අඹ ගෙඩියෙන් මිහිරි රසට හරි අපූරු අමුතු කෑම

මැයි 27, 2024

 

ගෙදර අඹ ගහක් දෙකක් තියෙනවා කියන්නේ මේ දවස් වල අඹවලින් නම් අඩුවක් නැතුව ඇති. ඒ නිසාම බැලූ බැලූ තැන ඉතාම අඩු මුදලකට අඹ මිලට ගන්නත් අවස්ථාව ලැබෙනවා. පදික වේදිකාවේ ලෑලි තට්ටුවල පමණක් නොව සුපර් මාකට්වල ද අඹවල මිල ගණන් පහළ ගිහින්. ඉතින් ගණන් අඩු අඹවලින් රසම රස කෑම ටිකක් හදාගන්න හොඳම කාලයක් තමයි මේක. හැබැයි ඉතින් හැමදාම එකම විදිහට අඹ කන්න ඕනේ කියලා නීතියක් නෑනේ. ඒ නිසා අඹවලින් වෙනස් වෙනස් කෑම ටිකක් මේ විදිහට හදලා බලමු. ගෙදර හදනවා කියන්නේ සෞඛ්‍යාරක්ෂිතබව ගැන බය වෙන්න දේකුත් නෑනේ. එහෙනම් මේ විදිහට හදලා බලමු.

 

පවුලේ සැමට මැංගෝ කේක්

ගස්යට ඉඳිලා වැටෙන අඹ ගෙඩියකින් රසම රස කේක් එකක් මෙහෙම හදමු. මේ සඳහා හොඳින් ඉදුණු අඹ ගෙඩි 1ක්, සීනි කෝප්ප 1ක්, පාන්පිටි කෝප්ප 1ක්, කිරි කෝප්ප 3/4ක්, බටර් මේස හැඳි 5ක්, බේකිං පවුඩර් තේ හැඳි 1 1/2ක්, වැනිලා ස්වල්පයක් සහ ලුණු ස්වල්පයක් අවශ්‍ය වේ.

 

 මුලින්ම අඹ ගෙඩිය පොඩි කෑලිවලට කපාගෙන බ්ලෙන්ඩ්කර ගන්න. ඉන්පසු භාජනයක් ළිප තියා මේ බ්ලෙන්ඩ්කර ගත් අඹ, සීනි කෝප්ප 1/2ක් හා ලුණු ටිකක් දාලා සීනි දියවෙනකල් හැඳිගාන්න. සීනි ටික දිය වී අඹ ටික ඝන මිශ්‍රණයක් වූ පසු ළිප නිවන්න.

ඉතිරි සීනි හා බටර් එකතු කරලා බීට්කර ගන්න. හොඳට බීට් වුණාම වැනිලා, කිරි දාලා බීට්කර ගන්න.

 

පිටිවලට බේකිං පවුඩර් දාලා දෙපාරක් හලාගන්න. මෙය සීනි හා බටර් මිශ්‍රණයට එකතු කරලා මුලින්ම හදාගත්තු අඹ මිශ්‍රණයෙන් තේ හැඳි 5ක් වගේ දාලා කලවම්කර ගන්න.

ඉන්පසු බටර් ගාගත් ට්‍රේ එකකට මිශ්‍රණය දාලා විනාඩි 40ක් සෙල්සියස් අංශක 180ට බේක්කර ගන්න.

 

කේක් එක බේක් වුණාම නිවෙන්න තියලා හදාගත් ටොපින් එක උඩින් දාගන්න. කැමති නම් අඹ කෑලිත් කපලා සරසාගන්න.

 

රස වෑහෙන අඹ ජෑම්

කල්තියාගෙන රස බලන්න පුළුවන් අඹ ජෑම් එකක් ගෙදරදීම හදනවා කියන්නේ පොඩ්ඩන්ටත් බය නැතුව දෙන්න පුළුවන්.

ඉතින් මේ රසම රස ජෑම් එක හදන්න හොඳට ඉදුණු අඹ ගෙඩි 4ක්, සීනි ග්‍රෑම් 200ක් සහ දෙහි යුෂ ස්වල්පයක් අවශ්‍ය වේ.

