මෙහෙම හදමු චූන් පාන්

ජනවාරි 20, 2025

පාන්, බනිස්, හොට් ඩෝග්ස්, සොසේජස් බන් මේ වගේ කෑම අප බොහෝ විට රැගෙන එන්නේ බේකරිවලින්. ඒ හැරෙන්නට ගෙදරදීම තමන්ගේ අතින් පාන් බනිස් වගේ දේවල් හදන්න පෙලඹෙන අය අඩුයි. ඒ මෙවන් කෑම වර්ග සැකසීම සඳහා දැනුමක් තිබීම අවශ්‍ය ‍ෙවනවා මෙන්ම ඒ සඳහා වැඩි කාල වේලාවක් ගත වන්නට සිදුවේ යැයි සිතීමය. එහෙත් දැන් ඉතා ඉක්මනින් සහ පහසුවෙන් මෙවන් කෑම සාදාගත හැකි ක්‍රම තිබේ. බලන්නකෝ මෙය ඔබට අලුත් අත්දැකීමක් වේවි.

 

 

බ්‍රෙඩ් රෝල්ස්

 

පාන් පිටි ග්‍රෑම් 250ක්

සීනි මේස හැඳි 1ක්

ලුණු කුඩු තේ හැඳි 1ක්

ඊස්ට් තේ හැඳි 1ක්

බිත්තර 1ක්

මාගරින් තේ හැඳි 1/2ක්

වතුර අවශ්‍ය පමණ

 

1. බඳුනකට සීනි, ලුණු කුඩු, ඊස්ට් හා බිත්තරය දමා මිශ්‍ර කරන්න.

2. පාන් පිටි හා වතුර ස්වල්පය බැගින් එකතු කරමින් අතේ ඇලෙන නොඇලෙන පදමට අනාගන්න.

3. බටර් හෝ මාගරින් දමා අනා පැය 1/2ක් පිපෙන්නට තබන්න.

4. සාදාගත් පිටි මිශ්‍රණයෙන් ග්‍රෑම් 25ක ප්‍රමාණයේ බෝල වෙන් කරන්න.

5. මේවා බටර් තවරාගත් තැටියක තබා ගන්න. නැවතත් පැය 1/2ක් පිපෙන්නට හරින්න. ඉන්පසු මෙම බෝල මත බිත්තර සාරු තවරා සෙල්සියස් අංශක 200ට රත් කරගත් උදුනක තබා විනාඩි 10-15ක කාලයක් බේක් කර ගන්න. ජෑම්, බටර්, සුප් සමඟ ආහාරයට ගත හැකියි.

-------------------

සීනි සම්බල් පාන්

පාන් පිටි ග්‍රෑම් 250ක්

සීනි මේස හැඳි 01ක්

ඊස්ට් තේ හැඳි 01ක්

ලුණු කුඩු තේ හැඳි 1/2ක්

මාගරින් මේස හැඳි 01ක්

වතුර අවශ්‍ය පමණ

සාදා ගත් සීනි සම්බල් ටිකක්

 

01. බඳුනක් ගෙන එයට සීනි, ඊස්ට්, ලුණු කුඩු, මාගරින් දමා හොඳින් මිශ්‍ර කරන්න.

02. වතුර ටිකක් දමා කලවම් කර පාන් පිටි ටික ටික දමමින් අතේ ඇලෙන නොඇලෙන ප්‍රමාණයට අනා පැය 1/2ක පමණ වේලාවක් පිපෙන්නට තබන්න. පැය 1/2කට පසු මිශ්‍රණයෙන් ග්‍රෑම් 75ක ප්‍රමාණයේ බෝල සාදා තවත් පැය 1/2ක් පිපෙන්නට තබන්න.

03. කුඩා සීනි සම්බල් තැටිගෙන ඒවායේ මාගරින් තවරන්න. සාදාගත් පිටිබෝල තුනී කර මැදට සීනි සම්බල් තබා දෙපසින් මැදට නවා නැවත එක දිගට තුන් සැරයක් නවා ගන්න.

