වැඩි වියදම් නැති නිර්මාංස ආහාර

මැයි 30, 2022

 

 

වෙසක් සඳ කෙමෙන් කෙමෙන් ගුවන් ගැබින් සමුගන්නවාත් සමඟම මේ උදා වන්නේ පින්බර පොසොන් මාසයයි. මෙත් සිතින් පින් පුරන, පෙහෙවස් සමාදන්වන, දානමානාදිය පිරිනමන වෙසක් මාසය වාගේම මේ පොසොන් මාසයත් බෞද්ධ අපට හරිම වැදගත්. ඒ නිසාම බොහෝ දෙනකු පොසොන් මාසයේ දීත් නිර්මාංස ආහාර සකසා ගැනීමට වැඩි උනන්දුවක් දක්වති.

 

එමෙන්ම මේ දිනවල රට පුරා පවත්නා අයහපත් වාතාවරණය නිසාත්, වෙළෙඳපොළ විවෘත නොකිරීමත් හේතුකරගෙන හිතේ හැටියට එළවළු, පලතුරු, පලා මිල දී ගැනීමේ අපහසුවක් ද පවතිනවා. නමුත් එවන් විටෙක තම ගෙවත්තෙන් හෝ වටපිටාවෙන් පහසුවෙන් සපයා ගත හැකි ආහාර කිහිපයකින් හරි අපූරුවට ඔබේ බත්පතට පිරිමසා ගත හැකි ව්‍යංජන කිහිපයක් හඳුන්වා දෙන්නටයි අපේ මේ උත්සාහය. බලන්න. වැඩි අමුද්‍රව්‍ය ප්‍රමාණයක් නොයොදා නිවෙසේ තිබෙන දේවල්වලින්ම සකසා ගත හැකි මේ නිර්මාංස ව්‍යංජන වැඩි වියදමක් නැතිවම සකසා ගත හැකියි නේද?

 

ඉදිරිපත් කිරීම -

අනුරාධපුරෙය් ද ලේක් ෆොරස්ට් හෝටලයේ,

ප්‍රධාන සූපවේදී

 

සුදත් චන්දන රාජපක්ෂ

 

 

එළබටු ව්‍යංජනය

 

එළබටු ග්‍රෑම් 250 ක්

තරමක් විශාල ප්‍රමාණයේ

තක්කාලි ගෙඩියක්

සිහින්ව ලියාගත් ලූනු

ගෙඩියක්

මිරිස් කුඩු තේ හැඳි තුනක්

අමු තුනපහ ස්වල්පයක්

කහ කුඩු ස්වල්පයක්

පොල් කිරි අඬු කෝප්පයක්

කුරුඳු පොතු කැබැල්ලක්

උළුහාල් ස්වල්පයක්

සුදුලූනු බික් තුන හතරක්

අමු මිරිස් කරල් තුනක්

පොල් තෙල් ස්වල්පයක්

රස පදමට ලුණු කුඩු

රම්පේ සහ කරපිංචා

 

 

 

එළබටු ටික කපා හෝ තළාගෙන කහ සහ ලුණු මිශ්‍ර වතුරට දමන්න. මෙහිදී එළබටුවල මැද ඇති කුඩා ඇට ඉවත් කරගත යුතු අතර එසේ නොවුණහොත් ව්‍යංජනය තිත්ත රසක් ගැනීමට ඉඩ තිබේ.

දැන් මැටි බඳුනක් ගෙන ළිප තබා තෙල් ස්වල්පයක් එකතු කරන්න. තෙල් රත් වී ගෙන එනවිට රම්පෙ සහ කරපිංචා දමන්න. එයටම කපාගත් ලූනු, සුදුලූනු, අමු මිරිස් ආදිය එකතු කරන්න.මිරිස් කුඩු, අමු තුනපහ, කහ සහ උළුහාල් , කුරුඳු පොතු ආදියත් එකතු කරන්න.

අනතුරුව කපාගත් එළබටු ටික දිය බේරාගෙන මෙයට එකතු කරන්න. රස අනුව ලුණු ද දමා මඳක් තැම්බෙන්නට හරින්න.

ඉන්පසුව පොල්කිරි ටික ද එකතු කර හි‍ෙඳන්නට හැර ළිපෙන් බාගන්න.

