රසාර

ඔක්තෝබර් 24, 2022

ගෙදරදීම පිරිසුදුවට සාදාගත හැකි කෑම වර්ග කිහිපයකි මේ. පාන් පිටි මිල ඉහළ යාමත් සමඟ මෙවැනි කෑම කඩෙන් කනවා නම් ලොකු මුදලක් වැය වේ. ඒත් ඔබේම අතින් අත්දැකීම් ලබමින් මේවා සකසා ගත් විට දැනෙන සතුට

මිල කරන්න බැහැ.

මේ කෑම කිහිපය සකසා ගන්නා ආකාරය ඔබට තිළිණ කරන්නේ මාලදිවයිනේ වෙසෙන සුජීවා එදිරිසිංහය. ඇය කෑම වර්ග සැකසීමේ දැනුම ලබාගත්තේ ප්‍රවීණ සුපවේදිනී ජනනි ගුරුසිංහගෙන් බවත් මේ අවස්ථාවේ ඇයට ස්තුති කරන බවත් සඳහන් කළාය.

සුජීවා එදිරිසිංහ

චිකන් බ්‍රෙඩ්

 

ඩෝ එකට අවශ්‍ය ද්‍රව්‍ය

පාන් පිටි කෝප්ප 4ක්

බටර් හෝ මාගරින් මේස හැඳි 2ක්

ලුණු තේ හැඳි 1/2ක්

කිරිපිටි මේස හැඳි 2ක්

ඊස්ට් තේ හැඳි 2ක්

සීනි තේ හැඳි 2ක්

මඳ රස්නෙ වතුර කෝප්ප 1/2ක්

(ඊස්ට් දිය කිරීමට)

ඩෝ එක ඇනීමට මඳ රස්නෙ

වතුර කෝප්ප 1/2ක්

 

චිකන් ෆිලිං එකට අවශ්‍ය ද්‍රව්‍ය

කටු රහිත චිකන් ග්‍රෑම් 150ක්

තක්කාලි ගෙඩි 1ක්

ලූනු ගෙඩි 2ක්

සුදුලූනු බික් 4ක්

ඉඟුරු තරමක කැබැල්ලක්

රතු බෙල්පෙපර් ගෙඩි 1ක්

ලොකු තක්කාලි ගෙඩි 1ක්

ගම්මිරිස් මේස හැඳි 1ක්

කෑලි මිරිස් මේස හැඳි 2ක්

රෝස්මරි තේ හැඳි 1/4ක්

ගරම් මසාලා තේ හැඳි 1/2ක්

කොත්තමල්ලි කොළ ග්‍රෑම් 50ක්

ලුනු රස පදමට

සෝයා සෝස් මේස හැඳි 1ක්

 

ඩෝ එක සාදාගන්නා ක්‍රමය

මඳ රස්නෙ වතුර කෝප්ප බාගයකට, ඊස්ට්, සීනි දමා හොඳින් දිය කර ගන්න. දැන් විනාඩි පහළොවක් විතර පිපෙන්නට හරින්න. පිටි එකට ලුණු සහ මේ මිශ්‍රණය දමා හොඳින් අනාගන්න. අනාගත් පසු බටර් හෝ මාගරින් දමා හොඳින් නීඩ් කර ගන්න. මේක හොඳට නීඩ් වෙන තරමට බනිස් එක මෙළෙක් වෙනවා. හොඳට නීඩ් වුණාට පස්සේ හොඳ රෙදි කැබැල්ලකින් වසා පැත්තකින් තියන්න. අපි දැන් ෆිලිං එක හදා ගමු.

 

චිකන් ෆිලිං එක සාදා ගන්නා

ආකාරය

සෝස් පෑන් එකක් ළිප තබා එයට කැමැති තෙල් වර්ගයක් හෝ බටර් හෝ මාගරින් එක් කරන්න. එය රත් වෙද්දී, සිහින්ව කපාගත් හෝ තළාගත් සුදුලූනු සහ ඉඟුරු දමා සුවඳ එනතෙක් බැදගන්න. එයට කපාගත් චිකන් කැබැලි ටික දමා පිසගන්න. අනතුරුව කපාගත් ලූනු, බෙල්පෙපර්, තක්කාලි සහ අනෙකුත් කුළුබඩු ටික දමා හොඳින් පිසගන්න.

