හීන් බෝවිටියා වලින් මහ ගුණැති කෑම

අපි හැමෝම අලුත් කෑමක් රසවිඳින්න
නොවැම්බර් 14, 2022

 

කැමතියි. ඉතිං ගෙදර ඉඳලාම කටට රසට හදාගන්න අපූරු කෑම වට්ටෝරු පෙළක් අද ඉඳලා අපි ඔයාලට අරගෙන එනවා

 

අලංකාර දම් පැහැ මලක් පිපෙන අපේ රටේ පමණක් දක්නට ලැබෙන හීන් බෝවිටියා පැළ කිහිපයක් ඔබේ ගෙවත්තේ ද වගා කොට රස ගුණ පිරි ආහාර වේලක රසය විඳ ගනිමු

 

වස විස නැති ආහාර පාන හැකි තරම් පරිභෝජනයට ගන්න අපි උනන්දු විය යුතුයි. ඒත් වර්තමානයේ වෙළෙඳපොළ ප්‍රවණතාවන් හේතුවෙන් සියයට සියයක්ම වස විස නැති ආහාරපාන ගැනීම ලෙහෙසි වෙන්නේ නෑ. එනිසා සිරුරට දිනපතා එක්වන වසවිස සිරුරෙන් ඉවත් කිරීමට උපකාරී වන ආහාර පාන පරිභෝජනය කිරීමෙන් යම්තාක් දුරට හෝ එයින් සිදුවිය හැකි අයහපත් ප්‍රතිඵල මගහැර ගැනීමේ හැකියාවක් ලැබෙනවා.

 

අධික ලෙස වස විස අඩංගු ආහාර පරිභෝජනය නිසා රුධිරයට ඉහළ ප්‍රමාණවලින් විෂ පදාර්ථ එකතුවීමක් දක්නට ලැබෙනවා. මේ නිසා විෂ පදාර්ථ බිඳ දැමීම සිදු කරන්නේ අක්මාවයි. එවන් ප්‍රතික්‍රියාවලදී හට ගන්නා අතුරුඵල අක්මාවට හානි කිරීමෙන් අක්මාවක් නිසි පරිදි ක්‍රියා කිරීමක් සිදු වන්නේ නෑ.

 

කොහොම වුණත් රෝගී වූ සහ හානි වූ අක්මාවක් ඖෂධ සහ ආහාර මගින් නැවත ප්‍රකෘති තත්ත්වයට පත්කර ගැනීමේ හැකියාවක් තියෙනවා. හීන්බෝවිටියා කියන්නේ හානි වූ මෙන්ම රෝගී වූ අක්මාවක් නැවත ප්‍රතිසංස්කරණය කිරීමේ හැකියාව සහිත අපේ පොළොවේ පමණක් වැවෙන අපූරු ශාකයක්. අක්මාවට හිතකර ඖෂධ පැළෑටියක් වන හීන් බෝවිටියා නොදැනුවත්කම නිසා ජනතාවගෙන් ඈත්වී යන වටිනා ආහාරයකි.

 

සිරෝසිස් ආදි රෝගී තත්ත්වයන් සහිත පුද්ගලයන්ට හීන් බෝවිටියා කැඳ ලබා දෙන්නත් දේශීය වෛද්‍යවරුන් නිර්දේශ කරනු ලබනවා. දේශීය වෛද්‍ය පාලිත ශ්‍රී ගීගන ආරච්චිගේ මහතා පවසන්නේ අක්මා රෝග සඳහා හීන් බෝවිටියා කැඳ සැකසීමේදී පොල්කිරි හෝ ලුණු එක්කර නොගෙන රෝගියාට කැඳ සකසා පානයට දිය යුතු බවයි.

