ඉඳිආප්ප එක්ක යන සයිඩ් එකේ කෑම

ජූලි 1, 2024

 

බඩ පිරෙන්න කනවනම් බත් හරි ඉඳිආප්ප හරි තමයි කියලයි ගොඩ දෙනෙක් කියන්නේ. මොකද ආසියාතික රටක් විදිහට මේ රටේ අයට ඒ අාහාර එක්ක තියෙන්නේ ආත්මීය බැඳීමක්. ඒ නිසාම වැඩි දෙනෙක් උදේ සහ රාත්‍රී ආහාර වේල් සඳහා ඉඳිආප්ප අාහාර වේලට එකතුකර ගන්න නම් අමතක කරන්නේ නැහැ. හැබැයි ඉතින් ඉඳිආප්ප වුණත් හරි රහට කනවනම් එකට ගැළපෙනම හොදි මාළු පිනි එහෙම තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඉඳිආප්ප එක්ක යන සයිඩ් කෑම. අද කියලා දෙන්න යන්නේ හරි රහට ඒ විදිහේ කෑම ටිකක් හදන විදිහයි.

 

කිරි රහට හදන සීනි සම්බෝලය

කල්තියාගෙන රස බලන්්න පුළුවන් මේ සීනි සම්බෝලය ඉඳිආප්ප එක්ක විතරක් නෙවෙයි පාන්, රොටී, බත් මේ ඕනම දෙයක් එක්ක ගැළපෙනවා. එහෙනම් අපි හදලා බලමු.

රතුලූනූ හෝ ලොකුලූනූ කිලෝ 1ක්, උම්බලකඩ ග්‍රෑම් 200ක්, කෑලි මිරිස් මේස හැඳි 4ක්, සීනි මේස හැඳි 6ක්, රම්පෙ, කරපිංචා මේස හැඳි 2ක්, ඉඟුරු මේස හැඳි 1ක්, සුදුලූනූ මේස හැඳි 1ක්, මිටිකිරි කෝප්ප

1/4 ක්, සියඹලා ක්‍රීම් මේස හැඳි 3ක්, පොල්තෙල් බෝතල් බාගයක්, ලුණු රස අනුව, කරඳමුංගු, කරාබු නැටි අවශ්‍යයි.

ලූනු ලියා රන්වන් පාට වනතුරු ගැඹුරු තෙලේ බදින්න. එය තෙල් බේරෙන්න පසෙකින් තබන්න. වෙනත් බඳුනකට තෙල් ටිකක් ළිප තබා රත්කර රම්පෙ, කරපිංචා, ඉඟුරු, සුදුලූනු දමා බැද කරඳමුංගු, කරාබු නැටි අවශ්‍ය නම් එකතු කරන්න.

ගින්දර අඩුකර උම්බලකඩ දමා බැද එයට බැදගත් ලූනු, සීනි, මිටිකිරි, සියඹලා එකතුකර ලුණු අවශ්‍ය ප්‍රමාණයට දමන්න. හොඳින් නිවුණු පසුව බෝතල්වල වෙන වෙනම අසුරා අවශ්‍ය පරිදි භාවිතයට ගන්න.

 

බතල ඉඳිආප්ප

අපිට පුරුදු පාන් පිටි, හාල් පිටි වලින් සකසපු ඉඳිආප්ප. ඔන්න එහෙනම් බතල එකතු කරලත් ඉඳිආප්ප හදල බලමුද?

මේ සඳහා හොඳින් තම්බා පොතු ඉවත්කරගෙන කෑලි නොසිටින සේ පොඩිකර ගත් බතල කෝප්ප 1/2ක්, හාල් පිටි කෝප්ප 01ක්, ලුණු කුඩු, කහ කුඩු සහ වතුර අවශ්‍යයි.

 

මුලින්ම තරමක් විශාල භාජනයක් ගෙන එයට බතල කෝප්ප 1/2 සහ හාල් පිටි කෝප්පය එකතුකර ගන්න.

දැන් ලුණු ස්වල්පයක් සහ කහ කුඩු ස්වල්පයක් එයටම එකතු කරන්න. 

වතුර එකතු නොකර මේ සියල්ල අතින් හොඳින් කලවම්කර ගන්න. 

