රාත්‍රියට ගැළපෙනම සිම්පල් කෑම

ජුනි 24, 2024

දැන් දැන් රටේ ලෝකේ උදවියට ලෙඩ වැඩී. උදේ ඉඳන් හෙට්ටු වෙලා හරියට බඩට දෙයක්වත් දාගන්න වෙලාවක් නැහැ. ඒ නිසාම ගොඩක් දෙනෙක් කඩෙන් ආහාර ගන්න පුරුදු වෙලා ඉන්නවා. රසකාරක අරවා මේවා මේ නිසා කැවෙනවා.

තෙල් කෑම කාලා පරම්පරා ගාණකට යනකම් කොලෙස්ටරෝල් වගේ ලෙඩ හදාගන්නවා. එහෙම අයටයි එහෙම නොවන අයටයි සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට රාත්‍රී ආහාර වේල සැහැල්ලුවෙන් කන්න පුළුවන් නම් සෑහෙන වටිනවා. කතාවකුත් තියෙන්නේ “උදේට රජෙක් වගේ කන්න, දවල්ට කුමාරයෙක් වගේ කන්න, රෑට දුප්පතෙක් වගේ කන්න” කියලා. රෑට හැකිතරම් සැහැල්ලු ආහාරයි ගන්න ඕනි. ඇඟටත් දරාගන්න බැරි තරම් කෑම ගොඩවල් දාගෙන මතේට නිදියගන්නේ නැතුව මේ කෑම කාලා සුව නින්දක් ලබන්නත් පුළුවන්. සැමියා, බිරිය, දූදරුවන් මේ හැමෝම බොහෝවිට එකට එකතුවෙන්නේ රාත්‍රී කෑම මේසයේ දී. ඒ නිසා රාත්‍රියට ගැළපෙන විදිහට රසවත් අහාර වට්ටෝරු කිහිපයක් තරුණී වෙතින් තිළිණ කරන්න හිතුවා. මේ ආහාර වට්ටෝරු සකසා ඔබත් රස බලන්න.

 

චීස් ස්පැගටි

මේ සඳහා බටර් ග්‍රෑම් 50ක්, නැවුම් කිරි අඬු කෝප්ප 2ක්, පාන් පිටි ග්‍රෑම් 100ක්, ලුණු, ගම්මිරිස් අවශ්‍ය පමණට, මොසරැල්ලා චීස් අවශ්‍ය පමණට සහ තම්බාගත් ස්පැගටි අවශ්‍ය වේ.

පළමුව පෑන් එකක් ලිප තබා රත් වූ පසු එයට බටර් එක්කර පසුව නැවුම් කිරි, පාන් පිටි දමා මද වේලාවක් හොඳින් හැඳිගාමින් පිසගන්න.

පසුව එයටම ලුණු, ගම්මිරිස් සහ ගාගත් චීස් එක්කර තම්බාගත් ස්පැගටි දමා කලවම් කර ලිපෙන් බා පිළිගන්වන්න.

මෂ්රූම් පැස්ටා

 

ඔලිව් තෙල් තේ හැඳි 3ක්, කපා ගත් බිම්මල් ග්‍රෑම් 50ක්, පැස්ටා, ගෝවා මල් ග්‍රෑම් 50ක්, ලුණු ස්වල්පයක්, ගම්මිරිස්, බටර් ග්‍රෑම් 25ක්, කිරි මිලි ලීටර් 250ක්, සිහින්ව ලියා ගත් ලූනු ගෙඩියක්, ඔරිගානෝ තේ හැන්දක්, පිටි ස්වල්පයක්, වයිට් සෝස් මේ මෂ්රූම් පැස්ටා එක සඳහා අවශ්‍යයි.

