පොල් ඕනෙම නෑ කටට රසට පදමට කෑම මෙන්න

නොවැම්බර් 4, 2024

මේ දවස්වල හැමෝම වගේ පොල් ගැන කතා කරන නිසා තරුණී අපිටත් හිතුණා අද පොල් ගැන දන්න දේවල් ටිකක් ඔයාලට කියන්න. ඔන්න ඉතින් ලොකු ගාණක් දීලා ගන්න පොල් ටික මෙහෙම පාවිච්චි කරමු නාස්ති නොවී. ඒත් එක්කම පොල් නැතුව කටට රසට වෑංජන හදාගන්නත් උත්සාහයක් ගනිමු.

* ඔයා එකවර පොල් ගෙඩි කීපයක් මිලදී ගන්නවා නම් පොල් ගෙඩියේ මුඩුව පැත්ත ඉහළට සිටින සේ අහුරලා තියන්න. මුඩුව පහළ පැත්තට හරවලා තිබ්බාම ඉක්මනින් නරක් වෙනවා.

* ගෝණියක් වගේ ගනකම් දේකින් පොල් වහලා තියන්න. සමහර රස්නෙ කාලෙට පොල් පුපුරනවා. සිසිල් වියළි තැනක අසුරා තබන්න.

* පොල් ගෙඩිය හොඳයි නම් හොලවනකොට වතුර සෙලවෙන ශබ්දය ඇසෙනවා. පොල් ගෙඩිය පිරෙන්නම වගේ වතුර තියෙනවා නම් ඒවා තව පැහිලා මදි කියලා තමයි අපි අහලා තියෙන්නෙ.

* පොල් ගෙඩියේ ඇස් තුනක් තියනවානෙ. එයින් ලේසියෙන් හිල් කරන්න පුළුවන් ඇසට උඩින් තියෙන දාරේට පිහි පහර දුන්නාම ලේසියෙන් ලස්සනට පොල් ගෙඩිය බිඳෙනවා.

* සැමවිටම පොල් ගෙඩියේ ඇස් තියන පැත්තෙ පොල් බෑය මුලින් පාවිච්චි කරන්න. ඒ පැත්ත ඉක්මනින් නරක් වෙනවා.

* පොල් ලෙලි ඉවත් කරපුවා ගන්නවාට වඩා කාලයක් ලෙල්ල පිටින් ගත්තාම තියාගන්න පුළුවන්. ලෙල්ල පාවිච්චියට ගන්නත් පුළුවන්නේ.

 

බණ්ඩක්කා කඩල මිශ්‍ර කරිය

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

කඩල ග්‍රෑම් 250ක්

ළපටි බණ්ඩක්කා ග්‍රෑම් 250ක්

තක්කාලි ගෙඩි 4 - 5ක්

රම්පේ, කරපිංචා අවශ්‍ය ප්‍රමාණයට ගන්න

අමු මිරිස් කරල් 2 - 3ක්

රතුලුනූ ග්‍රෑම් 50ක් පමණ

ඉඟුරු, සුදුලුනු මේස හැඳි 2ක් (අඹරාගත්)

වියළි මිරිස් කුඩු මේස හැඳි 1ක්

කහ කුඩු තේ හැඳි 1ක්

රස අනුව ලුණු කුඩු සහ ගම්මිරිස් කුඩු

අමු තුනපහ කුඩු මේස හැඳි 1ක්

උළුහාල් තේ හැඳි 1/2ක්

කුරුඳු කැබැල්ලක් (අඟලක පමණ)

අබ ඇට මේස හැඳි 1ක්

තෙල් මේස හැඳි 3ක්

කොත්තමල්ලි කොළ මිටක්

 

සාදාගන්නා අන්දම- මුලින්ම කඩල සෝදා කහ කුඩු ස්වල්පයක් මිශ්‍රකර පැය 6 - 7ක් පෙඟෙන්න තබන්න. පසුව එම වතුරෙන්ම හොඳින් තම්බාගන්න. පැය කාලක් තැම්බෙන විට ලුණු කුඩු ටිකක් එකතුකර වතුර ඉතිරි වෙන්න තම්බාගන්න. වතුර පෙරා එම වතුර ටික පසෙකින් තබන්න. බණ්ඩක්කා සෝදාගෙන අඟල් 1/2ක කුට්ටිවලට කපා කහ කුඩු තවරා රත් වූ ගැඹුරු තෙලේ රන්වන් පාටට බැඳගන්න. තම්බාගත් කඩලවලින් මිටක් ගෙන කඩල තැම්බූ වතුර ටිකක් දමා බ්ලෙන්ඩර් කර ගන්න. බ්ලෙන්ඩර් කර ගත් පසු ක්‍රීම් එකක් ලෙස තිබිය යුතුයි. තෙල් මේස හැඳි 3 භාජනයකට දමා රත්වන්න තබන්න. රත් වූ තෙලට අබ ඇට දමා පුපුරනවිට රම්පෙ, කරපිංචා, උළුහාල්, ලියාගත් ලූනු, අමුමිරිස්, ඉඟුරු, සුදුලුනු දමන්න. එය බැඳගෙන මිරිස් කුඩු, අමුතුන පහ කුඩු, කහ කුඩු එකතුකර කඩල තැම්බූ ඉතිරි වතුර සහ කඩල ටික දමා රසට ලුණුකුඩු, ගම්මිරිස් එකතු කර විනාඩි කිහිපයක් උයාගන්න. පසුව බ්ලෙන්ඩර් කර ගත් කඩලට තක්කාලි ද මිශ්‍රණයට එකතු කරගන්න. උකු වූ පසු බැඳගත් බණ්ඩාක්කා මිශ්‍ර කර මතුපිටට කොත්තමල්ලි කොළ දමා කෑමට ගන්න.

