පාට පාට මල් පොකුරක හැඩ

ඔක්තෝබර් 17, 2022

 

මල් කියන්නේ කවුරුත් දකින්න කැමැති දෙයක් නේ. ඉතින් මේ ලස්සන මලින් හැඩ කළ කේක් එකක් තිබුණොත් කවුරුත් කැමැති වේවි නේද? උපන් දිනයට, ගෙට ගෙවදීමට, උපහාර උත්සවයකට, විවාහ ගිවිස ගැනීමකට ආදී ඕනෑම අවස්ථාවකට මේ ලස්සන මල් පොකුර සුදුසුයි.

 

කේක් එක සෑදීම සඳහා කිලෝ ග්‍රෑම් 1ක ප්‍රමාණයේ කේක් එකක් අවශ්‍ය වේ. එය මෙලසෙ සකසා ගන්න.

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

සීනි ග්‍රෑම් 250ක්

බටර් හෝ මාජරින් ග්‍රෑම් 250ක්

පිටි ග්‍රෑම් 240ක්

බිත්තර 05 (ග්‍රෑම්250ක්)

බේකිං පවුඩර් තේ හැඳි 2ක්

වැනිලා තේ හැඳි 2ක්

කිරි පිටි තේ හැඳි 2ක්

කලරිං (රෝස, කොළ, දම්, කහ පාටවලින්)

 

සාදා ගන්නා ආකාරය

මුලින්ම භාජනයක් ගෙන එයට සීනි හා බටර් දමා හොඳින් බීට් කරගන්න. සීනි කැට දිය වූ පසු එයට එකින් එක බිත්තර එකතු කර හොඳින් බීට් කරගන්න. වැනිලා තේ හැන්දක් දමන්න. ඉන්පසු කිරි පිටි හා බේකිං පවුඩර් එකතු කර පිටි ටික හලා ගන්න. දැන් ඒ පිටි ටික මිශ්‍රණයට ටික ටික එකතු කර හොඳින් බීට් කරගන්න. වැනිලා ද එකතු කරන්න.

ග්‍රෑම් 250 ප්‍රමාණයේ රවුම් තැටි 4කට තෙල් කඩදාසි දමා සකස් කරගන්න. දැන් මේ තැටිවලට කේක් මිශ්‍රණය සමානව දමාගන්න. තැටිවලට කලරිං පාට හතර වෙන වෙනම දමා මිශ්‍රණය පාට කරගන්න. ඉන්පසු සෙල්සියස් අංශක 180 උෂ්ණත්වයට විනාඩි 5ක් පමණ රත් කරගත් අවන් එකට කේක් දමා විනාඩි 35ක් - 40ක් වෙලාවක් බේක් කරගන්න. කේක් බේක් වීමට ගතවන කාලය එක් එක් අවන් සඳහා වෙනස් වේ. මේ නිසා අවන් එකට දැමූ කේක් එක පිළිබඳ අවධානයෙන් සිටින්න.

මෙසේ බේක් කරගත් කේක් නිවෙන්නට තබා අයිසිං කර ගනිමු.

 

අයිසිං එක සඳහා

 

බටර් ග්‍රෑම් 250ක්

අයිසිං සීනි ග්‍රෑම් 750ක් කිලෝ ග්‍රෑම්

1ක් අතර අවශ්‍ය වේ.

 

මේ දෙක හොඳින් බීට් කරගන්න. මෙසේ සාදාගත් අයිසිං මිශ්‍රණයට වැනිලා එකතු කරගන්න.

 

මුලින්ම කේක් 4 එක උඩ තබා සැන්විඩ් කරගන්න. එය බෝඩ් එකක් මත තබා කොළ පාට බටර් අයිසිංවලින් නොම්බර 17 නොසල් එකෙන් මල් නැටි ආකාරයට ඉරි දමාගන්න. ඉන්පසු අනිත් පාටවලින් බටර් අයිසිං රෝස මල් සාදා ගන්න. මේ සඳහා නොම්බර 12 නොසල් එකෙන් බඩ් එකක් සාදා ඉන්පසු නොම්බර 104 නොසල් එකෙන් පෙති දමාගන්න. Flower Nail එක ද අවශ්‍ය වේ. මේ සඳහා බටර් අයිසිං රෝස මල් වෙනුවට වෙනත් අයිසිං මල් වර්ගයක් ද යොදා ගත හැකියි. ඉන්පසු කේක් එක වැඩියෙන් අලංකාර කර ගැනීමට රිබන් එකක් කේක් එක වටේ දමා ගෙන Topper එකක් ද එකතු කරගන්න.

 

මෙම කේක් එක අවස්ථාවන් කීපයක් සඳහා යොදාගත හැකියි.

 

 

 

ඉදිරිපත් කිරීම

ගම්පහ, Butter Dream Cakes හි

තෙයාගි සධනිකා ගමගේ