 

චිකන් බ්‍රෙඩ් එක සකසා ගමු

පිටි මිශ්‍රණය ගෙන දික් අතට තුනී කර ගන්න. තුනී කර ගත් මිශ්‍රණයේ මැදින් දෙපැත්තට ඉතිරි වන සේ චිකන් මිශ්‍රණය තබන්න. දැන් දෙපැත්තේ ඉතුරු කර ගත් කොටස් මත පිහියක් ආධාරයෙන් කැපුම් යොදන්න. (පටි ආකාරයට) පසුව චිකන් මිශ්‍රණය වැසෙන සේ එම පටිවලින් ගොතා ගන්න. ලස්සනට ගොතා ගත් බනිස් එක සෙල්සියස් අංශක 165ක උෂ්ණත්වය යටතේ විනාඩි විස්සක් බේක් කර ගන්න.

 

----------------------

ගාර්ලික් බ්‍රෙඩ්

 

අවශ්‍ය ද්‍රව්‍ය

පාන් පිටි මෙශරින් කප් 1ක්

මඳ රස්නෙ උණු වතුර කප් 1ක්

සීනි තේ හැඳි 1ක්

ඊස්ට් තේ හැඳි 1ක්

ලුණු තේ හැඳි 1ක්

ඔරිගානෝ (අවශ්‍යම නොවේ)

කෑලි මිරිස් තේ හැඳි 1ක්

බටර් කප් 1/4ක්

සුදුලූනු බික් 5/6ක්

කොත්තමල්ලි කොළ ටිකක්

මොසරැල්ලා චීස් ග්‍රෑම් 50ක් (අවශ්‍යම නැත)

 

සාදන ආකාරය

මඳ රස්නෙ වතුර සීනි, ඊස්ට් දමා කලවම් කර පිපෙන්නට තබන්න. පාන් පිටිවලට ලුණු, ඊස්ට් මිශ්‍රණය දමා හොඳින් අනාගන්න. අනතුරුව හොඳින් නීඩ් කර ගන්න. නීඩ් කළ පසු වියළි රෙදිකඩකින් වසා මිශ්‍රණය දෙගුණ වන තෙක් තබන්න. අනතුරුව සුදුලූනු හොඳින් බ්ලෙන්ඩ් කර බටර් ටික ද එයටම දමා ක්‍රීම් එකක් වන තෙක් හොඳින් බ්ලෙන්ඩ් කර ගන්න. දෙගුණයක් වූ පිටි මෝලිය ගෙන රොටියක් ආකාරයට තුනී කරගෙන එය මතට සාදාගත් මිශ්‍රණය, ඔරිගානෝ, කෑලි මිරිස්, කොත්තමල්ලි කොළ උඩින් ඉසගන්න. අනතුරුව සමපාත වන සේ දෙකට නමා නැවතත් උඩින් සුදුලූනු පේස්ට් එක ගා ඔරිගානෝ, කොත්තමල්ලි කොළ උඩින් ඉස පිහියේ මුවහත් නැති පැත්තෙන් කෑලි ලකුණු කරන්න. සෙල්සියස් අංශක 150ක උෂ්ණත්වය යටතේ දෙපැත්ත දමා අවන් එකේ පුලුස්සා ගන්න.

---------------

සිනමන් රෝල්

 

පාන් පිටි ග්‍රෑම් 350ක්

සීනි ග්‍රෑම් 56ක්

ලුණු රහිත බටර් ග්‍රෑම් 30ක්

බිත්තර 1ක්

යීස්ට් ග්‍රෑම් 7ක්

මඳ රස්නෙ වතුර මිලි ලීටර් 18ක්

ෆ්‍රෙෂ් මිල්ක් (මඳ රස්නෙ) මිලි ලීටර් 59ක්

ලුණු ස්වල්පයක්

 

 