මුලින්ම පැස්ටා තම්බා ගන්න. ඉන්පසු බටර්, ලුණු, මල් ගෝවා, ලූනු, කරාබුනැටි, බිම්මල් සහ කිරි මිශ්‍රකර ගන්න. එයට පිටි ද එකතු කරන්න. පේස්ට් එකක් සේ සකසන්න. ඔරිගානෝ සහ ගම්මිරිස් එක් කරන්න. ළිප තබා විනාඩි දෙකක් පිස ගන්න. ඉන්පසු පැස්ටා එකතුකර කලවම් කරන්න.

 

තම්බාගත් එළවළු සහ ටැමරින්ඩ් සෝස් සමඟ බැදගත් මාළු

ඔබ තම්බා ආහාරයට ගන්නට කැමති ඕනෑම එළවළු වර්ග කීපයක් සහ තෝර මාළු පෙති කීපයක් අවශ්‍යයි.

ටැමරින්ඩ් සෝස් එක සඳහා තළාගත් ඉඟුරු තේ හැඳි 1/2ක්, තළාගත් සුදුලූනු තේ හැඳි 1ක්, චොප් කරගත් අමු මිරිස් කරලක්, චොප් කරගත් බෙල්පෙපර් මේස හැඳි 2ක්, සියඹලා ඉස්ම කප් 1/4ක්, ලුණු, ගම්මිරිස්, සීනි තේ හැඳි 2ත් මේ සඳහා අවශ්‍යයි.

මුලින්ම ටැමරින්ඩ් සෝස් එක හදමු. ඒ සඳහා බඳුනකට තෙල් ස්වල්පයක් දමා ඉඟුරු, සුදුලූනු සහ අමු මිරිස් දමා බැදගන්න. ස්වල්ප වේලාවකින් එයටම චොප් කරගත් බෙල්පෙපර් එක් කරන්න. විනාඩි දෙකක් පමණ තෙම්පරාදු කරගෙන සියඹලා ඉස්ම එක් කරන්න. මඳ වේලාවකින් සීනි, ලුණු සහ ගම්මිරිස් එක් කරන්න. මිශ්‍රණය උකුවන බව දැනෙන විට ළිපෙන් බා ගන්න.

අර්තාපල්, ගෝවා, බෝංචි සහ කැරට් වැනි ඔබ ප්‍රිය එළවළුවක් ලොකු කැබලි කපා ස්ටීම්කර ගන්න. ගම්මිරිස් කුඩු සහ ලුණු ඉසගන්න.

තෝර මාළු පෙති ලුණු ගම්මිරිස් ස්වල්පයක් ඉස තෙල් ස්වල්පයක් දමා පෑන් එකේ බැදගන්න. ඒ මත ටැමරින් සෝස් දමා ආහාරයට ගන්න.

 

 ඕට්ස් කොත්තු

 

ඕස්ට් කියන්නේ පෝෂණයෙන් ඉහළ වුණාට රසයෙන් ඉහළ ආහාරයක් නෙවෙයි. ඒ නිසා ඔබට පුළුවන් රස වැඩිකර ගන්න ඕට්ස් එකතු කරගෙන වෙනස් වෙනස් අාහාර සකසන්න. ඕස්ට් කොත්තු කියන්නේ ඒ වගේම රසයෙන් සහ ගුණයෙන් පිරුණු ආහාරයක්.

හුමාලයෙන් තම්බාගත් ඕට්ස් කප් 1ක්, චිකන් කරි සහ කැබලි, කැරට්, ලීක්ස්, සුදුලූනූ, ලූනූ, රස අනුව ලුණු, ගම්මිරිස් සහ බිත්තරයක් අවශ්‍යයි.

තෙල් ටිකක් රත් වෙන්න තියාගෙන ඒකට එළවළු සහ ලූනූ, සුදුලූනූ එකතුකර තෙම්පරාදුකර ගන්න.

එයට බිත්තරය එකතුකර ස්ක්‍රැම්බල් කරගෙන චිකන් කැබලි එක්කර ගන්න.

