පාන්වලින් වැඩ කෝටියයි

තේ වෙලාවට ගැළපෙනම කෙටි කෑම
ජුනි 17, 2024

පාන් කියන්නෙ ලංකාවෙ අයට නම් උදේ වේලයි රෑ වේලයි දෙකම ශේප් කරගන්න පුළුවන් කෑමක් කියලයි කියන්නේ. හැබැයි තුන් වේලම පාන්ම කන පාන් බට්ටොත් නැතුවම නෙවෙයි. හැමදාම එකම විදියට කන පාන් වෙනස් රසකට වෙනස් විදිහකට හදාගන්න පුළුවන් රෙසිපි ටිකක් ගැන තමයි මේ කියන්න හදන්නෙ. කටට රසට කන්න ඕනෙ නම් කම්මැලිකම පැත්තකින් තියලා මෙහෙම හදලම බලන්නකො. මීට කලින් කාලත් නැති, අහළිත් නැති පාන් රෙසිපි ටිකක් තමයි අද අරගෙන ඇවිල්ලා තියෙන්නේ.

 

කොත්තු

කොත්තු කිව්වාම එක එක ජාතියේ කොත්තු තියෙනවනේ. අද හදන්න යන්නේ පාන්වලින් කොත්තුවක්. මේ කොත්තුව හදන්න පාන් පෙති 6ක්, කපාගත් කැරට් මේස හැඳි 3ක්, ලීක්ස් මේස හැඳි 3ක්, පොඩියට කපාගත් ලූනු ගෙඩි භාගයක්, පිසගත් චිකන් කැබලි දෙක තුනක් කරිය සමඟ, බිත්තරයක්, කෑලි මිරිස් රස අනුව, තළාගත් ඉඟුරු, සුදුලූනු තේ හැඳි 1/2ක්, රම්පෙ, කරපිංචා සහ ෆ්‍රෙෂ් මිල්ක් මේස හැඳි 3ක් අවශ්‍යයි.

පාන් ටික පොඩි කොටු කපලා පැත්තකින් තියාගන්න. තෙල් ටිකක් රත් වෙන්න තියලා ඒකට ලූනු, සුදු ලූනු, රම්පෙ, කරපිංචා දාලා තෙම්පරාදුකර ගන්න. ලුණු ඉතාම ස්වල්පයක් එක්ක රස අනුව කෑලි මිරිස් එකතු කරගෙන, එකට කැරට් එකතුකර ගන්න.

බිත්තරය කඩා එකතු කරගෙන ඉක්මනින් මිශ්‍ර කරගෙන ස්ක්‍රැම්බල්කර ගන්න. එයට ලීක්ස් සහ චිකන් හොදි සමඟ කැබලි එක් කර මිශ්‍රකර ගන්න.

අවසානයට කුඩාවට කපාගත් පාන් එක්කර මිශ්‍රකර ගන්න. එයට උඩින් ෆ්‍රෙෂ් මිල්ක් එක්කර මඳ වේලාවක් පිස ගෙන ළිපෙන් ඉවත්කර ගන්න.

 

 

සමෝසා

පොඩ්ඩන් ඉතා ප්‍රිය කරන මේ සමෝසා එක හදන්න අවශ්‍ය පමණ පාන් පෙති, තම්බා තරමක කෑලි හිටින්න පොඩි කරගත් අල ගෙඩි 2ක්, තම්බාගත් ග්‍රීන් පීස් කප් 1/4ක්, කජු මද 10ක්, සිහින්ව ලියාගත් ලූනූ මේස හැඳි 2ක්, වියළි මිදි මේස හැන්දක්, සූදුරු තේ හැඳි 1/4ක්, අබ තේ හැඳි 1/4ක්, රස අනුව ලුණු සහ ගරම් මසාලා තේ හැඳි 1/2ක් අවශ්‍යයි.

මුලින්ම තෙල් ටිකක් රත් වෙන්න තියලා ඒකට අබ ටික එකතු කරන් අබ පුපුරන කොට සූදුරු සහ ලූනූ එකතුකරගන්න. ලූනු රන්වන් පැහැ වන විටම ග්‍රීන්පීස්, වියළි මිදි, ලුණු, කජු සහ ගරම් මසාලා එක් කරගෙන විනාඩියක් පමණ තෙම්පරාදුකර ගන්න. අවසානයට අල එක්කර මිශ්‍රකර ගන්න.

පාන් පෙතිවල වාටි කපා ඉවත්කර රෝලින් පින් එකකින් පාන් පෙති තළාගන්න. සමෝසා මිශ්‍රණය මැදට තබා ත්‍රිකෝණාකාරව ඔතාගෙන, වතුරෙන් හෝ බිත්තර සාරුවලින් කොන් අලවාගෙන, ගැඹුරු තෙලේ රන්වන් පාට වනතෙක් බැදගන්න.