ඊළඟට වතුර තේ හැන්ද බැගින් එකතු කරමින් අතේ නොඇලෙන මෘදු පිටි ගුලියක් සාදා ගන්න.

මේ සඳහා ඔබට වතුර මේස හැඳි 01 හෝ 02 ක් පමණ අවශ්‍ය වෙන්න පුළුවන්. 

දැන් ඉඳිආප්ප වට්ටිවල සහ ඉඳිආප්ප වංගෙඩියේ තෙල් ස්වල්පයක් ආලේපකර සූදානම්කර ගන්න.

සාදාගත් පිටි මිශ්‍රණයෙන් කොටස බැගින් ඉඳිආප්ප වංගෙඩියට දමාගෙන සාමාන්‍ය ඉඳිආප්ප මිරිකන ආකාරයටම ඉඳිආප්ප තට්ටුවලට මිරිකා ගන්න. 

නටන වතුරවල වාෂ්පයෙන් විනාඩි 07ක් පමණ තම්බාගෙන ඉඳිආප්ප තට්ටු ළිපෙන් ඉවතට ගන්න. 

දැන් උණුසුම් සහ රසවත් බතල ඉඳිආප්ප පිළියෙල කරගෙන අවසානයි.

 

තෙල් පෑදුණු සැමන් කරිය

කපපු ලූනු, මාළු මිරිස්, තක්කාලි එක්ක කලවම් කරලා හදපු සැමන් සම්බෝල, අල එක්ක කලවම් කරලා හදන සැමන් කට්ලට්, සැමන්වලින් අපි නිතරම හදන කෑම.

හැබැයි, ඉස්සර සැමන් ටින් එකක් කඩද්දි ගේ පුරා විහිදුණු සැමන් සුවඳ දැන් අඩුවෙලා, සැමන්වල රස අඩුවෙලා. අන්න ඒ නිසා ගෑවුණු තැන කන්න පුළුවන් මිරිසට සැමන් උයන ක්‍රමයක් තමයි මේ කියලා දෙන්නේ.

 

මේ සඳහා කටු ඉවත්කර පිරිසුදු කරගත් සැමන් ටින් එකක මාළු, වතුර කෝප්ප 03 ක්, අඟලක පමණ රම්පේ කොළ කැබැල්ලක්, කරපිංචා ඉත්තක කොළ, පෙති කපාගත් සුදුලූනු බික් 04 ක් 05 ක්, සිහින්ව ලියාගත් ලොකු ලූනු ගෙඩියක්, සිහින්ව කපාගත් අඟල් භාගයක පමණ ඉඟුරු කැබැල්ලක්, අඟලක පමණ කුරුඳු කැබැල්ලක්, සූදුරු මේස හැඳි 01 ක්, අබ තේ හැඳි 01 ක්, වෙන් නොවෙන සේ දෙකට පළාගත් අමුමිරිස් කරල් 03 ක්, ගොරකා කැබැල්ලක්, කරදමුංගු ගෙඩි 02 ක්, කරාබුනැටි 02 ක්, මිරිස් කුඩු මේස හැඳි 02 ක්, කහ කුඩු තේ හැඳි 1/2 ක්, තුනපහ කුඩු මේස හැන්දක්, ලුණු කුඩු සහ පොල්තෙල් අවශ්‍යයි.

මුලින්ම භාජනයක් ළිප තබා එයට පොල් තෙල් එකතුකර ගන්න.

පොල්තෙල් රත්වූ විට අබ එකතුකර ගන්න. අබ ඇට පුපුරන විට සූදුරු එකතුකර බැදෙන්නට හරින්න. 

එයට කපාගත් සුදුලූනු, ඉඟුරු එකතුකර ගන්න. 

සුදුලූනු සුවඳ එනතෙක් බැදෙන්නට හැර ලොකු ලූණු, අමුමිරිස්, රම්පෙ, කරපිංචා සහ කුරුඳු පොතු එක්කර ගන්න.

සියල්ලම හොඳින් කලවම්කර ලූනු රන්වන් පැහැයට හැරෙන්න පටන් ගන්නා තුරු බැදෙන්නට හරින්න. 

