පොල් බෑයයි කෑම ගොඩයි

අගෝස්තු 19, 2024

ආසියාතික රටක්වන අපේ රටේ උදවියට පොල් නැතුව කෑමක් බීමක් හැදෙන්නෙම නැති තරම්. කරි එකක් හැදුවත්, පැණි රස කෑමකට, කැවිලි වගේ මේ ඕ‍ෙනම කෑමක් හදන්න පොල් නැතුවම බැහැ. එහෙම බලද්දි ගාගත් පොල් හා පොල් කිරිවලින් අපිට කියලා නිමකරන්න තරම් බැරි ප්‍රයෝජන ගොඩක් ති‍ෙයනවා. ඒ වගේම ඉවතලන පොල් කුඩු ටික පවා ප්‍රයෝජනවත්. හැබැයි පොල්වලින් හදන කෑම බීම ගැන බලද්දි හැමෝම ඉන්නේ එක රාමුවකට කොටු වෙලා. ඒ කියන්නේ පොල්වලින් හදන්න පුරුදු වෙලා ඉන්නේ එකම කෑම වර්ග කිහිපයක් විතරයි. හැබැයි අද අපි කියන්න යන්නේ පොල්වලින් හදන්න පුළුවන් ඔබ හිතන්නෙවත් නැති කෑම කිහිපයක් ගැන. අනික අපේ රටට පොල්වලින් නම් අඩුවක් නැහැ. ඒ නිසා ලොකු වියදමක් නැතුව මේ කෑම වර්ග හදාගන්නත් පුළුවන්.

 

 

උපදෙස්

සූපවේදී

සර්වදර්ශනී අප්සරා

 

පොල් අයිස් ක්‍රීම්

මේ රසම රස පොල් අයිස් ක්‍රීම් එක හදන්න පොල් ගෙඩියක කිරි, ග්‍රෑම් 390ක උකු ටින් කිරි, උණු වතුර කෝප්ප 4ක්, ජෙලටින් තේ හැඳි 3ක්, වැනිලා තේ හැන්දක් සහ සීනි කෝප්පයක් මේ සඳහා අවශ්‍යයි. කැමැතිනම් කජු, ආමන්ඩ් ද එකතු කළ හැකිය.

පළමුව භාජනයක් ගෙන පොල් කිරි සහ ටින් කිරි එක්කර හොඳින් මිශ්‍ර කරගන්න. එම මිශ්‍රණය පසෙකින් තබන්න. දැන් වෙනම කුඩා භාජනයකට ‍ෙජලටින්, සිනී සහ මඳ රස්නය සහිත වතුර එක හොඳින් මිශ්‍රකරමින් දියකර ගන්න. දැන් මෙම මිශ්‍රණය, පෙර සකසාගත් පොල් කිරි මිශ්‍රණයට එකතුකර හොඳින් කලවම්කර ගන්න. මෙය තරමක් ලොකු භාජනයකට දමා ශීතකරණයේ පැය හතරක කාලයක් තබන්න. පැය හතරකින් පසු මෙය ඉවතට ගෙන මෙම මිශ්‍රණයේ ප්‍රමාණය තුන් ගුණයක් පමණ එන සේ බීටරයකින් හොඳින් ගසා ගන්න. ඊට වැනිලා ස්වල්පයක් එකතු කරන්න. ඉන්පසු ශීතකරණයේ තබා මිදෙන්න හරින්න. අවශ්‍ය නම් මෙයට ඩෙසිකේටඩ් කොකනට් ස්වල්පයක් ද එකතුකර ගත හැකියි. එවිට පොල් හැපෙන නිසා රසයෙන් ද වැඩි වේවි.

පොල් පුඩිං

පුඩිං වර්ග කොතරම් රස බලා ඇතත් පොල්වලින් හදන මේ පුඩින් එක නම් ඔබ කවදාවත් රස බලා නැතිව ඇති. එහෙනම් අදම හදලා බලමු.

 

මේ පොල් පුඩිම හදන්න ග්‍රෑම් 390ක උකු ටින් කිරි එකක්, බිත්තර 3ක්, පොල් කිරි කෝප්ප 1ක්, වැනිලා තේ හැඳි 1ක්, සිහින්ව ගාගත් පොල් කෝප්ප  1ක්, ලුණු ස්වල්පයක් සහ සීනි මේස හැඳි 2ක් අවශ්‍යයි.