අසමෝදගම් කොළ සම්බෝලය

 

අසමෝදගම් කොළ මිටියක්

පොල් ස්වල්පයක්

දෙහි ගෙඩියක යුෂ

අමු මිරිස් කරල් දෙක තුනක්

සිහින්ව කපාගත් රතුලූනු ගෙඩි කිහිපයක්

රස පදමට ලුණු

 

 

 

අසමෝදගම් කොළ ටික හොඳින් සෝදා තෙත බේරෙන්නට පසෙකින් තබන්න.

දැන් සිහින්ව ගා ගත් පොල් ටිකට රතුලූනු, අමු මිරිස් සිහින්ව කපා එකතු කරන්න. එයටම රස අනුව ලුණු සහ දෙහි යුෂ ටික ද එකතු කර හොඳින් පොඩි කරන්න.

අනතුරුව තෙත බේරෙන්නට තැබූ අසමෝදගම් කොළ ටික ද සිහින්ව කපා මෙයටම මිශ්‍ර කරගන්න.

 

 

නෙළුම් අල බැදුම

අවශ්‍ය ද්‍රව්‍ය

 

නෙළුම් අල ග්‍රෑම් 250 ක්

කැබලි මිරිස් ග්‍රෑම් 50 ක්

කහ කුඩු ස්වල්පයක්

බී ලූනු ග්‍රෑම් 200 ක්

අමු මිරිස් කරල් හතරක්

රස අනුව ලුණු

පොල් තෙල් අවශ්‍ය පමණට

 

සාදන ක්‍රමය

 

නෙළුම් අල හොඳින් සෝදා පිරිසුදු කරගෙන කුඩාවට පෙති කපා ගන්න.ඉන්පසුව ඒවා ගැඹුරු තෙලේ බැද තෙල් බේරෙන්නට පසෙකින් තබන්න. දැන් වෙනත් බඳුනක් ගෙන ළිප තබා එයට පොල් තෙල් ස්වල්පයක් දමන්න. අනතුරුව කපාගත් සුදුලූනු, රම්පෙ, කරපිංචා, බී ලූනු සහ අමු මිරිස් ටික එයට දමන්න. එයටම කෑලි මිරිස්, කහ කුඩු සහ රස අනුව ලුණු ද දමා හොඳින් මිශ්‍ර කරන්න.

අවසානයට බැද පසෙකින් තබා ගත් නෙළුම් අල පෙති ද එයට දමා හොඳින් මිශ්‍ර කර ළිපෙන් ඉවතට ගන්න.

දින කිහිපයක් වුවද කල් තබාගෙන භාවිත කළ හැකි මෙය ඉතා රසවත් බැදුමකි.

 

 

මඤ්ඤොක්කා ව්‍යංජනය

 

මඤ්ඤොක්කා ග්‍රෑම් 250 ක්

සිහින්ව ලියාගත් බී ලූනු ගෙඩියක්

මිරිස් කුඩු තේ හැඳි 1/2 ක් පමණ

තුනපහ ස්වල්පයක්

කහ ස්වල්පයක්

උළුහාල් ස්වල්පයක්

කුරුඳු පොතු කැබැල්ලක්

රම්පේ සහ කරපිංචා

සුදුලූනු බික් දෙක තුනක්

අවශ්‍ය පදමට ලුණු

පොල් කිරි අඬු කෝප්ප දෙකක් (දිය කිරි සහ මිටි කිරි වෙනම)

අමු මිරිස් කරල් දෙක තුනක්

 

 

 

මඤ්ඤොක්කා ටික පොතු හැර සෝදා කුඩා කැබලිවලට කපාගන්න.දැන් කපාගත් මේ මඤ්ඤොක්කා ටික මැටි බඳුනකට දමාගන්න. එයටම සිහින්ව ලියාගත් ලූනු , සුදුලූනු, අමු මිරිස්, රම්පේ, කරපිංචා ආදිය දමන්න.

උළුහාල් සහ කුරුඳු පොතු කැබැල්ලක් වාගේම තුනපහ, මිරිස් කුඩු, කහ, රස පදමට ලුණු ද එකතු කරන්න. අනතුරුව දිය කිරි ද එකතුකර ළිප තබන්න.

