ගෙදර ඉඳන් යසට කන්න ඉන්දියානු රසට සයිවර් කෑම

ජූලි 8, 2024

උණු උණුවෙම තෝසෙ එකක්, මසාලා වඩේ එකක් හිතුණු වෙලාවට කන්න නම් සයිවර් කඩේකටම යන්න එපැයි. එහෙම නොගිහින් ගෙදරදීම හදාගන්න පුළුවන් නම් කොච්චර ලේසි ද පහසු ද ද? එහෙනම් ඔන්න ඔයාලා වෙනුවෙන්ම අද අපි අරන් ආවේ ඉන්දියාවේ සයිවර් රෙසිපි කිහිපයක්. මේ කෑම ටික ගෙදරදීම හදලා රස බැලුවොත් ඉන්දියාවේ සයිවර් කඩේකට ගියා කියලා වගේ දැනේවි. ඉතින් සයිවර් කෑමවලට ආස කරන ඔබත් මේ කෑම ටික හදලා සති අන්තයට වෙනසක් එකතුකර ගන්න.

කටට රසට චපාති හා තොවෙල් චට්නි

මේ රසවත් චපාති එක හදන්න ආටා පිටි ග්‍රෑම් 300ක්, මාගරින් තේ හැඳි 3ක්, රස අනුව ලුණු, මී කිරි මේස හැඳි 1ක් සහ වතුර කෝප්ප 1/2ක් අවශ්‍යයි.

මුලින්ම ආටා පිටි, මාගරින්, ලුණු, මී කිරි හොඳින් මිශ්‍රකර ගන්න. පසුව වතුර මිශ්‍රකර ගනිමින් පදමට අනාගන්න. පදමට අනාගත් රොටී මිශ්‍රණය කුඩා බෝලවලට වෙන්කර, පාන් පිටිවල තවරා හොඳින් තුනීකර ගන්න. පසුව එය රත්වූ තැටියක තබා පදමට පුලුස්සා ගන්න.

තොවෙල් චට්නි කියන්නේ ඉන්දියාවේ චට්නි වර්ග අතර පෙරමුණේම තියෙන චට්නි වර්ගයක්. එහෙනම් තොවෙල් චට්නි එක මේ විදිහට හදලා බලමු. ඒ සඳහා රතු ලූනු ග්‍රෑම් 100ක්, වියළි මිරිස් කරල් 6ක්, කරපිංචා, රස අනුව ලුණු, දෙහි යුෂ සහ පොල් ස්වල්පයක් අවශ්‍යයි.

මුලින්ම රතුලූනු, වියළි මිරිස්, කරපිංචා, පොල් එකට මිශ්‍රකර හොඳින් අඹරා ගන්න. පසුව රස අනුව ලුණු දමා දෙහි යුෂ එකතුකර හිත පුරා රස විඳින්න.

 

----------------------

මසාලා වඩේ සමඟ තක්කාලි චට්නි

මුලින්ම මසාලා වඩේ සකසාගෙන ඉමු. ඒ සඳහා කඩල පරිප්පු ග්‍රෑම් 250ක්, අමු මිරිස් කරල් 3ක්, බීලූනු ගෙඩියක්, කරපිංචා, සුදුලූනු බික් 3ක්, රස අනුව ලුණු සහ පොල් තෙල් අවශ්‍යයි.

විනාඩි 20ක් පමණ පොඟවා ගත් කඩල පරිප්පු වතුර ඉවත්වන සේ පෙරා ගන්න.

ඉන්පසු එය කෑලි සිටින සේ අඹරා පසෙකින් තබා ගන්න.

පසුව හීනියට කපාගත් අමු මිරිස්, බීලූනු, කරපිංචා, සුදුලූනු එක්කර රස අනුව ලුණු ද ඊට එකතුකර ගන්න.

මෙසේ සාදාගත් මිශ්‍රණයෙන් බෝල කිහිපයක් සාදා මඳක් තුනීකර ගන්න. ඉන්පසු ඒවා රත්වූ ගැඹුරු තෙලෙහි හොඳින් දමා හොඳින් බැදගන්න.

මසාලා වඩේ එකක හරිම රසය විඳින්න නම් තක්කාලි චට්නි එකකුත් තියෙන්නම ඕනේ. තක්කාලි චට්නි සඳහා තක්කාලි ගෙඩි 3ක්, බැදගත් රට කජු මේස හැඳි 2ක්, වියළි මිරිස් කරල් 4ක්, බීලූනු ගෙඩියක්, රස අනුව ලුණු, අබ සහ කරපිංචා අවශ්‍යයි.

තක්කාලි, බැදගත් රටකජු, වියළි මිරිස්, බීලූනු හා රස පදමට ලුණු එක්කර බ්ලෙන්ඩර් කරගන්න.

පසුව භාජනයක් ළිප තබා එයට තෙල් දමා තෙල් රත්වූ පසු අබ හා කරපිංචා දමා තෙම්පරාදුකර ගන්න.

