කන්නෙ නැති බබාලාට හරි ලස්සන පුදුම කෑම

ජූලි 22, 2024

පොඩ්ඩො සම්බන්ධයෙන් අම්මලාගෙ තියෙන ලොකුම නෝක්කාඩුව මොකද්ද? ඒ තමයි අපේ බබාට නම් කෑම කවා ගන්නම බැහැනේ කියන කතන්දරය. මේ නිසාම අම්මලා තමන්ගෙ දරුවන් නොකන එකට දඬුවම් කිරීමත් බොහෝවිට දකින්නට පුළුවන්. හැබැයි පොඩ්ඩා කෑමට අදිමදි කරන්නෙ එකම දේ කාලා එපා වෙලා වෙන්නත් පුළුවන්. ඒ නිසා හැකි සෑම වෙලාවකම පොඩ්ඩාට වෙනස් රසයන්ගේ කෑම වර්ග හදා දෙන්න අම්මලාට පුළුවන්. හැමදාම හදන එළවළු නැතුව අලුත් එළවළු වගේම අන්තර්ජාලයෙන් සොයාගන්නා රෙසිපිවලින් අලුත් රසයක් දිවට දැනෙන ආහාර පොඩ්ඩාට දෙන්න. හැම මොහොතකම කෑමවල විවිධත්වයක් තියාගන්න එකත් ලේසියක්. එතකොට එකම දේ දවසක් ඇර දවසක් දුන්නත් පොඩ්ඩා බෑ නොකියා කාවි. අද ගෙනල්ලා තියෙන්නෙත් ඒ වගේ වට්ටෝරු කිහිපයක්.

පාන් ටෝස්ට්

ටෝස්ට් කරපු පාන් පෙති දෙකට බටර් ටිකක් ගාලා පොඩ්ඩට දෙන්නනේ ගොඩක් අය පුරුදු වෙලා ඉන්නේ. හැබැයි අද හදන විදිහට පාන් ටෝස්ට් හැදුවොත් පොඩ්ඩා ආසාවෙන් රස බලාවි.

මේ සඳහා බිත්තරයක්, පාන් පෙති දෙකක්, දියර කිරි කෝප්ප 1/2ක්, ගම්මිරිස් ස්වල්පයක්, බටර් තේ හැඳි දෙකක් සහ සරසා ගැනීමට කෙසෙල් ගෙඩියක් හෝ පිපිඤ්ඤා පෙති දෙකක් සහ සලාද කොළයක් අවශ්‍යයි.

මුලින්ම වියළි බඳුනකට බිත්තරය එක්කර ගෑරුප්පුවකින් ගසා ගන්න. එයට දියර කිරි සහ ගම්මිරිස් එකතුකර මිශ්‍රකර ගන්න. පාන් පෙති දෙක එයට දමා හොඳින් පොඟවා ගන්න.

ඉන්පසු පෑන් එකක් ළිප තබා එයට බටර් ස්වල්පයක් එකතුකර පාන් පෙති දෙකේම දෙපැත්ත දමා පිස ගන්න. ඉන්පසු පාන් පෙති දෙක එකමත එක තබා බබාගේ ලන්ච් බොක්ස් එකට දමා රූපයේ පරිදි සලාද කොළ සහ පිපිඤ්ඤා පෙති තබා ලස්සන කරගන්න.

 

ස්ට්‍රෝබෙරි පෑන් කේක්

පෑන් කේක් කියන්නෙ තේ බොන වෙලාවට එහෙමත් නැත්නම් අමුත්තෙක් ආව වෙලාවට ශ්‍රී ලාංකේය අපේ මුළුතැන්ගෙයි පිළියෙල වෙන අපිට බොහොම හුරුපුරුදු කෙටි ආහාරයක්නෙ. 

ලංකාවේ අපි සාමාන්‍යයෙන් පෑන් කේක් කන්න පුරුදු වෙලා ඉන්නෙ පැණි පොල් පිරවුමක් මැදි කරල රෝලක් හැඩයට හදාගෙනනෙ.