මුලින්ම පොතු අයින් කරලා අඹ ටික කපාගෙන වතුර චුට්ටක් දාලා බ්ලෙන්ඩ්කර ගන්න. ඉන්පසු භාජනයකට මේ ටික දාලා සීනි එකතු කරලා ළිපේ තියලා හැඳිගාන්න. වතුර ගතිය ඉවත් වෙලා උකු වෙනකොට දෙහි යුෂ ටික දාගන්න. දිගටම හැඳි ගාන්න. අඩිය අල්ලන්න නොදී හැඳිගාන එකයි වෙන්න ඕනේ. නැත්තම් ජෑම් එකේ පාට වෙනස් වෙන්න බලනවා. නූල් ඇදෙන පදමට ආවම ළිපෙන් බාගන්න. උණුවෙන්ම ජීවාණුහරණය කරපු බෝතලේකට දාගන්න.

 

පොඩ්ඩන්ට රස ගේන අඹ අයිස්ක්‍රීම්

මෙතෙක් කල් වෙළෙඳසැල්වලින් මිලදී ගෙන රසබලපු අඹ අයිස්ක්‍රීම් දැන් අඩු වියදමකින් හදලා මේ විදිහට රස බලන්න පුළුවන්.

 මේ සඳහා හොඳට ඉදුණු අඹ ගෙඩි 2ක්, ජෙලටින් තේ හැඳි 4ක්, කිරි කෝප්ප 1/2ක්, අයිසිං සීනි කෝප්ප 1/2ක්, වැනිලා ස්වල්පයක්, ලුණු සහ ෆ්‍රෙෂ් ක්‍රීම් කෝප්ප 1ක් අවශ්‍යයි.

 අඹ ටික පොඩි කෑලි වලට කපලා බ්ලෙන්ඩ්කර ගන්න. දැන් ජෙලටින් තේ හැඳි 2ක් වතුර තේ හැඳි 2ක් එක්ක ඩබල් බොයිල් කරලා අඹ මිශ්‍රණයට දාලා කලවම්කර ගන්න. ඩෙසර්ට් ග්ලාස් කිහිපයක් ඇලේට වෙන්න සෙට් කරගෙන මේ අඹ පල්ප් එක දාගන්න. පැය 2ක් ෆ්‍රිජ් එකේ සෙට් වෙන්න තියන්න.

ඒ අතරේ කිරි මිශ්‍රණය හදන්න. කිරි ටික භාජනයකට දාලා රත් කරන ගමන් ජෙලටින් තේ හැඳි 2ක් දාලා කලවම්කර ගන්න.

 

වැනිලා ටිකක් දාගන්න. ලුණු ටිකකුත් දාලා කලවම් කරන ගමන් අයිසිං සීනි ටික එකතුකර ගන්න. අන්තිමට ෆ්‍රෙෂ් ක්‍රීම් ටික දාලා කලවම් කරලා ළිපෙන් බාගන්න. දැන් ශීතකරණයේ දාපු ඩෙසර්ට් ග්ලාස් කෙළින් කරලා කිරි මිශ්‍රණය දමා ශීතකරණයේ සෙට් වෙන්න තියලා කෑමට ගන්න.

 

බත්පතට රස ගේන අඹ චට්නි

මේ අඹ චට්නි එක හදන්න හොඳට පැහුණු අඹගෙඩි 2ක්, සීනි කෝප්ප 1 1/2ක්, විනාකිරි කෝප්ප 1ක්, තළාගත් ඉඟුරු සුදුලූනු ස්වල්පයක්, කරාබුනැටි 2ක්, කරදමුංගු ඇට 2ක්, කුරුඳු පොතු පොඩි කෑල්ලක්, මිරිස්කුඩු තේ හැඳි 2ක්, මුද්දරප්පලම් ස්වල්පයක් සහ ලුණු ස්වල්පයක් අවශ්‍යයි.

 

 මුලින්ම අඹ ටික පොතු ඇරලා පොඩි කෑලිවලට කපාගන්න. ඉන්පසු කරදමුංගු, කරාබුනැටි, කුරුඳු පොතු, ඉඟුරු, සුදුලූනු, මිරිස්කුඩු හා මුද්දරප්පලම් සියල්ලම විනාකිරි කෝප්ප 1/2ක් දාලා බ්ලෙන්ඩ්කර ගන්න.

