අඩු වියදමෙන් කෑම වේලක්

ජූලි 4, 2022

 

මොන ගැටලු තිබුණත් ආහාර අපේ ජීවිත ජීවත් කරන්නට අත්‍යවශ්‍යම වූවකි. ඒ නිසා අප කාටත් කෑම වේලක අවශ්‍යතව තදින් දැනේ. නමුත් ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යන්නේ රොකට් වේගයෙනි. එය දරාගැනීමට බොහෝ දෙනකුට අපහසු වී තිබේ. ඒ නිසාම අඩු වියදමකින් රසවත් කෑම වේලක් සකසා ගන්නට ඔබ දැනුවත් විය යුතුමයි. මේ එවැනි පහසුවෙන්, අඩු වියදමකින් සකසා ගත හැකි රසවත් කෑම වේලකි.

උපදෙස් හා ඡායාරූප

ප්‍රවීණ සූපවේදිනී

තිලානි විතානගේ

 

 

 කොච්චි කොළ පපඩම්

 

ළපටි කොච්චි කොළ

පාන් පිටි මේස හැඳි 2ක්

කඩල පිටි මේස හැන්දක්

කෝන්ෆ්ලාර් මේස හැන්දක්

(අත්‍යවශ්‍යම නැත. ඒත් ඕනෙම බැටර් එකකට කෝන්ෆ්ලාර් එකතු කළ විට ක්‍රිස්පි ගතිය වැඩිපුර එනවා)

මිරිස් කුඩු හා ලුණු ඔබේ රස පදමට

බිත්තරයක්

බැදීමට තෙල්

 

 

 

කොච්චි කොළ සෝදා වතුර බේරෙන්න තියන්න. පිඟානකට පාන් පිටි ටිකක් දමා පසෙකින් තබා ගන්න. තවත් භාජනයකට බැටර් එකට අවශ්‍ය සියලුම දේවල් ටික දමා වතුර ටික ටික එකතු කරමින් තරමක ඝනකමට එනකම් හැන්දකින් මිශ්‍ර කරමින් බැටර් එක සාදා ගන්න. කොච්චි කොළ එකින් එක පාන් පිටි දාපු පිඟානට දමා පාන් පිටි තවරා ගන්න. (එතකොට තමයි බැටර් එක කොළවලට හොඳින් අල්ල ගන්නේ)

අවසානයට පාන් පිටි තැවරූ කොළ එක එක බැටර් එකේ තවරා රත් වූ ගැඹුරු තෙලට දමා අඩු ගින්දරේ රන්වන් පැහැ වනතුරු බැද තෙල් බේරා ගන්න. (ක්‍රිස්පි ගතිය මැකෙන්න කලින් උණුවෙන්ම රස විඳින්න)

 

*****************************

අළු කෙසෙල් පොතු තෙල් දැමුම

 

සිහින්ව කපාගත් අළු කෙසෙල් පොතු (කපාගත් සැණින්ම ලුණු මිශ්‍ර වතුරට දාන්න. නැත්නම් කහට පිපෙනවා)

තළාගත් සුදුලූනු, ලියාගත් අමුමිරිස්, රතු ලූනු හා ඉදුණු තක්කාලි

කුඩාවට කපාගත් වියළි මිරිස් කරල් 2ක්

අබ ස්වල්පයක්

කෑලි මිරිස්

පදමට ලුණු

අවශ්‍ය නම් උම්බලකඩ, කූනිස්සන් හෝ සිහින්ව ලියාගත් කරවල ටිකක්

 

හදන්න ළංවෙලා ලුණු වතුරේ දාපු අළු කෙසෙල් පොතු ටික මිරිකා ගන්න. භාජනයක් ළිප තබා එයට තෙල් ටිකක් දමා රත් වෙනකොට අබ දමා පුපුරුවා ගන්න. එයට ම වියළි මිරිස් කෑලි ටිකත් දාන්න. එයට ඉතිරි සියලුම දේවල් ටික දමා ටික වෙලාවක් හොඳින් තෙම්පරාදු කරගන්න. ඒ ගමන් තක්කාලි කෑලි ටිකත් හැන්දකින් පොඩිකරන්න. අවසානයට කෑලි මිරිස් දමා පදමට ලුණු එකතු කරගන්න. හරිම රසවත්. අවශ්‍ය නම් මේකට කුඩාවට කපාගත් කරවල, හාල්මැස්සන් හෝ කූණිස්සන් එකතුකර තව ටිකක් වෙලා ළිපේ තබන්න.

