පාරවල් ගානේ තියෙන ඩොංගාවලින් රහම රහ කෑම බීම

අගෝස්තු 12, 2024

ඔන්න දැන් ඩොංගා වාරේ ඇවිල්ලා.  රඹුටන් සහ දූරියන් වාරේත්  එක්කම තමයි ඩොංගා වාරේත් එන්නේ. ඒ කියන්නේ හැම අවුරුද්දකම ජූලි සහ අගෝස්තු මාසවල තමයි ඩොංගා වාරේ  පටන් ගන්නේ. ඩොංගා කියලා කියන්නෙම ප්‍රණීත පලතුරක්. ඉතින් මේ දවස්වල නම් ප්‍රධාන පාරවල් අයින්වල වෙනත් පලතුරු වගේම මේ ඩොංගා කියන සුවිශේෂී පලතුරු ජාතියත් දැන් විකුණන්න තියෙනවා. හුඟක් අය මේ වෙද්දි මේ පළතුර කාලා මේවායේ  රස බලලත් ඇති ඒ වගේම තවත් බොහෝ පිරිසක් තවම මේ පලතුර කාල රස බලලා නැතුවත් ඇති. සමහර ඩොංගා පලතුරු පැණි රසයි. සමහර ඩොංගා ඇඹුල් රසයි. අපි මේකට ඩොංගා කියලා කිව්වට, සමහර ප්‍රදේශවල අය මේකට “ඩොංකා” කියලත් කියනවා..

මේ ඩොංගා වැවෙන්නේ ලංකාවේ දකුණු පළාතේ. විශේෂයෙන්ම ගාලු දිස්ත්‍රික්කයේ තමයි ඩොංගා ගස් වැඩිපුරම තියෙන්නේ. මේ වෙද්දි මාතර දිස්ත්‍රික්කයේත් සමහර ප්‍රදේශවල ඩොංගා  තියෙනවා. සමහරු නම් කියනවා, මේක සෑම ප්‍රදේශයකම වගේ වවන්න පුළුවන් පලතුරු ගහක් කියලා. මේ ඩොංගා පලතුරු ගෙඩිය අපේ රටේ තියෙන මැන්ගුස්ටින් ගෙඩියට සමාන නිසා සමහර ප්‍රදේශවල අය  මේ ඩොන්ගාවලට ” වල් මැන්ගුස්ටින් ” කියලත් කියනවා. ඒත් ඩොංගා ගෙඩිය හුඟක්ම සමාන වෙන්නේ ගොරකා ගෙඩියට. ඩොන්ගාවලට ළැදි බොහෝ දෙනෙක් කියන්නේ ඩොංගා ගෙඩිය පිහියකින් කපලා කනවට වඩා පොළොවේ ගහලා හරි පළාගෙන කාපුවම තමයිලු එකේ රසය වැඩිපුර දැනෙන්නේ.

ඩොංගා  රසයෙන් ප්‍රණීත වුණාට උෂ්ණාධික පලතුරක්. . ඒ කියන්නේ ඇඟට සැර පලතුරක්. සාමාන්‍යයෙන් අර කතාවකුත් තියෙනවනේ ඇඟට ගොඩක් ගුණ දේවල් ඇඟට සැරයි කියලා. ඒ වගේ තමයිලු ඩොංගා කියන පලතුරු  ජාතියත්. සාමාන්‍ය ඩොංගා ගෙඩියක මද හතරක් පහක් පමණ තියෙනවා.

රස වගේම ඩොංගාවල පෝෂණ ගුණයත් ඉහළයි. ඩොංගා මද ග්‍රෑම් 100 ක විටමින් සී මිලිග්‍රෑම් 80-90 ත් අතර ප්‍රමාණයක් තියෙනවා කියලත් කියනවා.මිනිස් සිරුරේ  නහරවල රැඳෙන කොලෙස්ටරෝල් (LDL) අවම කිරීමේ ශක්තියක් ඩොංගාවල තියෙනවා. ඒ වගේම දියවැඩියා තත්ත්වය පාලනය කරන්න සහ අවම කරන්නත්, පිළිකා ශෛල සෑදීම වැළැක්වන්න, ශරීරයේ බර පාලනය කරන්න, ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩිදියුණු කරන්න, ඒ වගේම දත්වල අස්ථි ශක්තිමත් කරන්නත් රක්තහීනතාව වැළැක්වීමේ ගුණයත් වැනි ශරීරයට ඉතාම හිතකර තත්ත්වයක් ඩොංගා ආහාරයට ගැනීම තුළින් ලැබෙන බව  ආයුර්වේද වෛද්‍ය පත පොතේ සඳහන් වෙනවා. එමෙන්ම පාචනය සහ මලබද්ධයට ප්‍රතිකාරයක් විදිහටත් ඩොංගා ආහාරයට ගන්නවා කියලා ආයුර්වේද පතපොතේ වැඩිදුරටත් සඳහන් වෙනවා.

ඉතින් මේ දිනවල හැම තැනම දැකගන්න ලැබෙන මේ ඩොංගාවලින් හදන්න පුළුවන් කෑමබීම කීපයක් මේ විදිහට තිළිණ කරන්න හිතුවා. ඉතින් නිකම් ඩොංගා ගෙඩියක් කනවට වඩා මේ විදිහට හදලා බැලුවොත් පොඩි වෙනසකුත් වේවි.

