පවුලේ පෝෂණයට දේශීය ආහාර...

ජුනි 27, 2022

 

අද වන විට අපේ රටේ ආහාර මිල ගණන් ඉතා ඉහළ මට්ටමක පවතී. මේ නිසා අපෙන් ගිලිහී ගිය දේශීය ආහාර වර්ග නැවත මතකයට නගා ගැනීම සුදුසු ය. ආහාරයට ගත හැකි අප නොදන්නා ආහාර වර්ග මෙන්ම අප දන්නා එළවළු, පලතුරු වෙනස් ආකාරයන්ට අනුව සකසා ගැනීමට අපි මේ අතිරේකය තුළින් ඔබට දැනුම ලබා දෙන්නෙමු.

 

මුහුණුපොතේ ඉතාමත් සක්‍රීය සමූහයක් වන 'කනවනම් කමු' සමූහයට ඉදිරිපත්ව තිබූ මේ ආහාර වට්ටෝරු තරුණී පුවත්පතේ පලකිරීමට තෝරා ගැනුණි. මේ ආහාර වර්ග සකසා රස බැලීමට ඔබට හැකියි.

 

විශේෂ ස්තුතිය -

'කනවනම් කමු' සමූහයේ ගෲප් ඇඩ්මින්

අමල් අත්තනායකට

 

කාමරංගා ජෑම්

කාමරංගා බොහෝ විට ගස් යට වැටී නාස්තිවන පලතුරක්. ඒත් මේ කාලයේ දී කෑමට ගත හැකි කිසිම දෙයක් ඉවත දැමිය යුතු නැහැ. ජෑම් සකසා තැබීමෙන් අපට අවශ්‍ය වෙලාවකට ඒවා ප්‍රයෝජනයට ගත හැකියි.

 

 

ඉදුණු කාමරංගා ගෙඩි 20-25ක්

සීනි ග්‍රෑම් 250 ක් (මෙය ඔබ කැමැති

රස අනුව වෙනස් කළ හැකියි.

පැණි රස අඩුවෙන් කන අයට ග්‍රෑම්

100ක් වුවද සෑහේ. )

සුවඳ කුඩු මේස හැන්දක් (එනසල්,

කුරුඳු පොතු කැබැල්ලක්)

දෙහි බෑයක යුෂ

ලුණු ස්වල්පයක්

 

 

පළමුවෙන් ම කාමරංගා ගෙඩිවල දාර කොටස් ඉවත්කර දෙකට කපා ඇට ඉවත්කර ගන්න. පසුව කාමරංගා කුඩා කැබැලිවලට කපා ගන්න. කපා ගත් කාමරංගා ග්‍රයින්ඩරයට දමා හොඳින් ග්‍රයින්ඩ් කරගන්න.

මැටි වළඳක් ගෙන ග්‍රයින්ඩ් කරගත් කාමරංගා, සීනි එකතුකර පොල්කටු හැන්දක් ආධාරයෙන් හොඳින් කලවම් කරන්න. ඉන්පසුව මෙම මිශ්‍රණය ළිප මත තබා අඩු ගින්දරේ උයා ගන්න. ටික වේලාවකින් සුවඳ කුඩු එකතු කරන්න. මිශ්‍රණය හොඳින් උකුවන විට (උඩට බුබුළු මතුවන විට) ළිපෙන් ඉවතට ගෙන දෙහි යුෂ මිශ්‍රකර හොඳින් කළවම් කරන්න.

මිශ්‍රණය හොඳින් සිසිල් වූ විට පිරිසුදු වීදුරු බෝතල්වල අසුරා ගන්න. මේ ජෑම් ඔබට මාස දෙකක පමණ කාලයක් තබාගෙන රස විඳිය හැකියි.

මෙවැනි ජෑම් බෝතලයක් ඔබට අසල්වැසියකුට තෑගි කිරීමට වුවද පුළුවන්. මේ කාලයේ හැටියට එය ඔවුනට වටිනා දෙයක් වේවි.

 

 

 

ඉදිරිපත් කිරීම:

මදූෂි මායාදුන්නේ

-----------------------

රස ගුණ පිරි නිවිති පපඩම්

මේ දිනවල අපට පුරුදු විදියට ආහාර ගන්න තරමක් අපහසුයි. ඒත් පෝෂණය ගැන නොහිතා ආහාර ගන්නත් බැහැ. ගෙවත්තෙන් සපයා ගත හැකි දෙයින් රස ගුණ පිරි පෝෂණීය ආහාර වේලක් සකසා ගැනීමයි කළ යුත්තේ. මේ නිවිති පපඩම් නිවිති කන්න අකැමැති පොඩ්ඩන්ට වුණත් නිවිති කන්න කැමැත්තක් ඇති කරාවි.