ලුණු සහ ගම්මිරිස් සමඟම ස්ටීම් කරගත් ඕට්ස් එකතු කරගෙන කැමැත්ත පරිදි හොදි එක්කර මිශ්‍රකර ගන්න.

 

එළකිරි මිශ්‍ර එළවළු සුප්

 

 

එක එක විදිහේ එළවළු සුප් අතරේ අද ගෙනාවේ රසයෙන් ගුණයෙන් පිරුණු වෙනස්ම එළවළු සුප් එකක්.

 

මේ රසවත් එළවළු සුප් එක හදන්න අර්තාපල්, කැරට්, ගෝවා, බඩඉරිඟු ඇට, ලූනූ, පරිප්පු, නැවුම් එළකිරි මේස හැඳි දෙකක් පමණ, ලුණු සහ ගම්මිරිස් අවශ්‍යයි.

එළවළු හෝදලා කොටු හැඩේට කපාගන්න. භාජනේකට මාගරින් ස්වල්පයක් දාලා ඒකට ලූනු, අර්තාපල්, කැරට්, බඩඉරිඟු සහ පරිප්පු එකතු කරගෙන තෙම්පරාදුකර ගන්න. ඒකට වතුර එක් කරන්න. එළවළු ටික තැම්බීගෙන එනකොට ගෝවා, එළකිරි, ලුණු, ගම්මිරිස් කියන ඒවා එකතුකර ගන්න. හොඳින් එළවළු තැම්බුණාට පස්සේ ආහාරයට ගන්න.

 

නූඩ්ල්ස් ඔම්ලට්

තම්බපු නූඩ්ල්ස් කප් 2ක්, බිත්තර දෙකක්, අමු මිරිස්, ලීක්ස්, ලූනු, මිරිස් කුඩු, කහ කුඩු, ලුණු මේ සඳහා අවශ්‍යයි.

බිත්තර දෙක අරගෙන බීට්කර ගන්න. ඒකට ලුණු, මිරිස් කුඩු, කහකුඩු, කපාගත් අමු මිරිස්, ලූනූ සහ ලීක්ස් එක්කර ගන්න.

බටර් දාපු පෑන් එකකට බිත්තර මිශ්‍රණයෙන් භාගයක් දාන්න. ඒකට උඩින් තම්බාගත් නූඩ්ල්ස් ටික අතුරලා ඒ උඩින් ආයෙත් බිත්තර මිශ්‍රණය වත්කරන්න. පියනකින් වසා අඩු ගින්දරේ පිසගන්න.

 

ක්‍රීම් පොටේටෝ සැලඩ්

ක්‍රීම් පොටේටෝ සැලඩ් පොඩ්ඩන් වඩා ප්‍රිය කරන ආහාරයකි. රාත්‍රියට පමණක් නොව උදෑසනටත් කදිම මේ ආහාරය සැකසීමට අල ගෙඩි 2ක්, ලූනූ, පාස්ලි, සැල්දිරි, ගර්කින් ගෙඩි 1/2ක් අවශ්‍යයි.

සෝස් එක සඳහා මයෝනේස් සෝස් මේස හැඳි 2ක්, ෆ්‍රෙෂ් ක්‍රීම් හෝ යෝගට් කප් 1/2ක්, අබ පවුඩර් තේ හැඳි 1/4ක්, ලුණු, ගම්මිරිස්

අල තම්බාගෙන නිවෙන්නට හැර කුඩාවට කපාගත් ලූනූ, පාස්ලි, සැල්දිරි සහ ගර්කින් සමග මිශ්‍රකර ගන්න

සෝස් එක: ඉහත සෝස් එක සඳහා අවශ්‍ය ද්‍රව්‍ය සියල්ල වෙනම භාජනයක මිශ්‍රකර ගන්න. ශීතකරණයේ පැයක් පමණ තබන්න.

ඉන්පසු අල මිශ්‍රණය සමග එක් කොට ආහාරයට ගන්න.