කෙටි කෑමක් සමඟ උණුසුම් පානයක්

ඔක්තෝබර් 31, 2022

ශීත සුළං, නොනවත්වා වහින වැස්ස, මේ හැමදේම අපේ ජීවිත කම්මැළි කරලා. ඇඳට ගුළි වෙලා නිදාගන්න ඇත්නම් කියලාමයි හිත කියන්නේ. ඒත් ඉතිං පැය 24 ම නිදාගන්න බැහැනේ. ඇහැරිලා ඉන්න වෙලාවට පැණි රසට හරි දැවිල්ලට හරි දෙයක් කාලා උණු උණුවේ මොනවා හරි බොන්න ඇත්නම් කියලා හිතෙනවා නේද? අන්න, ඒ වෙලාවට කන්න බොන්න හදාගන්න පුළුවන් කෑම හා බීම වර්ග කිහිපයක් මෙලෙස ගෙන එනවා. මේවා සුපුරුදු කෑම බීමට වඩා තරමක් වෙනස්. ඒ වගේම පෝෂණ ගුණයක් ද තිබෙනවා. මේ වැහි කාලේ වෙනසකට කැමැති නම් ඔබත් මේවා සකසා පවුලේ අයත් සමඟ රස විඳින්න.

 

 

උපදෙස් හා ඡායාරූප

ප්‍රවීණ සූපවේදිනී

තිලානි විතානගේ

 

 

කිරි ටොෆී

 

කිරි ටොෆී හදන්න කලින් අපිට ලෑස්ති කර ගන්න දේවල් ටිකක් තියෙනවා. මොකද මේක හැඳි ගාන්න පටන් ගත්තහම නොනවත්වාම හැඳි ගාන්න ඕනේ. එහෙ මෙහෙ දුවන්න බෑ.

 

මුලින්ම පැතලි ට්‍රේ එකක් හෝ ලෑල්ලක් බටර් ටිකක් ගා ලෑස්ති කර ගන්න ඕනේ (ප්ලාස්ටික් හැර)

අනිත් එක තමයි Nonstick භාජනයක්. ඒ වගේම හැඳි ගාන්න ටිකක් දිග ලී හැන්දක්.

මිශ්‍රණය පැතලි කිරීමට බටර් ගා ගත් ස්පැචුලා එකක් හෝ කෙසෙල් කොළයක්.

වතුර ටිකක් පුරවා ගත් පීරිසි කෝප්පයක්. මේ ට්ක ලෑස්ති කරගෙන තමයි අපි වැඩේට අත ගහන්න ඕනේ.

 

 

 

ටින් කිරි ටින් 1ක් (ග්‍රෑම් 390)

සීනි ටින් කිරි ටින් එකෙන් 1ක්

වැනිලා ස්වල්පයක්

පොඩිවට කපා ගත් කජු ටිකක්

තළාගත් කරදමුංගු ඇට (අවශ්‍ය නම් පමණක්)

බටර් මේස හැඳි 1ක්

 

හදන්න පටන් ගන්නකොට මේ හැමදේම ඔබේ අතේ දුරින් තියා ගන්න.

 

 

 

මුලින්ම ටින් කිරි හා සීනි Nonstick භාජනයකට දමා අඩු ගින්දරේ නොනවත්වාම හැඳි ගාන්න. අඩිය අල්ලන්න දෙන්න එපා. ටික වෙලාවකින් (විනාඩි 10කින් පමණ) මිශ්‍රණයේ බුබුළු දානවා. මේ අවස්ථාවේදී එයට බටර්, වැනිලා, කරදමුංගු හා කජු ටික එකතු කර නොනවත්වාම හැඳි ගාන්න.

