එළවළු තම්බන හරිම සාස්තර

ජූලි 15, 2024

 

පොඩ්ඩට එළවළු තම්බන විටත් අනුගමනය කරන්න ඕනෙ කරුණු කාරණා කිහිපයක්ම තියෙනවා. මොකද පෝෂ්‍යදායි බව රැකෙන විදිහට එළවළු ටික කපාගන්න, තම්බගන්න බැරි වුණොත් පොඩ්ඩට හරිම පෝෂණය ලබා දෙන්න නොහැකි වේවි.

වැඩි වෙලාවක් පිස ගන්න වෙන එළවළු වර්ග කුඩාවට කපනවට වඩා ටිකක් ලොකුවට කැබලි කපාගන්න. ඒකෙන් පෝෂ්‍ය පදාර්ථ වැඩිපුර රඳවගන්න පුළුවන්. එළවළු කොයි විදිහට කැපුවත් තියුණු මුවහතක් තියෙන පිහියක් නිතරම පාවිච්චි කරන එකෙන් කැපීමේදී ඉවත යන පෝෂ්‍ය පදාර්ථ අවමකර ගන්න පුළුවන් කියලත් මතක තියාගන්න.

ලූනු සහ සුදුලූනු නම් චොප් කරලා හෝ තළාගන්න එකෙන් Alliinase කියන එන්සයිමය නිදහස් වෙනව. මේ නිසා මේ ජාති දෙක හැකි තරම් චොප්කර හෝ තළාගෙන ආහාරවලට එක් කරගන්න එක වාසිදායකයි. බීට්, කැරට්, රාබු, අල, බතල වගේ අල වර්ගවල පොත්ත හොඳින් පිරිසුදු කරගෙන පොත්ත පිටින්ම තම්බා ගෙන පසුව පොත්ත ඉවත් කරගන්න එකෙන් ඒවායේ පෝෂණය වැඩිපුර රඳවගන්න හැකියාව තියෙනවා. පොතු ඉවත් කරගන්නම අවශ්‍ය නම් පොත්තට ඉතාම ආසන්න වෙන්න යන්තමින් පොතු හැරගන්න එක තමා වඩාත්ම සුදුසු. මේ එළවළු වර්ග බොහොමයක වැඩිම පෝෂණයක් තියෙන්නෙ පොත්තේ සහ පොත්තට ඉතාම ආසන්නයෙයි. කොළ පැහැති එළවළු වර්ග සහ පලා වර්ගත්, ඒවායේ කොළ පැහැය නැති වෙනකම් තම්බන්නෙ හෝ මලවන්නෙ නැතුව යන්තම් රත් කිරීම පමණක් ප්‍රමාණවත්. පලා කොළ මැල්ලුමක් හදන කොට හට්ටිය රත් වෙන්න තියලා ඒකට කොළ ටික එකතු කරන් යන්තම් කලවම් කරගෙන ළිපෙන් ඉවත් කරලා තෙත රෙද්දක් උඩින් තියාගන්න එකෙන් පලාව පැහැය වෙනස් නොවී තියාගන්න පුළුවන්.

වතුරට දාලා එළවළු තම්බන එකෙන් එළවළුවල පෝෂ්‍ය පදාර්ථවලින් වැඩි ප්‍රමාණයක් ඒ වතුරට එකතු වෙලා අපතේ යනවා. මේ නිසා වඩා සුදුසුම හුමාලයෙන් තම්බාගන්න එක. වතුරට දාලා එළවළු තම්බගන්න එක කළයුතුම නම් ඒ වතුර ටික ඉවත නොදමා වෙනත් පිසින ආහාරයකට හෝ සුප් එකක් වැනි දේකට යොදාගන්න පුළුවන්.

සමහරු එළවළු කැපුවට පස්සෙත් වතුරට දාලා සෝදල ගන්නවා. මේකෙන් වෙන්නෙ එළවළුවල තියෙන පෝෂණයෙන් වැඩි කොටසක් සේදිලා යන එක. මේ නිසා එළවළු පලතුරු වර්ග කපන්න කලින් හොඳින් සෝදාගන්න.

එළවළු, පලතුරු වර්ග භාවිතයට ගන්න කිට්ටුවම කපාගන්න එක තමා වඩාත්ම සුදුසු. කැපූ එළවළු, පලතුරු වැඩි වෙලාවක් වාතයට නිරාවරණය වීමෙන් ඒවායේ පෝෂණයට හානි වෙන්න පුළුවන්.

එළවළු පිසගන්න කොට හැකි තරම් අඩු ප්‍රමාණයක වතුර එක්කරගන්න. එළවළු ටික තැම්බෙන්න වැඩි වතුර ප්‍රමාණයක් එක් කරගන්න එකෙන් වැඩි වෙලාවක් ළිපේ තියන්න සිද්ධ වෙනව. ඒකෙන් වැඩි පෝෂණ කොටසක් වතුර සමඟ වාෂ්ප වෙන්න පුළුවන්. ඒ වගේම ඕනෙම එළවළුවක් පියනකින් වහලා තම්බගන්න එකෙන් වාෂ්පය පිටවීම අඩු කරනවා වගේම ඉක්මනින් පිසගන්නත් පුළුවන්.