*************************

නිවිති මිශ්‍ර බත්

 

බෙරි නොවන්න උයා ගත් බත් (මේ සඳහා කලින් දවසේ ඉතුරු වූ හීල් බත් යොදා ගන්නත් පුළුවන්.)

නිවිති කොළ (ලොකු කෑලිවලට කපා ගන්න)

තළාගත් ඉඟුරු, සුදු ලූනු

ලියාගත් තක්කාලි, අමුමිරිස් හා බී ලූනු ගෙඩියක්

ඔබේ ශීතකරණයේ ඉතුරු වූ කැරට් වගේ ඕනෑම එළවළු ටිකක්

තියෙනවා නම් තම්බා ගත් සෝයා මීට් ටිකක්

සෝයා සෝස් මේස හැන්දක්

කෑම පිසීමට ගන්නා තෙල් මේස හැන්දක්

පදමට ලුණු හා ගම්මිරිස් කූඩු

 

මුලින්ම තෙල් ටික භාජනයකට දමා ඒකට තළාගත් ඉඟුරු, සුදු ලූනු දාන්න (මේකෙන් බත් එකට රසයක් වගේම හොඳ සුවඳක් එනවා) එයටම ලියා ගත් අමුමිරිස්, ලූනු හා තක්කාලි දමා බැදෙන්න හරින්න.

කැරට් වගේ ඔබ ළඟ තිබෙන එළවළු ටිකත් දමා තව ටිකක් අඩු ගින්දරේ තියන්න. නිවිති ටික හා සෝයා මීට් එකතු කර ළිපේ ගින්දරත් වැඩි කරන්න. එයට සෝයා සෝස් හා ගම්මිරිස් එකතු කරන්න. සෝයා සෝස්වල ලුණු අඩංගු නිසා මදි නම් පමණක් ලුණු එකතු කරන්න. නිවිති ටික මැලවෙන්න කලින් බත් ටික දමා ළිප ඕෆ් කර ඔක්කොම හොඳින් මිශ්‍ර කර ගන්න. ළිපෙන් පිටතට ගත්ත ගමන්ම නිවිති කොළවල කොළ පැහැය යන්න කලින් බත් එක වෙනත් භාජනයකට මාරු කරන්න.

**********************

බැටර් ෆ්‍රයිඩ් කෙසෙල් මුහ මල් රේණු

 

 

ළපටි කෙසෙල් මුහක්

පාන් පිටි මේස හැඳි 2ක්

කඩල පිටි මේස හැන්දක්

කෝන්ෆ්ලාර් මේස හැන්දක් (අත්‍යවශ්‍යම නෑ. ඒත් ඕනෙම බැටර් එකකට කෝන්ෆ්ලාර් එකතු කළ විට ක්‍රිස්පි ගතිය වැඩිපුර එනවා)

මිරිස් කුඩු හා ලුණු ඔබේ

රස පදමට

බිත්තරයක්

බැදීමට තෙල්

මුලින්ම කෙසෙල් මුහේ තිබෙන මල් ටික වෙන් කර ලුණු වතුරට දාන්න. (සමහර කෙසෙල් මල්වල පොඩි තිත්ත රසක් තියෙනවා. තිත්ත රස හා කහට ගතිය නැති වෙන්න තමයි ටික වේලාවක් ලුණු වතුරේ දාන්නේ)

පිඟානකට පාන් පිටි ටිකක් දමා පසෙකින් තබා ගන්න. තවත් භාජනයකට බැටර් එකට අවශ්‍ය සියලුම දේවල් ටික දමා වතුර ටික ටික එකතු කරමින් තරමක ඝනකමට එනකම් හැන්දකින් මිශ්‍ර කරමින් බැටර් එක හදා ගන්න. ලුණු වතුරට දැමූ කෙසෙල් මුහ මල් ටික වතුර බේරා පාන් පිටි දැමූ පිඟානට දමා පිටි තවරා ගන්න. (එතකොට තමයි බැටර් එක මල්වලට හොඳින් අල්ලා ගන්නේ) අවසානයට පාන් පිටි තැවරූ මල් ටික ටික අරන් බැටර් එකේ තවරා රත් වූ ගැඹුරු තෙලට දමා ඉක්මනින් රන්වන් පැහැ වනතුරු බැද තෙල් බේරා ගන්න.