උම්බලකඩ ස්වල්පයක්

අබ ඇට ස්වල්පයක්

පොල් තෙල්

ලුණු රස අනුව

දැන් අපි බැදුම හදමු:

පළමුවෙන් ම වට්ටක්කා ටික ලොකු කැබැලිවලට කපා තම්බා ගන්න. ඉන්පසු ලොකු ලූනු, අමු මිරිස්, සුදු ලූනු සිහින්ව කපා ගන්න. තෙල් ස්වල්පයක් ළිප තබා එයට අබ ඇට ස්වල්පයක් දමා පුපුරවා ගන්න. එයට ලියාගත් ලූනු, සුදු ලූනු, අමු මිරිස්, රම්පෙ, කරපිංචා, තුනපහ, කෑලි මිරිස්, කහ, උම්බලකඩ දමා හොඳින් මිශ්‍රකර බැදෙන්නට හරින්න.

පසුව එයට තම්බා ගත් වට්ටක්කා එකතුකර හොඳින් මිශ්‍රකර ගන්න. ඉන්පසුව ගම්මිරිස් කුඩු ස්වල්පයක් ද මෙයට ඉස හොඳින් මිශ්‍රකර කෑමට ගන්න.

 

 

ඉදිරිපත් කිරීම :

චන්දිමා චන්ද්‍රසේකර

--------------------

වැල් කොහිල ව්‍යාංජනය

අපේ මිදුල්වල ඇති බොහෝ ගහ කොළ ගැන අපි දන්නේ නැති බවවත් ඔබ දන්නේ නැතිව ඇති. කොහිල නම් බොහෝ දෙනෙක් දන්නා ශාකයක් වුවත් ගොඩ කොහිල නැතිනම් වැල් කොහිල ලෙස හඳුන්වන වැල් වර්ගය කොතෙක් දැක තිබුණත් එය ආහාරයට ගන්නා බව නම් ඔබ නොදන්නවාට සැක නැහැ. එහෙම නම් අපි බලමු වැල් කොහිලවලින් රසවත් ව්‍යාංජනයක් සකසා ගන්නා ආකාරය.

 

 

වැල්කොහිල දළු ( මෝරපු නැති කොළ)

පරිප්පු ස්වල්පයක් හෝ කොස් ඇට

කිහිපයක්

මිරිස් කුඩු ස්වල්පයක්

තුනපහ ස්වල්පයක්

කහකුඩු ස්වල්පයක්

කුරුඳුපොතු කැබැල්ලක්

උළුහාල් ස්වල්පයක්

ගොරකා කුඩා කැබැල්ලක්

සුදු ලූනු බික් දෙක තුනක්

අමු මිරිස් කරලක් දෙකක්

රම්පෙ, කරපිංචා

කුඩා ලූනු ගෙඩියක්

මිටිකිරි අඬුකෝප්පයක් පමණ

වියළි මිරිස් කරලක් දෙකක්

අබ ඇට ස්වල්පයක්

රස අනුව ලුණු

එය සාදන්නේ මෙහෙමයි:

පළමුවෙන් කොළ ටික හොඳින් සෝදා සිහින්ව කපා ගන්න. කොස් ඇට ද පොතු ඉවත්කර කුඩාවට කපා ගන්න. එසේ නැතිනම් පරිප්පු ටික සෝදාගන්න. එයට සිහින්ව කපා ගත් ලූනු, අමු මිරිස්, සුදු ලූනු, රම්පෙ, කරපිංචා, කහ, තුනපහ, ලුණු, කුරුඳුපොතු, උළුහාල් දමන්න. මිරිස් ස්වල්පයක් (කුඩා ප්‍රමාණයක්) දමන්න. ගොරකා කැබැල්ල ද දමා ළිපේ තබන්න. මෙය තැම්බීමට වතුර ස්වල්පයක් ද දමන්න.

මෙම ව්‍යාංජනය සැකසෙන තෙක් එය පියනකින් වැසීමෙන් වළකින්න. මෙය වැසීමෙන් කොළවල ඇති කොළ පැහැය වෙනස් විය හැකියි. කොස් ඇට හොඳින් තැම්බී වතුර ස්වභාව හිඳුන පසුව මිටිකිරි දමා හොඳින් උතුරවා ගන්න.

ඉන් පසුව බඳුනකට තෙල් දමා ළිප තබා එය රත්වන විට අබ ඇට ස්වල්පයක්, කරපිංචා, වියළි මිරිස් කැබැලි, සුදු ලූනු දමා බැදෙන විට මේ තෙම්පරාදුව කලින් සකසා ගත් ව්‍යාංජනයට දමා හොඳින් කළවම් කරන්න.

 

 

 

ඉදිරිපත් කිරීම

රේඛා මදුවන්ති

සුන්දරගෙදර