රස ඉතිරෙන සතුට ගෙනෙන කෑම

ජූලි 25, 2022

දේශීය කෑම බීම හැමදාමත් ගෙනෙන අපි අද එය වෙනස් කරමින් කෑම වේලට විශේෂත්වයක් ගෙනෙන කෑම කිහිපයක් මෙලෙස ගෙන එනවා. මේ කෑම ඔබේ කෑම වේලට සකසා පවුලේ අයත් සමඟ රස විඳින්න.

 

ඉදිරිපත් කිරීම -

ඉන්දියාවේ බැංගලෝර්වල

ස්ටැන්ලි ලෙෂර් හි විධායක

සූපවේදී හා සූපවේදී උපදේශක

දිනේෂ් ද සිල්වා

ග්‍රිල් ෆිෂ් ඉන් ගාලික් බටර් සෝස්

 

 

තෝර මාළු (මැද කට්ට ඉවත්

කරගත්) ග්‍රෑම් 500ක්

පාස්ලි (සිහින්ව ලියාගත්)

මේස හැඳි 2ක්

දෙහි යුෂ මේස හැඳි ½ක්

ගම්මිරිස් කුඩු ස්වල්පයක්

ලුණු ස්වල්පයක්

බටර් ග්‍රෑම් 150ක්

ඔලිව් ඔයිල් මිලිලීටර් 30ක්

 

 

එක හා සමානව පෙති කපාගත් තෝර මාළු, ලුණු, ගම්මිරිස්, දෙහි, සිහින්ව ලියාගත් පාස්ලි එකතු කොට කලවම්කර පැය භාගයක් පමණ වසා පසකින් තබන්න. ඉන්පසු නන්ස්ටික් පෑන් එකක් මඳ ගින්නේ රත් කොට සීසන් කරගත් මාළු එහි තබා ඔලිව් ඔයිල් උඩින් ඉස පිළියෙල කරගන්න. විනාඩි 6කට පසු මාළු අනික් පස පෙරලා තව විනාඩි 6ක් පමණ මඳ ගින්දරේ පිසගන්න.

වෙනත් කුඩා භාජනයකට සුදුලූනු (සිහින්ව ලියාගත්) සහ බටර් එකතු කර එයට ලුණු ස්වල්පයක් එකතු කර මඳ ගින්නේ සෝස් එක සාදාගන්න. ඉන්පසු ග්‍රිල් කරගත් මාළු පිඟානක තබා පිළියෙල කර, සෝස් ස්වල්පයක් මාළු උඩ ඉස ඉතිරිය කුඩා දීසියක පිළිගන්වන්න. අලංකාර කර ගැනීම සඳහා දෙහි පෙති 2ක් මාළු මත තබා පාස්ලි ඉත්තක් ඒ මත තබා පිළිගන්වන්න. මේ වට්ටෝරුව හය දෙනකුට සෑහේ.

***************************

චිකන් ඇන්ඩ් මෂ්රූම් සුප්

 

 

 

කටු රහිත චිකන් ග්‍රෑම් 500ක්

හතු ග්‍රෑම් 200ක්

පාන් පිටි කෝප්ප ½ක්

ලුණු තේ හැඳි ½ක්

ගම්මිරිස් කුඩු තේ හැඳි 1ක්

සුදුලූනු මේස හැඳි 2 (සිහින්ව

ලියාගත්)

රටලූනු ගෙඩි 2ක් (කොටුවට

කපාගත්)

කුකිං ක්‍රීම් කප් 1ක්

බීජෝන් මස්ටර්ඩ් තේ හැඳි 1ක්

ඔලිව් තෙල් මේස හැඳි 2ක්

 

 

 