 මුලින්ම භාජනයක් ළිප තබා එයට සීනි එකතුකර හැඳිගාමින් නූලක් සේ ඇදෙන ආකාරයට සීනි කැරමල් කර ගන්න. ඉන්පසු මේ කැරමල් එක ට්‍රේ එකකට හෝ ඔබ පුඩිං එක හැදීමට යොදාගන්න භාජනයට එකතු කරන්න.

දැන් වෙනම භාජනයක් ගෙන ටින් කිරි සහ බිත්තර එකතුකර බීට් කරගන්න. එයටම පොල් කිරි, ලුණු සහ වැනිලා ද එකතු කරන්න. දැන් ගාගත් පොල් ටික ද එයටම එකතුකර ස්පැචුලා එකෙන් කලවම් කරගන්න. දැන් මේ මිශ්‍රණය අර කලින් කැරමල් දාගත් ට්‍රේ එකේ කැරමල් එකට උඩින් දමා අවන් එකේ සෙල්සියස් අංශක 180 විනාඩි 30ක් බේක් කරන්න. නැතිනම් ස්ටීම් කරන්නත් පුළුවන්. ලස්සන කරගන්න ඩෙසිකේටඩ් පොල් ස්වල්පයකුත් එකතුකර ගන්න.

 

කොකනට් චොකලට් බාර්

පොල් රසය එකතු වුණ චොකලට් එකක රස බලන්න කවුරුද අකමැති. මේ කියන්න යන්නෙත් පොල් එකතුකරලා රසම රස චොකලට් බාර් එකක් හදන විදිහයි.

මේ සඳහා ඩෙසිකේටඩ් කොකනට් කෝප්ප 2ක්, ටින්කිරි කෝප්ප 1ක් සහ චොකලට් තැවරුමට ඩාක් චොකලට් ග්‍රෑම් 100ක් මේ සඳහා අවශ්‍යයි.

මුලින්ම ඩෙසිකේටඩ් කොකනට්වලට ටින්කිරි දාලා හොඳට කලවම් කරගන්න. හොඳට කලවම් වුණාට පස්සෙ මේක හතරැස් භාජනයකට දාලා ලෙවල් කරලා පැය 2ක් ශීතකරණයේ තබන්න.

ඒ අතරෙ චොකලට් ටික ඩබල් බොයිල් කරගනිමු. ඒ සඳහා වතුර භාජනයක් ළිප තබන්න. වෙනත් කුඩා භාජනයකට චොකලට් ටික දමා ළිප තැබූ වතුර භාජනය තුළින් මෙය තබන්න. චොකලට් උණු වී දිය වූ පසු ළිප නිවන්න. දැන් ශීතකරණයේ තැබූ කොකනට් ස්ලැබ් එක අරන් තරමක කෑලි කපාගන්න. දැන් මේ කොකනට් ස්ලැබ්ස් කැබලි ටික උණු කරගත් චොක්ලට් භාජනයට දමා චොකලට් තවරා ගන්න. ඉන්පසු පැය 2ක් ශීතකරණයේ තබා රස බලන්න.

 

 

කොකනට් ස්නෝ බෝල්ස්

කොකනට් ස්නෝ බෝල්ස් පොඩ්ඩන් අතර ඉතාම ජනප්‍රිය රසකැවිල්ලක්. විශේෂයෙන්ම නත්තල් කාලයෙදී නම් ගෙවල්වල මේ කොකනට් ස්නෝ බෝල හදන්න අමතක කරන්නෙම නැහැ. ග්‍රෑම් 390ක උකු කිරි ටින් එකක්, ගාගත් පොල් ග්‍රෑම් 325ක් සහ වැනිලා එසන්ස් මේසහැඳි 1ක් මේ සඳහා අවශ්‍යයි.

පොල් ග්‍රෑම් 325න් වෙනම පොල් ග්‍රෑම් 50ක් වෙන්කර පසෙකින් තබාගන්න. ඉතිරි පොල් සෝස්පෑන් එකකට දමා ටින්කිරි සමඟ මිශ්‍ර කරමින් මිශ්‍රණය තැටියෙන් ගැලවෙන තෙක් මිනිත්තු 5ක් පමණ මඳ ගින්නේ පිසගන්න. එයට වැනිලා එසන්ස් එකතුකර නැවත මිශ්‍ර කරන්න. දැන් ළිප නිවා මිශ්‍රණය සිසිල් වෙන්න තබන්න. දැන් එම මිශ්‍රණයෙන් කුඩා බෝල සකසා ගන්න. බෝල සකසා ගැනීමේදී අත්වල තෙල් තවරා ගත යුතුය. බෝල මත ඉතිරි පොල් ටික තවරා ගෙන පිළිගන්වන්න.