 

අක්මා ප්‍රදාහය, අධික මත්පැන් පානය නිසා ඇතිවන සිරෝසිස් රෝගය සහ මත් පැන් නිසා ඇති නොවන තත්ත්වයක් වන නන් ඇල්කොහොලික් සිරෝසිස් සහ ස්ථුල අක්මාව හෙවත් ෆැටී ලිවර් යන රෝග තත්ත්ව සඳහා හීන් බෝවිටියා ප්‍රත්‍යක්ෂ ඖෂධයක්. ඒවගේම සෙංගමාල රෝගීන්ටද හීන් බෝවිටියා ඉතා ගුණදායකයි.

 

අක්මා රෝග සඳහා හීන් බෝවිටියා භාවිතය ද ශ්‍රී ලාංකීය දේශීය වෛද්‍ය ක්‍රමයේ පමණක් දැක ගත හැකි දෙයක්. ඉන්දීය සම්භවයක් සහිත ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ මෙම චිකිත්සාව දැක ගත නොහැකියි. ඒ හීන් බෝවිටියා ශ්‍රී ලංකාවට පමණක් ආවේණික ශාකයක් නිසා.

හීන් බෝවිටියා කොළ සහ දල් භාවිතයෙන් සැකසිය හැකි මෙම කෑම සහ බීම වර්ග ඔබ වෙත ප්‍රථම වරට ගෙන එන්නේ තරුණී පුවත්පතෙනි.

 

 

රුව වඩවන මිල්ක් ෂේක්

හීන් බෝවිටියා මිල්ක් ෂේක් හදන්න අපිට මෙන්න

මේ දේවල් වුවමනා කරනවා

 

හීන් බෝවිටියා කොළ ග්‍රෑම් 100ක් පමණ

අයිස් ක්‍රීම් ග්‍රෑම් 100ක්

රතු සීනි තේ හැඳි 2ක්

වතුර කෝප්ප බාගයක්

 

එහෙනම් අපි බලමු කොහොමද හීන්බෝවිටියාවලින් මිල්ක් ෂේක් හදාගන්නෙ කියලා.

 

හීන් බෝවිටියා කොළ හොඳින් සෝදා බ්ලෙන්ඩරයකට දමා වතුර කෝප්ප බාගයක් පමණ එක්කරගන්න. හොඳින් කොටාගෙන යුෂ පෙරා ගන්න. බ්ලෙන්ඩරය සෝදා ගෙන එයට අයිස් ක්‍රීම්, සීනි සහ පෙරාගත් හීන් බෝවිටියා කොළ යුෂ එක්කර නැවත බ්ලෙන්ඩ් කරගන්න.

 

වීදුරුවලට වත්කර අවශ්‍ය නම් අයිස් ක්‍රීම් උඩින් දමා පිළිගන්වන්නත් පුළුවන්

 

************************

හීන්සැරේ රහට කන්න අයිස් පලම් හදාගන්න

හීන් බෝවිටියා කොළ ග්‍රෑම් 250ක් පමණ

පිරිසුදු මී පැණි රස පමණට වතුර

මුලින්ම හීන් බෝවිටියා කොළ සෝදා වතුර දමා ගෙන බ්ලෙන්ඩ් කරගන්න. සිහින් සිදුරු සහිත පෙරණයකින් පෙරා හීන් බෝවිටියා කොළ යුෂයට රස පමණට මී පැණි එක්කරගෙන හොඳින් මිශ්‍ර කරගත යුතු වෙනවා.

ඉන්පස්සෙ අයිස් පොප්ස් මෝල්ඩ් එකකට සකසා ගත් පානය දමා පැය 8ක් පමණ අධිශීතකරණයක තැබිය යුතුයි.

වෙළෙඳපොළේ ඇති රසකාරක සහ වර්ණකාරක සහිත අයිස් පොප්ස් වෙනුවට කුඩා දරුවන්ට නිවසේදීම ඖෂධීය හීන් බෝවිටියා අයිස් පොප්ස් සකසා දිය හැකි නම් සෞඛ්‍යයට එය ගොඩක් හිතකර වෙනවා.