මඳ ගින්නේ පෑන් එක ළිප තබා චිකන් ලූනු, සුදුලූනු, ලුණු එයට එකතු කරගන්න. බටර් තේ හැන්දක් සහ ඔලිව් ඔයිල් මේස හැඳි 2ක් එයට එකතු කර මඳ ගින්නේ පිසගන්න. ඉන්පසු එයට හතු, බීජොන් මස්ටර්ඩ් එකතු කරන්න. එයට පාන් පිටි එකතු කර වතුර කෝප්ප 1 ½ක් දමා මඳ ගින්නේ උකුවන තුරු පිසගන්න. අවසාන වශයෙන් කුකිං ක්‍රීම් ද එයට එකතු කර තත්පර 30ක් පමණ ළිප තබා එයින් බා ගන්න. ඉන්පසු පිළිගැන්වීමේ භාජනයකට දමා පාස්ලි ඉත්තක් ගසා එය පිළිගන්වන්න. මෙය 5 දෙනකුට සෑහේ.

****************

චිලි ගාර්ලික් ප්‍රෝන්ස්

 

 

 

 

ශුද්ධ කර ගත් ලොකු ඉස්සන් 8ක්

සුදුලූනු බික් 6ක් (සිහින්ව ලියාගත්)

ඉදුණු රතු පැහැති මිරිස් කරල් 3ක්

පාස්ලි මිටක්

බටර් ග්‍රෑම් 100ක්

දෙහි යුෂ තේ හැඳි 1ක්

පැප්රිකා කුඩු (තිබේ නම්)

 

 

 

පෑන් එකකට බටර් දමා සුදුලූනු සහ මිරිස් එකතුකර තත්පර 30ක් පමණ මඳ ගින්නේ පිසගන්න. ඉන්පසු එයට ඉස්සන් එකතු කර මිනිත්තු දෙකක් පිසගන්න. පසුව එයට ලූනු, කපාගත් පාස්ලි, දෙහි යුෂ එකතු කරගන්න. කලවම් කරන ලද පාස්ලි ඉස්සන් මත දමා බැඳීමට ඉඩ හරින්න. අවසානයට පැප්රිකා ස්වල්පයක් ඉස පිළිගන්වන්න. මෙය ගාලික් ටෝස්ට් සමඟ හෝ පස්තා සමඟ ආහාරයට ගත හැකියි.

 

***********************

බේක්ඩ් ෆ්‍රයිඩ් රයිස්

 

 

 

බාස්මතී හාල් කෝප්ප 2ක්

එළවළු තෙල් මේස හැඳි 2ක්

සෙසමි ඔයිල් තේ හැඳි 1ක්

සුදුලූනු පෙති (බික්) 4ක්

රටලූනු ගෙඩි 1ක්

කොටු කපාගත් කැරට් ග්‍රෑම් 150ක්

ග්‍රීන් පීස් ග්‍රෑම් 100ක්

චිකන් හැම් ග්‍රෑම් 150ක්

ලුණු රස පදමට

සෝයා සෝස් මේස හැඳි 3ක්

රතු බෙල් පෙපර් ග්‍රෑම් 100ක්

 

හාල් හොඳින් සෝදා වියළා ගන්න. අවන් එක සෙල්සියස් අංශක 200ට රත් කරගන්න. බේකිං පෑන් එකක් ගෙන එයට හාල් දමා එළවළු තෙල්, සෙසම් ඔයිල් එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න. ඉන්පසු සුදුලූනු, බෙල් පෙපර්, කැරට්, ග්‍රීන් පීස්, හැම්, ලුණු සමඟ මිශ්‍ර කරගන්න. ඉන්පසු අවශ්‍ය ප්‍රමාණයට වතුර, සෝයා සෝස් එක් කර හොඳින් හැඳිගාන්න. අවසාන වශයෙන් ඇලුමිනියම් ෆොයිල් එකකින් හොඳින් වසා මිනිත්තු 30ක් බේක් වෙන්න තබන්න. පසුව ෆොයිල් එක ගලවා තව විනාඩි 10ක් බේක් කරගන්න. මෙය අට දෙනකුට සෑහේ.