4. ඉන්පසු තැටියට දමා පැයක් පිපෙන්නට හැර සෙල්සියස් අංශක 200ට රත් කරගත් උදුනක තබා විනාඩි 15ක් පමණ වේලාවක් බේක් කර ගන්න.

 

----------------------

මාළු පාන්

පාන් පිටි ග්‍රෑම් 500ක්

සීනි මේස හැඳි 2ක්

ඊස්ට් මේස හැඳි 1ක්

ලුණු කුඩු තේ හැඳි 1ක්

මාගරින් මේස හැඳි 2ක්

බිත්තර 1ක්

වතුර අවශ්‍ය පමණ

පිරවුම සඳහා කරියක්

 

1. සීනි, ඊස්ට්, ලුණු සහ මාගරින් එකට දමා එයට වතුර ටිකක් දමා දිය කරගන්න.

2. මෙයටම බිත්තරයක් එකතු කරන්න. මේ මිශ්‍රණයට පාන් පිටි ටික බැගින් එකතු කරමින් වතුර දමා අතේ යන්තමින් ඇලෙන තරමට අනාගන්න. පිටි ගුළිය නොසෙල්වෙන ලෙස පැය 1/2ක් පිපෙන්නට තබන්න.

3. පැය 1/2කින්් බැලූ විට පිටි ප්‍රමාණය දෙගුණයක් වී ඇති ආකාරය දක්නට ලැබෙයි. දැන් පිටි මෝලිය ගෙන එයින් ග්‍රෑම් 75ක ප්‍රමාණයට කොටස් වෙන්කර තවත් පැය 1/2ක් පිපෙන්නට තබන්න.

4. මේ ගුළි රොටියක් ලෙස හොඳින් තුනී කරන්න. ඒ මත කරියෙන් ස්වල්පයක් තබා ත්‍රිකෝණ හැඩයට නවාගන්න.

5. නවාගත් මාළු පාන්, බටර් තවරාගත් තැටියක තබා තවත් පැය 1/2ක් පිපෙන්නට හරින්න.

6. මාළු පාන් මත බිත්තර සාරු තවරා සෙල්සියස් අංශක 220ක උෂ්ණත්වයට රත් කරගත් උදුනක තබා විනාඩි 15ක් බේක් කර ගන්න.

 

----------------------

සොසේජස් රෝල්

පාන් පිටි ග්‍රෑම් 500ක්

සීනි මේස හැඳි 1ක්

ඊස්ට් මේස හැඳි 1ක්

ලුණු කුඩු තේ හැඳි 1ක්

මාගරින් මේස හැඳි 2ක්

වතුර අවශ්‍ය පමණ

බැදගත් සොසේජස් කරල් කිහිපයක්

 

 

1. සීනි, ඊස්ට්, ලුණු සහ මාගරින් එකට දමා එයට පිටි සහ වතුර ටික බැගින් දමමින් යන්තම් අතේ නොඇලෙන ප්‍රමාණයට අනාගන්න.

2. මෙම පිටි මිශ්‍රණය පැය 1/2ක කාලයක් පිපෙන්නට තබන්න. අනතුරුව පිටි මෝලිය ග්‍රෑම් 100 බැගින් කොටස් කීපයකට වෙන් කර ගන්න.

3. ඒවා පටි ආකාරයට දිගට තුනී කරන්න. මේ පටියේ එක් කොනකට බැදගත් සොසේජස් කරල් දමා එය එක් පසෙක සිට රවුමට ඔතාගෙන එන්න.

4. අවසානය දක්වා ඔතා අවසාන කොන යටට තිබෙන ආකාරයට තබන්න.

5. මේ සොසේජස් බන් බටර් තවරාගත් තැටියක් මත පැය 1/2ක් තිබෙන්නට හරින්න.

6. සෙල්සියස් අංශක 220 උෂ්ණත්වයකට රත් කරගත් උදුනක තබා විනාඩි 15ක් බේක් කර ගන්න.

 

උපදෙස්:- ප්‍රවීණ සූපවේදී සුජිත් ඕපාත ආරච්චි
 

[email protected]