හැබැයි යුරෝපා රටවල්වල පෑන් කේක් හදන විදිහ වගේම පෑන් කේක් පිළිගන්වන විදිහත් ටිකක් වෙනස්. 

අද අපි ඔබත් එක්ක බෙදාගන්න සූදානම් වෙන්නෙ රසම රස අමෙරිකන් පෑන් කේක් විනාඩි 10 ක් වගේ කෙටි කාලෙකින් ලස්සනට හදාගන්න විදිහයි. විශේෂයෙන්ම කුඩා දරුවන්ගේ උදෑසන ආහාරය සඳහා මෙය කදිම ආහාරයකි.

එහෙනම් මුලින්ම බලමු අපිට අවශ්‍ය කරන ද්‍රව්‍ය මොනවද කියලා.  මේ සඳහා පාන් පිටි ග්‍රෑම් 200ක්, බේකිං පවුඩර් ග්‍රෑම් 10 ක්, සීනි මේස හැඳි 01 ක්, ලුණු කුඩු තේ හැඳි 01 ක්,

කිරි මිලිලීටර් 300ක්, කාමර උෂ්ණත්වයේ ඇති බටර් ග්‍රෑම් 40ක්, බිත්තර 01 ක් පිළිගැන්වීමට පැණි සමඟ බටර්, මාගරින්, ස්ට්‍රෝබෙරි, ඇපල්, කෙසෙල් හෝ බ්ලූබෙරි වැනි ඔබ කැමති පලතුරක් අවශ්‍යයි.

මුලින්ම පිටිවලට බේකිං පවුඩර්, සීනි සහ ලුණු කුඩු එකතුකර තරමක් විශාල වෙනත් භාජනයකට පෙරනයක් ආධාරයෙන් හලා ගන්න. හලාගත් පිටි මිශ්‍රණය හොඳින් මිශ්‍රකර ගන්න. 

දැන් එයට බටර්, බිත්තර සහ කිරි එකතුකර කැට නොසිටින උකු මිශ්‍රණයක් ලැබෙන සේ හොඳින් මිශ්‍රකර ගන්න.  දැන් පැතලි සාස්පානක් ළිපතබා එය රත්වන විට එහි බටර්, මාගරින් හෝ තෙල් ස්වල්පයක් ආලේපකර ගන්න. තරමක් විශාල හැන්දක් ආධාරයෙන් සාදාගත් මිශ්‍රණයෙන් කොටසක් ගෙන එය සාස්පානට වත්කර ගන්න. වත්කර ගත් මිශ්‍රණය ඝනවී කුඩා බුබුළු ඒමට පටන් ගත්විට සෙමෙන් පරිස්සමින් අනෙක් පැත්ත හරවා ගන්න. තත්පර 30 ක් පමණ තබා ළිපෙන් ඉවත්කර ගන්න. (දෙපැත්ත රන්වන් පැහැ වී තිබිය යුතුයි) දැන් අපි පෑන් කේක් පිළියෙලකර අවසන්.

මඳ රස්නෙන් පවතින විටම ඊට උඩින් පැණි වත්කර බටර්, ජෑම් හෝ ඔබ කැමති පලතුරක් සමඟ උණුසුම්වම රස විඳින්න පුළුවන්. මෙය කුඩා දරුවන්ට සකසන ආහාරයක් නිසා ස්ට්‍රෝබෙරි පෙති, කෙසෙල් පෙති සහ චොකලට් බෝල වැනි දෑ එකතුකොට ලස්සන පෙනුමක් ලැබෙන සේ සකසා ගන්න.