**************************

අමුත්තන්ව පුදුම කරන කිරි අයිස් ක්‍රීම්

 

හීන් බෝවිටියා කොළ ග්‍රෑම් 200ක්

උකු පොල්කිරි කෝප්ප 2ක්

අයිසින් සීනි කෝප්ප 3/4ක්

හෙවි ක්‍රීම් කෝප්ප 1 1/2ක්

උකු කිරි මි.ලී. 200ක්

 

හීන් බෝවිටියා කොළ වංගෙඩියකට දමා කොටා ගත්තට පසු වතුර ස්වල්පයක් දමා, පිරිසුදු කපු රෙදි කැබැල්ලකට කොටා ගත් හීන් බෝවිටියා කොළ දමා යුෂ මිරිකා ගත යුතු වෙනවා. පසුව භාජනයකට හෙවි ක්‍රීම් සහ අයිසින් සීනි දමා හෑන්ඩ් බ්ලෙන්ඩර් එකකින් විපින් ක්‍රීම් එකේ ප්‍රමාණය දෙගුණයක් වී පුළුන් වගේ වන තුරු බ්ලෙන්ඩ් කරන්න. හෑන්ඩ් බ්ලෙන්ඩර් එකක් නැත්නම් අතින් වුණත් මේක කරන්න පුළුවන්.

 

මේ අතරම වෙනත් භාජනයකට උකු පොල්කිරි සහ උකු කිරි දමා හොඳින් මිශ්‍ර කරගත්තාට පස්සෙ ඒ මිශ්‍රණයටම හීන් බෝවිටියා යුෂ දමා නැවත මිශ්‍ර කර ගත යුතු වෙනවා.

 

පොල්කිරි, උකු කිරි සහ හීන් බෝවිටියා යුෂ මිශ්‍රණයෙන් බාගයක් අරගෙන බ්ලෙන්ඩ් කරපු හෙවි ක්‍රීම් සහ අයිසින් සීනි මිශ්‍රණයට එක්කර මිශ්‍ර කරන්න. පැතලි හැන්දක් භාවිතයෙන් හොඳින් මිශ්‍ර කරගන්නත් පුළුවන්. මිශ්‍ර කරගැනීම ඉතා සෙමෙන් කළ යුතුයි. එතකොට වායු බුබුළු වැඩි ප්‍රමාණයක් ඇතිවීම සිදු වෙනවා. එවිට අයිස්ක්‍රීම් එක මෘදු වේ. ඉතිරි ප්‍රමාණයත් ඒ විදියටම මිශ්‍ර කරගන්න.

 

දැන් මේ මිශ්‍රණය නොගැඹුරු භාජනයකට දමා පොලිතීන් හෝ ෆොයිල් එකකින් වසා පැය 8ක් පමණ අධිශීතකරණයේ තබාගත යුතු වෙනවා.

 

හෙවි ක්‍රීම් භාවිත කළ නිසා නිතර නිතර අයිස්ක්‍රීම් එක පිටතට ගෙන මිශ්‍ර කිරීම අවශ්‍ය වෙන්නේ නෑ.

 

අයිස් ක්‍රීම් පිළිගන්වන්න විනාඩි 5කටවත් කලින් අයිස් ක්‍රීම් එක අධිශීතකරණයෙන් පිටතට අරගෙන තබාගැනීම තමයි හොඳම ක්‍රමය.

 

************************

 වෙනම රහට බෝවිටියා කරිය

හීන් බෝවිටියා දලු ග්‍රෑම් 250ක්

මධ්‍යම ප්‍රමාණයේ

බී ලූනු ගෙඩියක්

සුදුලූනු බික් 2ක්

කරපිංචා කොළ කිහිපයක්

අමු මිරිස් කරලක්

කුරුඳු පොතු කුඩා කැබැල්ලක්

රම්පේ කැබැල්ලක්

දියකිරි

මිටිකිරි

මිරිස් කුඩු තේ හැඳි 3/4ක්

කහ කුඩු තේ හැඳි 1/4ක්

තුනපහ කුඩු තේ හැන්දක්

පොල් තෙල් මේස හැඳි 2ක්

අබ ඇට තේ හැඳි බාගයක් පමණ

ලුණු

 

දැන් බලමු අපි හීන් බෝවිටියා වෑංජනය සකස් කරගන්නේ කොහොමද කියලා.