 

රස පදමට බටු බැදුම

අවශ්‍ය ද්‍රව්‍ය

* දම්පාට වම්බටු ග්‍රෑම් 500ක් (කැමතිනම් වෙනත් වර්ගයක් ගන්න)

* බී ලූනු ග්‍රෑම් 250ක්

* ඉදුණු මාළු මිරිස් කරල් 4 - 5 ක්

හෝ ඉදුණු අමු මිරිස්

කරල් 10ක්

* රස අනුව ලුණු කුඩු, ගම්මිරිස් කුඩු

* තළාගත් ඉඟුරු සුදු ලූනු මේස හැඳි 2ක්

* සිහින්ව ලියාගත් අඟල් 2 සේර කෑල්ලක්

* තක්කාලි සෝස් මේස හැඳි 6ක්

* සෝයා සෝස් මේස හැඳි 2ක්

* වියළි කෑලිිමිරිස් මේස හැඳි 4ක් පමණ

* තල ඇට මේස හැඳි 2ක්

* සීනි මේස හැඳි 2ක්

* සියඹලා යුෂ මේස හැඳි 2ක්

* බිත්තර 1ක්

* කෝන්ෆ්ලවර් මේස හැඳි 5ක්

* ගැඹුරු තෙලේ බැදීමට තෙල්

 

සාදාගන්නා අන්දම -

සෝදාගත් වම්බටු අඟලක ඝනකමට අඟල් 1 1 /2 කුට්ටුවලට කපාගන්න. පසුව බිත්තරය බීට් කර එකතු කර කෝන්ෆ්ලවර් ද දමා හොඳින් කලවම් කර රත් වූ ගැඹුුරු තෙලේ රන්වන් පාටට බැදගන්න.

* මාළු මිරිස් කුට්ටිවලට

කපාගන්න. නැතිනම්

අමු මිරිස් දිගට පළා ගන්න.

* බී ලූනු කුට්ටිවලට කපාගන්න.

* භාජනයක් ළිපේ තබා තෙල් මේස හැඳි 4ක් පමණ දමා රත්වන විට තල ඇට, ඉඟුරු, සුදුලූනු, සේර දමා විනාඩියක් බැදගන්න. පසුව බී ලූනු දමා තක්කාලි සෝස්, සෝයා සෝස්, සියඹලා යුෂ, රස අනුව ලුණු කුඩු, ගම්මිරිස් කුඩු, වියළි මිරිස් කෑලි දමා හොඳින් මිශ්‍ර කර ගන්න.

 

* පසුව රස අනුව සීනි එකතු කර ගන්න.

* අවසානයට මාළු මිරිස් හෝ පළාගත් අමුමිරිස් එකතු කර බැදගත් බටු එකට එකතු කර ගන්න.

රසවත් බටු බැදුමකි. කහ බතක් සමඟ පිළිගන්වන්න.

 

පතෝල කරිය

අවශ්‍ය ද්‍රව්‍ය

* පතෝල ග්‍රෑම් 250ක්  (ළපටි වූ තරමට රසය වැඩිය)

* අල ග්‍රෑම් 150ක්

* මධ්‍යම ප්‍රමාණයේ අල ග්‍රෑම් 150ක්

* තක්කාලි ග්‍රෑම් 200ක්

* රම්පේ, කරපිංචා මිටක්

* අමු මිරිස් කරල් 3 - 4ක්

* රතුලුනූ ග්‍රෑම් 100ක්

* ඉඟුරු, සුදුලූනු මේස හැඳි 1ක්

* කහ කුඩු මේස හැඳි 1ක්

* වියළි මිරිස් කුඩු මේස හැඳි 1ක්

* අමු තුනපහ මේස හැඳි 1ක්

* උළුහාල් තේ හැඳි 1ක්

* කුරුඳු අඟලක කැබැල්ලක්

* රස අනුව ලුණු කුඩු, ගම්මිරිස් කුඩු

* තෙල් මේස හැඳි 3ක්

* වතුර කප් 2 - 3ක්

* අවශ්‍ය නම් උම්බලකඩ කුඩු මේස හැඳි 2 -3ක්

සාදාගන්නා අන්දම

අල ගෙඩි සෝදා පොත්ත පිටින්ම අඟල් 1/2 ඝනකමට පෙති කපාගන්න. (රෝද ආකාරයට) පතෝලවල පොත්ත ඉවත් කර ඇට ද ඉවත් කර අඟල් 1/4 ඝනකමට රෝද කපාගන්න.

 

* භාජනයක් ළිපේ තබා එයට තෙල් දමන්න. රත් වූ පසු රම්පේ, කරපිංචා ලියාගත් රතුලූනු, අමු මිරිස්, උළුහාල්, කුරුඳු, ඉඟුරු, සුදුලූනු, කුඩාවට කපාගත් තක්කාලි සහ මිරිස් කුඩු, කහ කුඩු, අමු තුනපහ කුඩු ද දමා අල ටික එකතු කර රස අනුව ලුණු කුඩු දමන්න. පසුව තැම්බීමට අවශ්‍ය ප්‍රමාණයට වතුර දමා අල කරිය උයාගන්න.

 

අල පෙති කැඩී නොයන පරිදි මෙයට පතෝල ටික ද උම්බලකඩ කුඩු ද රස අනුව ගම්මිරිස් එකතු කර විනාඩි 2 - 3ක් උයාගන්න.

 

* පතෝලවල වර්ණය වෙනස් නොවන පරිදි උයා ළිපෙන් ඉවතට ගන්න.

 

ඉතා රසවත් පතෝල කරියකි.

 

 

උපදෙස්

City Caters & Academy හි

ප්‍රවීණ සූපවේදී

සුනේත්‍රා ඒකනායක