දැන් එයට මිරිස් කුඩු, තුනපහ කුඩු, කහ කුඩු එකතුකර හොඳින් කලවම්කර ගන්න. 

 

විනාඩි 02 ක් පමණ තබා වතුර කෝප්ප 03 එක්කර ගන්න. 

වතුර එක්කර හොඳින් කලවම් කරගෙන විනාඩියක් පමණ තබා එයට ගොරකා කැබැල්ල එකතුකර ගන්න. 

දැන් හොඳින් හැඳි ගා ගන්න. 

වතුර නටන තුරු මඳගින්නේ තබා වරින් වර හැඳිගාන්න අමතක කරන්න එපා. 

වතුර නටන්න පටන් ගත් විට, සැමන් කැබලි එයට එක්කර ගන්න. 

සැමන් කැබලි පොඩි නොවෙන සේ ප්‍රවේශමෙන් කලවම්කර විනාඩියක් පමණ තබා රස අනුව ලුණු එකතුකර නැවත සෙමින් කලවම්කර ගන්න. 

නැවත හොද්ද නටන තුරු තබා ළිපෙන් ඉවත්කර ගන්න. 

 

ඉඳි ආප්ප, පාන්, බත් මේ ඕනෑම ආහාරයක් සමඟ උණුසුම්වම රස විඳින්න පුළුවන් රසම රස සැමන් කරිය ඔන්න ලෑස්තියි. 

 

 

කරවල පොල් සම්බෝලේ

ඉඳිආප්ප කියද්දි සම්බෝලයක් නැතුව කොහොමද. හැමදාම හදන පොල් සම්බෝලයට වෙනසක් එකතුකරගෙන මේ විදිහට හදලා බලමු.

 

මේ සඳහා ගාගත් පොල් කෝප්ප 2ක්, තලපත් කරවල කුඩා කැබැලි 4 -5ක්, රතුලූනූ ගෙඩි 10ක්, වියළි මිරිස් කරල් 8ක්, ගම්මිරිස් ඇට 15ක්, සුදුලූනූ බික් 4ක්, දෙහි ගෙඩියක යුෂ මේ සඳහා අවශ්‍යයි.

 

කරවල, සුදුලූනූ, රතුලූනූ, වියළි මිරිස්, කබලක හෝ අඟුරුමත දමා පුලුස්සා ගන්න. ඒ සියල්ල වංගෙඩියකට දමා ගම්මිරිස් ඇට සහ පොල් එකතුකර හොඳින් කලවම්කරමින් කොටා ගන්න. කොටාගත් පොල් සම්බෝලය දීසියකට දමා දෙහි යුෂ සහ රස අනූව ලුණු එකතුකර හොඳින් අනාගන්න.

 

 

 

කිරි පදමට අල කරියක්

 

අල කිරට උයන්න හැමෝම දැනගෙන හිටියට කිරි රහට අල කරියක් හදන විදිහයි අද කියලා දෙන්නේ.

මේ සඳහා අර්තාපල් ග්‍රෑම් 300ක්, කපාගත් අමුමිරිස් කරල් 2ක්, කුරුඳු කෑල්ලක්, ලියාගත් ලූනූ ගෙඩි 1/2ක්, කරපිංචා, රම්පෙ, කහකුඩු තේ හැඳි 1/2ක්, අබ කුඩු තේ හැඳි 1/4ක්, සූදුරු කුඩු තේ හැඳි 1/4ක්, උළුහාල් තේ හැන්දක්, මිටිකිරි කෝප්ප 2ක් සහ ලුණු ස්වල්පයක් අවශ්‍යයි.

 

පළමුව අල ටික ලුණු දමා තම්බාගෙන පොතු හැර කෑලි කපාගන්න. ලොකු භාජනයකට පොල්කිරි සහ අනෙක් සියල්ලම එකතු කරන්න. ඉන්පසු රස අනුව ලුණු එකතු කරගෙන උතුරනකම් හැඳිගාන්න. කිරි උතුරගෙන එනකොට අල ටික දාලා ටිකකින් ළිප නිවාගන්න.

 

 

උපදෙස්

සූපවේදී

සර්වදර්ශනී අප්සරා