පෝෂණය සපිරි ආහාර වේලක් සැකසීම ඔබේ වගකීමක්

ඔක්තෝබර් 24, 2022

ඔක්තෝබර් 16 වැනි දිනට යෙදී තිබුණු ලෝක ආහාර දිනය වෙනුවෙනි

  

දිනෙන් දින ඉහළ යන බඩු මිල පිළිබඳ වඩාත් හොඳින් අවබෝධ වන්නේ නිවෙසේ මුළුතැන්ගෙය දෙස බැලීමෙනි. නිරන්තරයෙන් විවිධාකාරයේ සුවඳ හැමූ, රසමසවුළු තැනුණු බොහොමයක් මුළුතැන්ගෙවල් තුළ අද වනවිට තුන්වේල පිසෙන්නේ ද යාන්තමිනි. එය ද නිසි පෝෂණ ගුණය සැපිරූ අංග සම්පූර්ණ ආහාර වේලක් නොවේ.

 

වැඩිහිටියන් වූ අප රසය හෝ පෝෂණ ගුණය ගැන නොසිතා කුසගින්නට ආහාර ලබා ගත්ත ද පුංචි පැටවුන්ගේ ආහාර වේල එලෙස සුළු කොට තැකිය හැකි නොවේ. මන්ද හැදෙන, වැඩෙන වයසේ පසුවන පුංචි දරු පැටවුන් වෙත පෝෂණ ගුණයෙන් සපිරි ආහාර නොලැබුණහොත් ඔවුන්ගේ වර්ධන වේගය අඩාල විය හැකියි. නිසි වයසට වර්ධනය විය යුතු උස හා බර නොමැති වීම නිසා විවිධ ගැටලු ඇති විය හැකියි. එමෙන්ම පෝෂණ ඌනතා නිසා හටගන්නා රෝගාබාධවලට ද ඔබේ දරුවා නිරන්තරයෙන් ලක් වේවි.

 

ඊට අමතරව ඔබේ පවුලේ ජීවත්වන වයසින් වැඩි, වැඩිහිටි පිරිසගේ පෝෂණ අවශ්‍යතාව ගැන ද ඔබ සිතා බැලිය යුතුයි. විශේෂයෙන්ම ගෙවී ගෙන යන ඔවුන්ගේ කාය ශක්තිය නංවාලන අමතර පෝෂණීය ගුණයක් ඔවුන් වෙත ලබාදිය යුතුමයි. සිරුරට අපහසුකම් නොදැනෙන, සුව නින්දක් සේම ශරීරයට සුවපහසුවක් ලැබෙන සැහැල්ලු ආහාර ඒ සඳහා තෝරා ගත යුතුයි.

 

එමෙන්ම ගත වෙහෙසා වැඩ කරන සාමාජිකයන්ට සේම යෞවන වයසේ තරුණ පිරිසට ද මේ ආහාර වේල ගැළපිය යුතුමයි.

 

එබැවින් මවක, ගෘහණියක වූ ඔබේ වගකීම වන්නේ මේ සියල්ලන්ගේ පෝෂණ අවශ්‍යතා පිරිමසින ආකාරයේ අංග සම්පූර්ණ ආහාර වේලක් පිළියෙල කිරීමයි. නමුත් පවත්නා උද්ධමනය හමුවේ මස්, මාළු, කිරි, බිත්තර, චීස්, බටර් වැනි දෑ සිතු සේ පරිභෝජනය කළ නොහැකිය. එබැවින් පෝෂණ අවශ්‍යතා පිරිමැහෙන විකල්ප ආහාර භාවිත කිරීම වඩාත් සුදුසුය. ඊට අමතරව ඔබ සකසනා ආහාර වේල පෝෂණ ගුණය සුරැකෙන ලෙස සකසා ගැනීමටත් අමතක නොකරන්න.