 

හීන් බෝවිටියා අතුවලින් කොළ කඩා සෝදාගත්තාට පස්සෙ ලූනු සහ අමු මිරිස් කපා ගන්න. සුදුලූනු තළා ගන්න.

 

මැටි භාජනයකට සෝදාගත් හීන් බෝවිටියා කොළ, කපාගත් ලූනු, අමු මිරිස් එක්කරගෙන එයටම කරපිංචා, රම්පේ සුදු ලූනු සහ කුරුඳු කැබැල්ල දමා ගන්න. මිරිස් කුඩු, කහ කුඩු, තුනපහ කුඩු සහ ලුණු ද එක්කර කලවම් කරගත්තාට පස්සෙ එයටම දිය කිරි එක්කර අමුද්‍රව්‍ය හොඳින් මිශ්‍ර වන සේ හැඳි ගා ලිපේ තියන්න.

 

විනාඩි 20ක් පමණ තබා ඒ අතරතුර වෑංජනය කිහිප විටක් හැඳිගාගන්න. වෑංජනය උතුරුවාගත් පසු එයට මිටිකිරි එක්කරගෙන තවත් විනාඩි 5ක් පමණ ඉදවා ගත යුතු වෙනවා.

 

පසුව තාච්චියක් ලිප තබා රත්කර ගත්තාට පසු එයට රත් වූ පසු පොල්තෙල් එක් කරගන්න. රත් වූ පොල් තෙලට අබ එක් කරගන්න. අබ පුපුරන විට එම තෙල් මිශ්‍රණය පිසගත් හීන් බෝවිටියා වෑංජනයට එක්කර කලවම් කරගන්න.

 

හීන් බෝවිටියා වෑංජනය තරමක් ඇඹුල් රසයකින් යුක්ත නිසා දෙහි යුෂ, තක්කාලි හෝ ගොරකා එක්කර ගැනීමක් කරගත යුතු නෑ.

 

හීන් බෝවිටියා දලු සම්බෝලය හදාගන්න අපිට උවමනා වෙන්නෙ මෙන්න මේ දේවල්

 

හීන් බෝවිටියා දලු ග්‍රෑම් 100ක් පමණ

රතු ලූනු ගෙඩි 4ක්

අමු මිරිස් කරලක්

ගම්මිරිස් කුඩු තේ හැඳි කාලක්

පොල් පීරිසි කෝප්ප 2ක්

තක්කාලි බෑයක්

උම්බලකඩ කැබැලි මේස හැන්දක්

මිරිස් කුඩු හෝ අඹරාගත් මිරිස්

ලුණු

 

සම්බෝලය සඳහා සුදුසු වන්නේ හීන් බෝවිටියා දලුය.

හීන් බෝවිටියා දලු හොඳින් සෝදා ගෙන ඉන්පසු සිහින්ව ලියාගන්න.

 

රතු ලූනු, අමු මිරිස් සහ තක්කාලි ද සිහින්ව කපා ගෙන කුඩා වංගෙඩියකට කපාගත් රතු ලූනු, අමු මිරිස් සහ උම්බලකඩ කැබැලි දමා යාන්තම් කොටා ගන්න. එයටම ගම්මිරිස්, තක්කාලි, ලුණු, පොල් සහ මිරිස් කුඩු දමා කොටා ගන්න. දැන් මෙම මිශ්‍රණය භාජනයකට දමා එයට සිහින්ව ලියාගත් හීන් බෝවිටියා දලු එක්කර හොඳින් මිශ්‍ර කරගන්න.

උපදෙස් සහ ඡායාරූප
සූප පර්යේෂිකා පංචමී හේවාවිසෙන්ති
 
ඡායාරූප  -    සුලෝචන ගමගෙ