මඤ්ඤොක්කා හොඳින් තැම්බුණු පසුව එයට මිටි කිරි එකතු කර හොඳින් නටවා ළිපෙන් ඉවතට බාන්න.

ඔබ කැමැති නම් මේ මඤ්ඤොක්කා ව්‍යංජනය තෙම්පරාදු කර ගැනීමෙන් හෝ බැදගත් අබ කුඩු ටිකක් ඉස කලවම් කර ගැනීමෙන් වඩාත් රසවත් කරගත හැකියි.

 

බෝංචි මැල්ලුම

බෝංචි ග්‍රෑම් 250 ක්

ගාගත් පොල් ටිකක්

සිහින්ව ලියා ගත් රතුලූනු ගෙඩි කිහිපයක්

කහ ස්වල්පයක්

ගම්මිරිස් ස්වල්පයක්

සුදුලූනු බික් හතරක් පහක්

අමු මිරිස් කරල් දෙකක් පමණ

අබ ස්වල්පයක්

රස අනුව ලුණු

 

 

බෝංචි ටික සෝදා සිහින්ව කපාගන්න. අනතුරුව පොල් ස්වල්පයක් ද මිශ්‍රකර වංගෙඩියට දමා මඳක් කොටාගන්න.

සිහින්ව කපාගත් සුදුලූනු, රතුලූනු, අමු මිරිස් ද මෙයටම දමා තව ටිකක් කොටන්න.

ගම්මිරිස් කුඩු, කහ සහ රස අනුව ලුණු ද මෙයට එකතු කරන්න.

දැන් මැටි බඳුනක් ළිප තබා එයට පොල් තෙල් ස්වල්පයක් දමන්න. අනතුරුව රත් වූ තෙලට අබ ස්වල්පයක් දමා පුපුරවා ගන්න.

ඉන්පසුව කොටාගත් බෝංචි මිශ්‍රණය දමා තරමක් මැලවෙන්නට හරින්න.

මෙහිදී බෝංචිවල කොළ පැහැය වියැකෙන්නට නොදී මැල්ලුම ළිපෙන් බාගන්නට උනන්දු වන්න. එවිට කිරි රසයෙන් යුත් බෝංචි මැල්ලුමක රසය විඳින්නට ඔබටත් හැකි වේවි.

 

 

ඇඹරැල්ලා ව්‍යංජනය

 

ඇඹරැල්ලා ග්‍රෑම් 250 ක්

මිරිස් කුඩු තේ හැඳි තුනක්

තුනපහ සහ කහ ස්වල්පයක්

ගම්මිරිස් කුඩු ස්වල්පයක්

කුරුඳු පොතු කැබැල්ලක්

උළුහාල් ස්වල්පයක්

සුදුලූනු බික් හතරක්

අමු මිරිස් කරල් තුනක්

සිහින්ව කපාගත් ලූනු ගෙඩියක්

පොල් කිරි අඬු කෝප්පයක්

අබ ස්වල්පයක්

රස අනුව ලුණු

රම්පෙ සහ කරපිංචා

 

 

පළමුව ඇඹරැල්ලා ගෙඩිවල පොතු ඉවත් කරගෙන කුඩා කැබලිවලට කපා ගන්න. දැන් මැටි බඳුනක් ළිප තබා එයට තෙල් ස්වල්පයක් දමන්න. තෙල් රත් වූ පසු අබ ටික දමා පුපුරවා ගන්න.

අනතුරුව එයට කපාගත් සුදුලූනු, සිහින්ව කපාගත් බී ලූනු, අමු මිරිස්, රම්පෙ, කරපිංචා, උළුහාල්, කුරුඳු පොතු ආදිය එකතු කරන්න. මේ සියල්ල රන්වන් පැහැයට හැරුණු පසු මිරිස් කුඩු, තුනපහ, කහ, ගම්මිරිස් එකතු කරන්න.

අවසානයේ කපාගත් ඇඹරැල්ලා ටික ද එයට එකතු කර තරමක් තෙලෙන් තැම්බෙන්නට වසා තබන්න. හොඳින් තැම්බුණු ඇඹරැල්ලාවලට මිටි කිරි ටික දමා මඳ ගින්දරේ හිඳෙන්නට පිසගන්න.