 

පෝෂණයෙන් වැඩි ආහාර

උදාහරණයක් ලෙස ඔබ උදෑසන හෝ රාත්‍රී ආහාරය සඳහා රොටී හෝ පිට්ටු පිළියෙල කරනවා යැයි අපි සිතමු. පිටි, පොල් සහ ලුණු පමණක් යොදා සකසන මිශ්‍රණය සඳහා ගොටුකොළ, රතුලූනු, අමුමිරිස්, කැරට්, බෝංචි, ගෝවා, පොල්තෙල් ස්වල්පයක්, බිත්තරයක් එකතු කරන්න. එවිට හොඳ රසයක් සේම ඉහළ පෝෂණ ගුණයක් සහිත පරිපූර්ණ ආහාර වේලක් ඔබට නිර්මාණය කරගත හැකියි.

 

ගෙමිදුලේ වගාවෙන් යමක්

ඊට අමතරව හැකි සෑම දෙයක්ම ඔබේ ගෙවත්තේ වගා කරන්න. ඉඩකඩ නොමැති විට ඉවත දමන බඳුන්, කවර ආදියේ හෝ කුඩාවට වවා ගන්න. එවිට එක් ව්‍යාංජනයක් සහිත ආහාර වේලට ඔබේ ගෙමිදුලෙන් ද යමක් එකතු කර ගත හැකියි. නැවුම් පලා සම්බෝලයක්, මැල්ලුම්, බැදුමක් සකසා ආහාර වේලෙහි අඩුපාඩු මකා ගන්න.

 

ඉවත දමන්න එපා

ඔබේ ගෙවත්තේ වැවෙන කිසිවක් ප්‍රයෝජනයට නොගෙන අපතේ යවන්න එපා. කොස්, දෙල්. අල, බතල, කෙසෙල් මුව, ඇඹරැල්ලා ආදිය සතු පෝෂණ ගුණය ඉතා විශාලයි. ඒවා විවිධ ආකාරයට සකසා ගන්න. විශේෂයෙන්ම පොඩි පැටවුන්ට ප්‍රිය ආකාරයට, වෙනස් ඉවුම් පිහුම් අනුගමනය කරමින් සකසා ගතහොත් කිසිදු මැසිවිල්ලකින් තොරව නොමිලේ සපයා ගත හැකි පෝෂණය ඔවුනට ලබාදිය හැකියි.

 

ඔබේ දරුවන් කොස් තම්බා කෑමට ප්‍රිය නොවේ යැයි සිතමු. එවිට තම්බා ගත් කොස්වලට එළවළු කිහිපයක් මිශ්‍ර කර කොත්තුවක් ආකාරයට සකසා ගන්න. නැතිනම් කොස් මඳුළු තුළට පිරවිල්ලක් දමා තම්බා ගන්න. කොස් ඇට කිහිපයක් කුඩාවට කපා ව්‍යාංජන සඳහා එකතු කරන්න. කබලේ බැදගත් කොස් ඇට, පොල් සමඟ මිශ්‍ර කර අග්ගලා සකසා ගන්න. මේ ආකාරයට දරුවන් ඇතැම්විට ප්‍රතික්ෂේප කරනා එහෙත් අඩු මුදලට වැඩි ගුණයක් ලබාගත හැකි ආහාර වෙනස්ම මුහුණුවරකින් සකසා ගන්න. එවිට ඔවුන්ටත් නොදැනීම පෝෂණීය අවශ්‍යතා සපුරා ලීමට ඔබට හැකියාව ලැබේවි.

 

නිවෙසේ මුළුතැන්ගෙය පාලනය කරන්නී ඔබයි. කෑම බීම සකසන්නී ඔබයි. එබැවින් පවුලේ පෝෂණය පිළිබඳ වගකීම ද ඔබ අත රැඳී ඇති බව අමතක කරන්න එපා. ඉතාමත් අසීරු කාලවකවානුවක් වුවද ඔබේ පවුල රැකබලා ගැනීම, ඔවුන් ශාරීරිකව මෙන්ම මානසිකව සවිමත් කිරීම ඔබ සතු කාර්යයකි. ඒ ගැන සෑමවිටම සිහියේ තබාගෙන කටයුතු කරන්න. ඔබට ද වෙහෙස, මහන්සිය ඇති. නමුත් තමන්ගේම ප්‍රියයන් වෙනුවෙන් වඩාත් ඇප කැප වෙමු. එවිට මේ ජීවිතයේ වෙහෙසක් නොදැනේවි.