 

 

මීට් බෝල්ස්

බ්‍රෙඩ් මීට් බෝල්ස් සැකසීම සඳහා පාන් පෙති 8ක්, අඹරගත්ත කටු රහිත කුකුළු මස්, කිරි, බිත්තර, ලුණු, ගම්මිරිස්, අබ කුඩු, සිහින්ව ලියාගත් ලූනූ සහ කෝන් පිටි අවශ්‍යයි.

 පාන් පෙති ටික කිරිවල විනාඩියක් පොඟව ගන්න. වැඩිපුර කිරි ටික පාන්වලින් මිරිකල ඉවත්කර ගන්න. මේකට බිත්තර, ලුණු, ගම්මිරිස්, අබ කුඩු, සිහින්ව ලියාගත් ලූනු එකතු කරගෙන මිශ්‍රකර ගන්න.

මෙයටම අඹරගත් කුකුළු මස් එකතු කරගෙන හොඳින් මිශ්‍ර කරගෙන කුඩා බෝල සාදාගන්න. සාදාගත් බෝල කෝන් පිටිවල දවටා බිත්තර සාරුවල දමා නැවත කෝන් පිටි තවරා ගැඹුරු තෙලේ බැදගන්න.

 

ස්විස් රෝල්ස්

මේ රස ස්විස් රෝල් එක හදා ගන්න පාන් පෙති තුනක්, බටර්, ජෑම් හෝ නියුටෙලා අවශ්‍යයි.

මුලින්ම පාන් පෙතිවල වාටි කපා ඉවත්කර ගන්න. රෝලින් පින් එකකින් හෝ වීදුරු බෝතලයකින් පාන් පෙති තරමක් තළාගන්න.

පාන් පෙති දෙකක එක පැත්තක විතරක් බටර් ගා ගන්න. ඉතිරි පාන් පෙත්තේ දෙපැත්තේම ජෑම් හෝ නියුටෙලා ගා ගන්න. බටර් තැවරූ පාන් පෙත්තක් මත ජෑම් තැවරූ පාන් පෙත්ත තබා, ඉතිරි බටර් තැවරූ පාන් පෙත්තේ බටර් රහිත පැත්ත ජෑම් මත සිටින සේ තබාගන්න.

ලන්ච් ෂීට් එකක් මත තබා අතින් තද කරමින් රෝල් කරගෙන ලන්ච් ෂීට් එකෙන්ම ඔතා ශීතකරණයේ පැය භාගයක් තබා පෙති කපාගන්න.

 

 

වඩේ

උණු උණු ප්ලේන් ටී එකක් සමඟ කදිමෙට ගැළපෙන මේ පාන් වඩේ එක හදන්න පාන් පෙති 6ක්, රුලං කප් 1/4ක්, හාල් පිටි කප් 1/2ක්, මීකිරි හෝ යෝගට් කප් 3/4ක්, සූදුරු තේ හැඳි 1/2ක්, සිහින්ව ලියාගත් ලූනූ ගෙඩි භාගයක්, හීනියට කපාගත් කරපිංචා ටිකක්, සිහින්ව ලියාගත් අමු මිරිස් සහ රස අනුව ලුණු අවශ්‍යයි.

පාන් ඉතාම කුඩා කෑලිවලට කඩාගන්න. එයට අනෙක් ද්‍රව්‍ය සියල්ලම එකතුකර හොඳින් මිශ්‍ර කරගෙන සොෆ්ට් ඩෝ එකක් අනාගන්න. ඩෝ එක වියළි වැඩියි නම් තව මීකිරි හැන්දක් දෙකක් එක්කර ගන්න. විනාඩි 30ක් වසා තබන්න.

මිශ්‍රණයෙන් පොඩි ප්‍රමාණයක් අතට ගෙන උළුඳු වඩේ හැඩයට සාදා ගැඹුරු තෙලේ අඩු ගින්දරේ රන්වන් පාට වන තුරු බැදගන්න.

 

 තෝසෙ

හැමදාම හදන තෝසෙ එකට මේ විදිහට වෙනසක් එකතු කරලා බලමු. ඒ සඳහා පාන් පෙති 10ක්, රුලං කප් 1/2ක්, හාල් පිටි තේ හැඳි 2ක්, මීකිරි කප් 1/2ක් සහ රස අනුව ලුණු අවශ්‍යයි.

පාන් පෙතිවල වාටි ඉවත් කරගෙන මැද කොටස බ්ලෙන්ඩරයට දමා අඹරාගන්න. එයට ඉතිරි ද්‍රව්‍ය සියල්ලම එක්කර බ්ලෙන්ඩ්කර ගන්න. තෝසේ පදමට දියාරු මදි නම් අවශ්‍ය පමණ මීකිරි එකතුකර ගන්න.

කැමති නම් ලූනු, කරපිංචා සහ අබ තෙම්පරාදුවක් එක්කර සාමාන්‍ය පරිදි තෝසේ සාදාගන්න.

 

උපදෙස්

සූපවේදී

සුජිත් ආරියරත්න