දුඹුරු සීනි මිලි ලීටර් 149ක්

බටර් ග්‍රෑම් 50ක්

කුරුඳු කුඩු ග්‍රෑම් 15ක්

වැනිලා තේ හැඳි 1ක්

 

 

මඳ රස්නේ වතුර සහ කිරි එකතු කර එයට ඊස්ට් සහ සීනි දමා කලවම් කර පිපෙන්නට හරින්න. පිටිවලට ලුණු දමා පසෙකින් තබන්න. එම මිශ්‍රණය පිපුණු පසු බටර් සහ බිත්තර දමන්න හොඳින් කලවම් කර පාන් පිටි මිශ්‍රණයට කලවම් කරන්න. හොඳට අනාගන්න. විනාඩි පහළොවක් පමණ වසා තබන්න. ඉන්පසු සමතලා මතුපිටකට පිටි ස්වල්පයක් ඉස අනාගත් පිටි බෝලය ඒ මතුපිට අඟල් කාලක් පමණ වන ලෙසට තුනී කරන්න. එය උඩට බටර් ටික අතුරන්න. කුරුඳු කුඩු, දුඹුරු සීනි කලවම් කර එයට උඩින් ඉසගන්න. පසුව රෝල් කර අඟල් කාලක් පමණ පෙතිවලට වෙන් කරගන්න. කේක් තැටියකට තෙල් කඩදාසියක් දමා එය මත කපා ගත් පෙති අසුරන්න. උඩින් බටර් ගා සෙල්සියස් අංශක 160කට අවන් එක දමා විනාඩි 20ක් පුලුස්සා ගන්න. කැමැති නම් අයිසිං සීනි උඩින් ඉස කෑමට ගන්න.

--------------------

පැව්ලෝවා 

බිත්තර සුදු මද 04ක්

ලුණු තේ හැඳි 1/4ක්

පිටි කරගත් සීනි ග්‍රෑම් 250ක්

කෝන් පිටි මේස හැඳි 1ක්

සුදු විනාකිරි මේස හැඳි 1ක්

වැනිලා තේ හැඳි 1/2ක්

 

 

විපිං ක්‍රීම් මිලි ලීටර් 250ක්

ස්ට්‍රෝබෙරි ගෙඩි 2ක්

වැනිලා තේ හැඳි 1ක්

(ඕනෑම පලතුරක් කැමැති පරිදි ඇතුළත් කරගන්න.

 

 

මුලින් තරමක් ලොකු වියළි භාජනයක් ගෙන එයට බිත්තර සුදු මද හා ලුණු එකතු කර විනාඩි දෙක තුනක් සාමාන්‍ය වේගයකින් බීට් කරගන්න. පසුව එයට සීනි ටික ටික දමා හොඳින් බීට් කරගන්න. ඒ වැඩේ ඒකාකාරව කරන්න. කිසිම වෙලාවක බීට් කරන එක නවත්වන්න එපා. වැනිලා ටිකක් දමා ආපහු යාන්තමට බීට් කරගන්න. සුදු විනාකිරි ටිකක් දමා නැවත බීට් කරගන්න. එම මිශ්‍රණයට කෝන් පිටි ටිකක් ඉහගන්න. දැන් බීටර් එක අයින් කරගන්න. හැන්දක් ගෙන මිශ්‍රණය සෙමෙන් පෙරළන ගමන් කලවම් කරගන්න. මිශ්‍රණය තෙල් කඩදාසියක් දැමූ රවුම් කේක් තැටියකට දමාගන්න. ඉන් අනතුරුව කලින් සෙල්සියස් අංශක 150ට විනාඩි දහයක් පමණ රත් කරගත් අවන් එකකට දමා පැය එකයි විනාඩි පහළොවක් පුලුස්සා ගන්න. අනතුරුව හොඳින් නිමෙන්න තබාගන්න. නැවත වියළි බීටරයකින් විපිං ක්‍රීම් ටික හොඳින් ගසාගන්න. ඉන් අනතුරුව නිවුණු පැබ්ලෝවා එක ගෙන ක්‍රීම් ටික හොඳින් අතුරාගන්න. පලතුරු ටික දාගෙන කැමැති ආකාරයට සරසා ගන්න.