**********

ඩොංගා ජෑම්

 

ඩොංගා පල්ප ග්‍රෑම් 350ක්, සීනි ග්‍රෑම් 210ක්, වැනිලා තේ හැඳි 1ක්, රස අනුව දෙහි යුෂ සහ වතුර කෝප්පයක් මේ සඳහා අවශ්‍යයි.

 

ඩොංගා මද ඇට සමඟ භාජනයකට දමා එයට වතුර එකතු කරන්න. මෙය විනාඩි කිහිපයක් පිසින්න. පිස ගැනීමෙන් ඩොංගාවල පල්පය වෙන්කර ගැනීමට පහසුවේ. මෙය අඩු ගින්දරේ පිසගන්න. ඩොංගාවල මෙළෙක් බවක් ආපසුව ළිපෙන් ඉවත් කරගන්න.

 

ළිපෙන් ඉවත්කර ගත්පසු ටිකක් සිසිල් වෙන්න තබන්න.

දැන් ඩොංගාවලින් පල්පය හොඳින් ඉවත්කර ගන්න. ඒ සඳහා ඇල්මෙනියම් පෙනේරයකට ඩොංගා දමා හැන්දකින් කලවම් කරමින් ඩොංගා පල්පය කෝප්පයකට පෙරාගන්න.

දැන් භාජනයක් ළිප තබා එයට ඩොංගා තලපය එකතුකොට අඩු ගින්දරේ පිසින්න. දිගටම කලවම් කරන්න. මඳ වේලාවක් පිසින විට ළා දුඹුරු පැහැ වර්ණයක් ඒවී. ඒ නිසා වෙනමම වර්ණක එකතුකර ගැනීමට අවශ්‍ය වන්නේ නැහැ. මිශ්‍රණය තරමක් ඝනකම් වූ විට එයට වැනිලා සහ දෙහි යුෂ එක්කර ගන්න. දැන් දිගටම කලවම් කරන්න. මඳක් ඝනකම් වූ විට ළිපෙන් බා සිසිල් වෙන්න තබා බෝතල්වල අසුරන්න.

 

**********

ඩොංගා යුෂ පානය

ඩොංගා ගෙඩි දෙකක්, තැඹිලි ගෙඩියක් සහ අයිස් කැට මේ සඳහා අවශ්‍ය වේ. කුඩා බෝල් එකක් සූදානම් කරගන්න. ඩොංගා ගෙඩි මැදින් කපා මදය කොටස බෝල් එකට දමා ඇටත් සමඟ තළා ගන්න. ඉන්පසු මෙය උස වීදුරුවකට දමා තැඹිලි වතුර සහ ලොඳ එකතු කර මිශ්‍ර කරන්න. ඉන්පසු අයිස් කැට එකතුකර පිළිගන්වන්න. අවශ්‍ය නම් සීනි එකතුකර ගන්නත් පුළුවන්.

 

 

**********

ඩොංගා ලෙලි තෙම්පරාදුව

 

ඩොංගා ලෙලි තරමක් ඇඹුල් රසයි. ඉතින් ඇඹුල් රසට කැමැති අයට නම් ඩොංගා ලෙලි තෙම්පරාදුව අපූරු කෑමක්. මේ සඳහා ඩොංගා ලෙලි, අමුමිරිස්, රම්පෙ, සුදුලූනු, කරපිංචා රතුලූනු, කූනිස්සෝ, අමු තුනපහ, කෑලි මිරිස්, රස අනූව ලුණු සහ තෙම්පරාදුවට තෙල් අවශ්‍යයි.

 

මුලින්ම ඩොංගා ලෙලි ටික කපා ගනිමු. මේ ඩොංගා ලෙලි කපන්න කලින් වතුර භාජනයට ලුණු ටිකක් එකතු කරලා තියන්න. මොකද ඩොංගා ලෙලි ඉක්මනින් කහට පිපෙන නිසා කපන කපන ඩොංගා ලෙලි මේ භාජනයට එකතු කරගැනීමෙන් කහට පිපෙන එක වළක්වා ගන්න පුළුවන්. දැන් ඩොංගා ලෙලි ගෙන ඒවායේ කහපාට පොත්ත පිහියකින් සූරා ඉවත්කරන්න. ඉන්පසු සිහින් තීරු කපා ලුණු මිශ්‍ර වතුර භාජනයට එකතුකරන්න. මේ විදිහට සියලුම ඩොංගා ලෙලි ටික කපා වතුර භාජනයට දමන්න. දැන් කපාගත් ඩොංගා ලෙලිවල වතුර මිරිකා හැර භාජනයකට දමා ගන්න. එයට කෑලි මිරිස්, අමු තුනපහ, රස අනුව ලුණු එකතුකර මිශ්‍රකර ගන්න. දැන් එයට කූනිස්සො ටික එකතුර නැවතවරක් මිශ්‍රකර ගන්න. එය පසෙකින් තබා, භාජනයක් ළිප තබා එයට තෙල් එකතු කරන්න. තෙල් රත්වන විට තළාගත් සුදු ලූනූ, සිහින්ව ලියාගත් රතුලූනූ, සිහින්ව කපාගත් අමුමිරිස්, රම්පෙ, කරපිංචා එකතුකර තෙම්පරාදු කරන්න. පසෙකින් තැබූ ඩොංගා ලෙලි ටික ඊට එකතුකර කලවම් කරමින් තෙම්පරාදු කරන්න. දැන් මෙයට වතුර ස්වල්පයක් එකතු කොට අඩු ගින්දරේ පිසගන්න.