 

නිවිති කොළ කිහිපයක්

කඩල පිටි ස්වල්පයක් ( නිවිති කොළ ගන්නා ප්‍රමාණයට අනුව ගත යුතුයි) කඩලපිටි නැතිනම් පාන් පිටි වුවද ගත හැකියි.

කෝන් පිටි මේස හැඳි දෙකක් පමණ (මෙය අවශ්‍යම නොවේ. කැමැති නම් ඒ වෙනුවට බිත්තර භාවිත කළ හැකියි.)

රස අනුව ලුණු

ගම්මිරිස් කුඩු ස්වල්පයක්

පොල්තෙල්

 

 

පළමුවෙන් ම නිවිති කොළ පිරිසුදුකර සෝදා ජලය ඉවත් කරගන්න. ඔබට ඇත්තේ ලොකු නිවති කොළ නම් ඒවා අවශ්‍ය ප්‍රමාණයට කපා ගන්න.

දැන් කඩල පිටි හෝ පාන් පිටි, කෝන් පිටි හෝ බිත්තර, ලුණු හා ගම්මිරිස් කුඩු ආදිය බඳුනකට දමන්න. මේ බඳුනට වතුර ස්වල්පය බැගින් දමා තරමක් උකු බැටරයක් සාදා ගන්න.

තාච්චියකට තෙල් දමා රත්වෙන්නට ළිප තබන්න. දැන් සාදා ගත් බැටරයට නිවිති කොළ දමා බැටරයේ දවටා ගැඹුරු තෙලේ බැද ගන්න.

අමුත්තන් පැමිණි වේලාවකටත් මෙවැනි සරල ආහාරයක් ඔබට සැකසිය හැකියි.

 

 

ඉදිරිපත් කිරීම:

නිරෝෂි දොළමුල්ල

 

----------------------

ඕලු දඬු ව්‍යංජනය

ඕලු දඬු හැම කෙනකුට ම සොයා ගත නොහැකි වුවත් එය හදන ආකාරය දැන සිටියොත් කෙදිනක හෝ සකසා රස බැලිය හැකියි. නෙළුම් දඬු ආහාරයට ගත්තත් බොහෝ දෙනෙක් ඕලු දඬු ආහාරයට ගන්නා බව නොදන්නවා විය හැකියි. එහෙමනම් ඕලු දඬු ව්‍යංජනය සකසන්නේ කෙසේදැයි දැන් අපි බලමු.

 

 

ළපටි ඕලු දඬු කිහිපයක්

අමු මිරිස් කරල් 2ක්

රතු ලූනු ගෙඩි 4-5ක්

රම්පෙ, කරපිංචා

උම්බලකඩ

තක්කාලි ගෙඩියක්

මිරිස් කුඩු තේ හැන්දක්

තුනපහ තේ හැඳි 1/2ක්

මිටිකිරි අඬුකෝප්පයක්

ලුණු රස අනුව

කහ ස්වල්පයක්

පොල් තෙල් ස්වල්පයක්

අබ ඇට ස්වල්පයක්

 

 

මේ ව්‍යංජනය සඳහා ළපටි ඕලු දඬු තෝරා ගැනීම වැදගත් වේ. එහිදී මල් සෑදීම අඩු හෝ කොළවල ඇති දඬු වුවද ගැනීමට පුළුවන්. ඕලු දඬු ගෙන ඒවායෙහි වටේට ඇති සිහින් පොත්ත ඉවත්කර ගත යුතුය. දැන් මෙය වට්ටියක තුනීකර ඉන්පසුව දිනක් පමණ මැලවෙන්නට හරින්න. (මෙහි දඬුවල ඇති වතුර ප්‍රමාණය අඩු වීමක් සිදු වේ)

ඉන්පසු දඬු ටික සිහින්ව කපා ගන්න. රතු ලූනු හා අමු මිරිස් ද තක්කාලි ගෙඩියද කපා ගන්න.

දැන් මැටි ඇතිළියකට තෙල් ස්වල්පයක් දමා ළිපේ රත්වන්නට තබන්න. එයට අබ ඇට ටිකක් දමා පුපුරවා කපා ගත් ලූනු, අමු මිරිස්, තක්කාලි හා රම්පෙ, කරපිංචා, උම්බලකඩ පිළිවෙළින් එයට දමා ගන්න. එය මඳක් බැදුණු පසුව මිරිස් කුඩු, තුනපහ, කහ සහ අවශ්‍ය පමණට ලුණු එකතු කරමින් එය හැන්දකින් මිශ්‍ර කරන්න.

දැන් එයට කැබැලිවලට කපා ගත් ඕලු දඬු එකතු කරන්න. ඇතිළිය වසා මඳ ගින්නේ ඕලු දඬු තැම්බෙන තෙක් පිස ගන්න. අනතුරුව මිටිකිරි දමා හොඳින් උතුරවා ළිපෙන් බාගන්න.

 

 

ඉදිරිපත් කිරීම:

චන්දිමා චන්ද්‍රසේකර