එක දිගටම අඩු ගින්දරේ හැඳි ගාන කොට මිශ්‍රණය ළා දුඹුරු පාට වෙනවා. අතට පොඩි තද ගතියකුත් එනවා. (විනාඩි 20ක් විතර යනවා)

එක අවස්ථාවකදී මිශ්‍රණය තද පාට වෙලා එක ගුළියකට එනවා. ඒ වෙලාවේදී මිශ්‍රණයෙන් ටිකක් තේ හැන්දට අරන්, අර කලින් ලෑස්ති කරපු වතුර කෝප්පයට දමා අල්ලලා බලන්න අතේ ඇලෙනවා ද කියලා. හයි වෙනවා නම් පදම හරි.

පදම හරි යනකොට භාජනය වටේ ගෑවුණු ඒවා වේළෙනවා. දැන් ඉක්මනින්, පරිස්සමට මිශ්‍රණය කලින් බටර් ගා සූදානම් කර ගත් ලෑල්ලට හෝ ට්‍රේ එකට දමා ඉතා ඉක්මනින් නිවෙන්න කලින් ස්පැචුලා එකෙන් පැතලි කර ගන්න. ඒ එක්කම පිහියකින් කෑලි මාක් කර ගන්න. නිවුණාට පසු කෑලි වෙන්කර කෑමට ගන්න පුළුවනි.

**********************

කඩල පරිප්පු වඩේ

 

කඩල පරිප්පු ග්‍රෑම් 250ක්

ලියා ගත් අමුමිරිස් හා ලියාගත් කරපිංචා

කෝන් පිටි තේ හැඳි 1ක්

දෙහි ඉස්ම ටිකක්

පදමට ලුණු

අවශ්‍ය නම් කෑලි මිරිස් හා උම්බලකඩ කුඩු ටිකක්

බැදීමට තෙල්

 

 

 

මුලින්ම පරිප්පු ටික පැය 3ක් පමණ වතුර දාලා පොඟවා ගන්න. දැන් හොඳින් වතුර පෙරා ගත් පරිප්පු කොටස් දෙකකට බෙදලා එක් කොටසක් ග්‍රයින්ඩ් කරන්න (වතුර ටිකක්වත් නැතුව කරන්න වග බලා ගන්න.) දැන් ග්‍රයින්ඩ් කරපු කොටස නොකරපු කොටස එකට දමා මිශ්‍ර කරන්න. ඉතිරි සියලුම අමුද්‍රව්‍ය ඒකට එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.

විනාඩි 15ක් පමණ වඩේ මිශ්‍රණය ශීතකරණයේ තබා ගන්න. අත්ලේ වතුර ස්වල්පයක් ගා මිශ්‍රණයෙන් කුඩා බෝල‍යක් අත්ල මත තබා කැමැති හැඩයකට පැතලි කර ගන්න. ළිපේ ගින්දර අඩුවෙන් දමා ගැඹුරු තෙලේ රන්වන් පැහැ වනතුරු බැද ගන්න. හොඳින් තෙල් බේරා පොල් චට්නි එක්ක රස බලන්න. (කෝන් පිටි දැමීම අත්‍යවශ්‍ය නෑ. නමුත් කෝන් පිටි මඟින් අමුද්‍රව්‍ය එකිනෙක හොඳින් බැඳ තබා ගනිමින් වඩේ බෝල නිසි හැඩයට සකස් කර ගැනීම පහසු කරයි)

********************

 තල් හකුරු මිශ්‍ර කිරි

 

නැවුම් කිරි කෝප්පයක්

තළාගත් ඉඟුරු කැබැල්ලක්

සිහින්ව සූරාගත් තල් හකුරු ඔබේ රස අනුව

 

කිරි කෝප්පය හා ඉඟුරු භාජනයකට දමා ළිපේ තබා උතුරුවා ගන්න. උතුරන කොට තල් හකුරු එකතු කර පෙරා ගන්න. උණුසුම්ව පානය කරන්න.