 

ඉතිරි විනාකිරිවලට සීනි ටික දාලා ළිපේ තියන්න. සීනි දියවුණාම අඹ ටික දාලා හැඳිගාන ගමන් අඹරාගත් කුළුබඩු ටික එකතු කරන්න. උකු වෙනකල් හැඳිගාලා ළිපෙන් බාගන්න.

 

 

තිබහ නිවන මැංගෝ ස්මූති

රසම රස අඹ ස්මූති හදන්න අඹ ගෙඩි 3ක්, අඩු මේද කිරි කෝප්ප 1/2ක්, කරදමුංගු කුඩු තේ හැඳි 1/2ක්, සීනි හෝ මී පැණි ස්වල්පයක් සහ අයිස් කැට අවශ්‍ය වෙනවා.

 

අඹ පිරිසුදුකර පොතු හැර කැබලිවලට කපා හොඳින් ක්‍රීම් බවට පත්වන තෙක් බ්ලෙන්ඩ්කර ගන්න. එයට කරදමුංගු, කිරි සහ  මී පැණි ද එක් කොට මිශ්‍රකර ගන්න. අඩුම තරමින් පැය 4ක් වත් ශීතකරණයේ තබා පිළිගන්වන්න.

 

සෑමවිටම භාවිත කිරීමට පෙර පැයක් පමණවත් ජලය තුළ අඹ පොඟවා ගැනීමෙන් අඹවල ඇති තාපය තුරන් කිරීමට උපකාරී වේ. අඹවල රසය අනුව යෙදිය යුතු සීනි ප්‍රමාණය තීරණය කරන්න. ඔබ කැමති අන්දමට යොදන කිරි ප්‍රමාණය හා වර්ගය වෙනස්කර ගන්න. කරදමුංගු භාවිත කිරීම අනිවාර්ය නොවේ. ඔබ කැමති නම් පිළිගැන්වීමට පෙර කැපූ ආමන්ඩ් සහ පිස්ටාචියෝ ද එක් කළ හැකිය.

 

 

කල් තියන් කන්න අඹ මෝජු

අඹ චට්නි, එහෙමත් නැත්නම් අඹ වෑංජන නම් ඔබ ඕනෑ තරම් රස බලා ඇති. ඒත් ඔබ නිකමටවත් හිතන්නට නැතුව ඇති අඹ මෝජු කියලා කෑමක් ගැන.

 

ඔන්න අද අපි කියන්න යන්නේ අඹ මෝජුවක් හදා ගන්න විදිහ ගැනයි. ඒ සඳහා අවශ්‍ය කරන්නේ පැසුණු අඹ ගෙඩි 3 ක්, උම්බලකඩ කැබැලි ග්‍රෑම් 50 ක්, කෑලි මිරිස් මේස හැඳි 1 ක්, අඹරා ගත් ඉඟුරු තේ හැඳි 1 ක්, අඹරා ගත් සුදු ලූනු මේස හැඳි 1ක්, විනාකිරි මේස හැඳි 2-3 ක්, සීනි මේස හැඳි 1ක්, ලොකු ලූනු ගෙඩි 3 ක්, අමු මිරිස් කරල් 6ක්, බැද ගැනීමට තෙල් සහ රස අනුව ලුණු. 

මුලින්ම අඹ ගෙඩියේ ‍පොත්ත පිටින්ම තීරු කපා ගන්න. ලූනු සිහින්ව ලියා ගන්න. අමු මිරිස්ද දෙකට පළාගන්න. දැන් අඹ කැබලි, ලූනු, අමු මිරිස්, උම්බලකඩ වෙන වෙනම රත්වූ ගැඹුරු තෙ‍ලේ බැදගන්න. තෙල් බේරෙන්නට තබන්න. දැන් මැටි ඇතිලියක් ගෙන එයට තෙල් ටිකක් දමා ළිප තබන්න.

තෙල් ටික රත්වන විට ඉඟුරු, සුදුලූනු දමන්න. කෑලි මිරිස්, ලුණු, සීනි දමන්න. විනාකිරිද දමන්න. දැන් බැදගත් සියල්ල එක්කර කලවම්කර ගන්න.

 

උපදෙස්

සූපවේදී සුජිත් ආරියරත්න