 

පැස්ටා සමඟ සැන්ඩ්විච්

පැස්ටා සැකසීමට තම්බාගත් පැස්ටා කෝප්පයක්, බටර්, ගම්මිරිස් අවශ්‍යයි. සැන්ඩ්විචය සඳහා ත්‍රිකෝණ හැඩයට කපා ගත් පාන් පෙති දෙකක්, බටර්, ගම්මිරිස්, ලුනු සහ තම්බාගත් බිත්තරයක් අවශ්‍යයි. සරසා ගැනීමට ලූණූ කොළ කිහිපයක්, බ්ලූ බෙරි සහ කෙසෙල් පෙති එකතුකර ගත හැකිය.

පෑන් එකක් ළිප තබා එයට බටර් ස්වල්පයක් එකතුකර ගන්න. ඉන්පසු තම්බාගත් පැස්ටා එකතුකර ගම්මිරිස් ස්වල්පයක් එකතුකර ගන්න. සැන්ඩ්විච් සඳහා පිරවුම සැකසීමට කුඩා බෝල් එකක් ගෙන බටර්, තම්බාගත් බිත්තරය, ලුණු සහ ගම්මිරිස් එකතුකොට ගෑරුප්පුවකින් හොඳින් පොඩිකර ගන්න. ඉන්පසු එම මිශ්‍රණය පාන් පෙත්තක් මත තබා අනෙක් පාන් පෙත්තෙන් වසා රූපයේ පරිදි තබා ගන්න. මේ සැන්ඩ්විච් එක වටේට පැස්ටා කැබලි තබා සිංහයකුගේ පෙනුමක් එන සේ හැඩකර ගන්න. ඇස් සඳහා බ්ලූ බෙරි සහ රූපයේ දැක්වෙන පරිදි තවත් ලස්සන කරගත හැකි දෑ එක් කළ හැකියි.

 

පලතුරු පුඩිම

පොඩ්ඩන්ගේ අතුරුපසට නම් මේ පලතුරු පුඩිම පංකාදුයි. මේ රස පලතුරු පුඩිම හදන්න පාන් පෙති කිහිපයක්, නැවුම් කිරි,සීනි, ස්ට්‍රෝබෙරි සහ අඹ ගෙඩියක්, කෙසෙල් ගෙඩි දෙක තුනක් අවශ්‍යයි.

මුලින්ම නැවුම් කිරි, පාන්, සීනි සමඟ මිශ්‍රකර හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. එය බේකිං ට්‍රේ එකකට හෝ කුඩා බඳුන්වලට දමා සිහින්ව කැපූ පලතුරු තැනින් තැන මිශ්‍රවන සේ දමා ගන්න. සෙල්සියස් අංශක 150 උෂ්ණත්වයට විනාඩි තිහක් පමණ බේක් කරන්න.

 

 

කෙසෙල් මිශ්‍ර ඕට්ස්

ඕට්ස් කියන්නේ එතරම් රසවත් ආහාරයක් නෙවෙයිනේ. හැබැයි ගුණෙන් හරි ඉහළයි.

ඒ නිසයි පොඩ්ඩන්ගේ කෑම වර්ග අතර ඕට්ස් ආහාර ප්‍රමුඛත්වයක් ගන්නේ. හැමදාම කිරි ටිකක් එකතුකරලා හදන ඕට්ස් එකට මේ විදිහට වෙනසක් එකතු කරගෙන බලමු. මේ සඳහා ආමන්ඩ් කිරි කෝප්ප 1ක්, ඕට්ස් කෝප්ප 1ක්, පොඩිකර ගත් කෙසෙල් ගෙඩියක්, පීනට් බටර් මේස හැඳි 2ක්, මීපැණි මේස හැඳි 2ක්, වියළි මිදි ස්වල්පයක්, කිවි ගෙඩියකින් පෙති දෙකක් සහ කෙසෙල් පෙති කිහිපයක් අවශ්‍යයි.

මුලින්ම පීනට් බටර් හා පැණි එකට කලවම්කර ගන්න. මේක අඩු ගින්දරේ ළිපේ තියලා හැඳිගාන්න. 