ඉන්පසු අඹරා ගත් මිශ්‍රණය ද එයට එකතුකර කලවම්කර ගන්න.

----------------------

 තෝසෙ සමඟ පොල් චට්නි

මුලින්ම තෝසේ එක හදලා ඉමු. මේ තෝසේ හදන්න උළුඳු ග්‍රෑම් 150ක්, සහල් ග්‍රෑම් 500ක්, ලුණු ස්වල්පයක්, වතුර කෝප්ප 1ක්, සීනි තේ හැඳි 1ක් අවශ්‍යයි.

මුලින්ම උළුඳු සහ සහල් එකට දමා විනාඩි 30ක් පමණ පොඟවා ගන්න. ඉන්පසු පොඟවා ගත් සහල් හා උළුඳුවලට වතුර කෝප්පයක් මිශ්‍රකර බ්ලෙන්ඩරයට දමා හොඳින් අඹරා ගන්න. එහෙම අඹරා ගත් මිශ්‍රණය භාජනයකට දමා විනාඩි 30ක් විතර වහලා තියන්න.

ඊට පස්සෙ හදාගත් මිශ්‍රණයට වතුර කෝප්ප 1/4ක්, රස අනුව ලුණු හා සීනි දමා හොඳින් කලවම් කරන්න.

එසේ කිරීමෙන් අනතුරුව රත් වූ තෝසේ තැටියට අවශ්‍ය ප්‍රමාණයට තෝසේ මිශ්‍රණය එක් කර තුනීකර ගන්න.

තැටිය මත වූ තෝසේ එකට තෙල් බිංදු හතරක් හෝ පහක් එක්කර හොඳින් පිසගන්න. පසුව තෝසේ එක අනිත්පස හරවා එලෙසින්ම පිසගන්න.

එයටම ගැළපෙන පොල් චට්නියත් මේ විදිහට හදමු. මේ සඳහා ගාගත් පොල් (බෑයක තරමට), සුදුලූනු බික් 2ක්, අමු මිරිස් කරල් 3ක්, බී ලූනු  ගෙඩි 1ක්, කරපිංචා, අබ, වියළි මිරිස් කරල් 2ක්, එළවළු තෙල් මේස හැඳි 2ක්, රස අනුව ලුණු සහ දෙහි යුෂ අවශ්‍යයි.

ගා ගත් පොල්වලට සුදුලූනු, අමු මිරිස්, බී ලූනු දමා රස අනුව දෙහි යුෂ එකතුකර ගන්න. ඉන්පසු එම මිශ්‍රණය බ්ලෙන්ඩරයට දමා හොඳින් මිශ්‍රකර ගන්න. පසුව වෙනත් භාජනයකට තෙල් ස්වල්පයක් දමා තෙල් රත්වූ පසු වියළි මිරිස්, කරපිංචා දමා හොඳින් තෙම්පරාදුකර කලින් සාදාගත් මිශ්‍රණය ද එක්කර හොඳින් කලවම්කර ළිපෙන් බා ගන්න.

දැන් උණු උණුවෙම තෝසේ සමඟ රස විඳින්න.

 

-----------------------

පොල් රොටී සමඟ කොච්චි සම්බෝල

මේ රසම රස පොල් රොටී හදන්න පාන් පිටි ග්‍රෑම් 300ක්, බී ලූනු ගෙඩි 1ක්, අමු මිරිස් කරල් 3ක්, කරපිංචා, රස අනුව ලුණු, වතුර කෝප්ප 1/2ක් සහ පොල් බෑයක් (ගාගත්) අවශ්‍යයි.

පාන් පිටි, සිහින්ව කපා ගත් බීලූනු, අමුමිරිස්, කරපිංචා හා පදමට ලුණු එකතුකර ගන්න. ඉන්පසු ගාගත් පොල් ද එයට එකතුකර හොඳින් කලවම්කර ගන්න.

අතේ නොඇලෙන පදමට වතුර එකතුකර එය මඳක් තුනීකර රොටී තැටියේ දමා දෙපැත්තම අවශ්‍ය ප්‍රමාණයට පුලුස්සා ගන්න.

පොල් රොටියට ගැළපෙන කොච්චි සම්බෝලය හදන්න කොච්චි ග්‍රෑම් 50ක්, බීලූනු ගෙඩි 1ක්, රස අනුව ලුණු, දෙහි ගෙඩියක යුෂ අවශ්‍යයි.

කොච්චි, බීලූනු එකට දමා හොඳින් අඹරා ගන්න. ලූනු ඉන්පසු දෙහි යුෂ දමා එය රසවත්කර ගන්න.

රස අනුව ලුණු එකතුකර ගන්නත් අමතක කරන්න එපා.

 

උපදෙස්

සූපවේදී සර්වදර්ශනී අප්සරා