****************

නිල් කටරොළු රුලං කේසරි

 

රුලං පීරිසි කෝප්ප 1ක්

නිල් කටරොළු මල් 10ක්

සීනි ඔබේ රස අනුව

අවශ්‍ය නම් කජු කැබලි ටිකක්

ෆ්‍රෙෂ් මිල්ක් පීරිසි කෝප්ප 2ක්

ගී හෝ බටර් පුරවා මේස හැඳි 1ක්

උතුරන වතුර කෝප්ප 1/2ක්

 

 

 

හදන්න පටන් ගන්න කලින් බටර් හෝ ගිතෙල් ගා ගත් ලෑල්ලක් හෝ පැතලි පිඟානක් ලෑස්ති කර පසෙකින් තබන්න.

මුලින්ම නිල් කටරොළු මල් ටික හා උතුරන වතුර ටික භාජනයකට දමා වසා තබන්න (ටික වේලාවකින් ඒ වතුර ටික නිල් පැහැ වෙනවා.) දැන් රුලං ටික වියළි භාජනයකට (Nonstick නම් හොඳයි) දමා අඩු ගින්දරේ හැන්දකින් කළවම් කරමින් විනාඩියක් පමණ කබලේ බැද ගන්න. (දුඹුරු පාට වෙන්න දෙන්න එපා.)

දැන් එයට ෆ්‍රෙෂ් මිල්ක් හා ඔබේ රස අනුව සීනි දමා අඩු ගින්දරේම හැඳි ගාන්න. එයටම බටර් හා නිල් පාට වතුර එකතු කර කැටි ගැහෙන්න නොදී නොනවත්වාම හැඳි ගාන්න. අවශ්‍ය නම් කජු කෑලි එකතු කරන්න. එක දිගටම අඩු ගින්දරේ හැඳි ගාන කොට මිශ්‍රණය ඝනකම වෙලා එක ගුළියකට එනවා. දැන් ළිප ඕෆ් කර පරිස්සමට මිශ්‍රණය කලින් බටර් ගා සූදානම් කර ගත් ලෑල්ලට හෝ පිඟානට දමා ස්පැචුලා එකකින් හෝ කෙසෙල් කොළේකින් පැතලි කර ගන්න. ඒ එක්කම බටර් ගා ගත් පිහියකින් කෑලි ලකුණු කර කපා ගන්න.

(මේ ප්‍රමාණයෙන් සාමාන්‍යයෙන් කෑලි 12ක් පමණ කපා ගන්න පුළුවන්. කෑලි ප්‍රමාණය වැඩි කර ගන්න ඕනේ නම් අමුද්‍රව්‍ය වැඩි කර සාදා ගන්න.)

 

*****************

නිල් කටරොළු මල් පානය

 

නිල් කටරොළු මල් ටිකක් හොඳට හෝදලා උණුසුම් වතුර දමා විනාඩි කිහිපයක් වසා තබන්න. එතකොට වතුර ටික නිල් පැහැයට හැරෙනවා. මල් ටික සුදු පාට වෙනවා. ඒ කියන්නේ මලේ පාට ටික වතුරට උරා ගන්නවා. ඊට පස්සේ ඒකට දෙහි යුෂ හෝ ලෙමන් යුෂ ටිකක් දාන්න. බීම එක ලස්සනට දම් පාට වෙන්නේ එතකොට. මල් ටික අයින් කරලා අයිස් කැට කිහිපයක් හා සීනි පොඩ්ඩක් දාලා බීමට ගන්න. උණුසුම්ව බොන්නත් පුළුවන්.

*****************

නිල් මානෙල් මල් රේණු පානය

 

නැවුම් නිල් මානෙල් මලකින් ගලවා ගත් රේණු

උණුසුම් වතුර කෝප්ප 2ක්

 

පිරිසුදු කරගත් නිල් මානෙල් මල් රේණු ටික උණුසුම් වතුර කෝප්ප දෙක සමඟ මිශ්‍ර කර විනාඩි 5ක් පමණ වසා තබන්න. මල් රේණු හොඳින් තැම්බුණු පසු වතුර ටික ලස්සන පැහැයක් ගන්නවා. දැන් එය පෙරා උණුසුම්ව පානය කරන්න.