වෙනම බෝල් එකකට ඕට්ස්, ආමන්ඩ් කිරි සහ කෙසෙල් එකතුකර හොඳින් මිශ්‍රකර ගන්න. මේකට රත්කර ගත් පැණි මිශ්‍රණය දාගන්න. හොඳට කලවම් කරලා අඩු ගින්දරේ විනාඩි 10ක් පිසගන්න. ඉන්පසු ළිපෙන් බා භාජනයකට වියළි මිදි එක්කරගෙන කිවි පෙති සහ කෙසෙල් පෙති එකතුකොට සරසා ගන්න.

 

 

චොකලට් චිප් වොෆල්ස්

චොකලට් චිප්ස් එකතු කරගෙන හදන මේ රස වොෆල්ස් බබාගේ උදේ කෑමට එකතු කරගෙන බලන්න.

 මෙය සැකසීම සඳහා බිත්තරයක්, දියකර ගත් බටර් ග්‍රෑම් 100ක්, වැනිලා ස්වල්පයක්, සීනි ග්‍රෑම් 150ක්, ලුණු ස්වල්පයක්, බේකිං සෝඩා තේ හැඳි 1/2ක්, පාන්පිටි ග්‍රෑම් 250ක් සහ චොකලට් චිප්ස් ග්‍රෑම් 100ක් අවශ්‍ය වේ.

මුලින්ම බිත්තරය හොඳින් ගසාගන්න. මේකට දියකර ගත් බටර් ටික එකතු කරන්න. ඊළඟට වැනිලා හා සීනි දාලා විස්ක්කර ගන්න. ලුණු එකතු කරන්න. බේකිං පවුඩර් හා පාන්පිටි ටිකත් දාලා ඩෝ එකක් අනාගන්න. මේකට චොකලට් චිප්ස් ටිකත් දාලා කලවම් කරන්න. ඔයිල් බ්‍රෂ් කරපු වොෆල් අයන් එකට මේ ඩෝ එකෙන් ටික ටික දාලා වොෆල්ස් හදාගන්න.

 

රේන්බෝ මෑෂ් සැන්ඩ්විච්

පාට පාට සැන්ඩ්විච් එකක් දකිද්දී කාටද රස බලන්න හිතෙන්න නැත්තේ. පොඩ්ඩෝ පාටවලට වැඩි ප්‍රියතාවයක් දක්වන නිසා පාට පාට මේ රස සැන්ඩ්විච් එක හරි ආසාවෙන් රස බලාවී.

මේ සඳහා පෙති පාන් ගෙඩියක්, කැරට් ග්‍රෑම් 200ක්, බීට්රූට් ග්‍රෑම් 200ක්, සලාද කොළ ග්‍රෑම් 100ක්, අබ ක්‍රීම් මේස හැඳි 2ක්, බටර් ග්‍රෑම් 200ක්, ගම්මිරිස් කුඩු සහ රස අනුව ලුණු අවශ්‍යයි.

මුලින්ම කැරට් සහ බීට් වෙන වෙනම තම්බාගන්න. ඒකට අබ ක්‍රීම් මේස හැන්දක් හා බටර් ග්‍රෑම් 100 බැගින් එකතු කරලා  වෙන වෙනම මිශ්‍රකර ගන්න. මේවාට රස අනුව ලුණු හා ගම්මිරිස් කුඩු එකතුකර ගන්න.

පාන් පෙති දෙකක් අරගෙන ඒකෙන් එක පෙත්තක් උඩට කැරට් මිශ්‍රණයෙන් ලේයර් එකයි අනෙකට බීට් මිශ්‍රණයෙන් ලේයර් එකයි දාලා, ඒ උඩට සලාද කොළයක් තියලා අනික් පාන් පෙත්තෙන් වසන්න. ලේසියි පහසුයි. ඒ වගේම රසම රසයි.

 

උපදෙස් සූපවේදී

සුජිත් ආරියරත්න