මලේ නම ඕලූ මෙහෙම හදලා රසලූ

ඔක්තෝබර් 7, 2024

 

ඈත අතීතයේ පටන් ජලය මිනිසාට ඉතා ප්‍රයෝජනවත් සාධකයක් වුණා. එකල ජලයේ වැවෙන ශාක ආදිය ද මිනිසාගේ එදිනෙදා අවශ්‍යතා සඳහා යොදා ගත්තා. ඒ අතර නොගැඹුරු වැව් ජලයේ වැවෙන ඕලු ඔසුවක් වශයෙන් බොහෝ ප්‍රයෝජනවත් වන අතර විවිධ ආහාර ලබාදෙන ආර්ථිකමය වටිනාකමක් ඇති ශාකයකි. අලංකාර සුවඳවත් මලක් පිපෙන ඕලු ශාකයේ මල්, අල, දඬු, ඇට, මල් රේණු ආදි සියල්ලම ආහාරයට ගන්නා අතර ඒ සියල්ලක්ම ඖෂධීය ගුණයෙන් යුක්ත වේ.

බොහෝදෙනා ඕලූ හදුනන්නේ එහි ඇති ආහාරමය හා ඔසු ගුණවලට වඩා මලක් වශයෙන් එහි ඇති අලංකාරවත් බව සහ ප්‍රසිද්ධිය නිසාය. මෙම ශාඛය පිළිබඳව සලකා බැලිමේදි ඉතා ඈත අතිතයේ සිටම මෙය මිනිසාගේ විවිධ අවශ්‍යතාවයන් සඳහා යොදාගෙන ඇති බව පෙනේ. මෙහිදි ඖෂධ වශයෙන් ගත්කල බොහෝ කලක පටන් ඕලු ශාකයේ කොටස් විවිධ ඔසු සඳහා යොදාගෙන ඇති බව ආයුර්වේදයේ සඳහන් වේ.

 

ඖෂධීය ගුණය

 

ඕලු මල් වර්ණ කීපයකින් දැකිය හැකි අතර සුදු, රතු, කහ ආදී වශයෙන් ලංකාවේ බහුලවම දක්නට ලැබේ.

ඕලු ගහේ පංචාංගයම ආහාරයට එක් කර ගන්නවා. ඕලු මුලෙන් කැඳක් වගේම, ඕලු දලු සම්බෝලයක් ලෙසද ආහාරයට එක් කර ගනී. ඒ වගේම, ඕලු දඬු ඇඹුල ද පැරැන්නන් අතර ජනප්‍රිය කෑමකි. ඕලු මලේ පෙති ඉවත් කරලා ඕලු ගෙඩිය ව්‍යංජනයක් ලෙස ද සකසා ගත හැකියි.

ඕලු අල හා දඬු කාන්තාවන්ගේ ඇඟ නිවිමට, අධික ඔසප්වීමට සහ ඇඟ උණුකරවායාම ආදියට ද ගුණදායකය. ඕලු අල දියවැඩියා රෝගීන්ට මෙන්ම ගොනෝරියා රෝගීන්ටද ගුණදායක වේ. ඕලූ තුන්දොස් සමන ගුණයෙන් යුක්ත වේ. එසේම සෙම් පිත් රෝග සඳහා උපයොගි කර ගනී.

වමන, පිපාස, අතිසාර, ලේ අර්ශස් සඳහාද යොදාගනී. තවද ඕලු (ඇට) බත් දියවැඩියාව සඳහා ඉතා ගුණදායකය. ඕලු ගර්භස්ථාපන ගුණ යුතු අතර ගැබිනි අවස්ථාව්දි යොදා ගැනීමෙන් ගර්භස්‍රාව ආදී උපද්‍රවයන් වළකාගත හැකිය. මේ අතර ඕලුවල උණ නසන ගුණයෙන් යුතු හෙයින් දාහයද සමනය කරනු ලබයි. එමෙන්ම ඕලු වස්තියට හා මෛථුන ශක්තියට අභියෝග කරන හෙයින් එවැනි අහිතකර තත්ත්වයන් සමනය කිරිම සඳහා මී පැණි, සූකිරි ආදිය යොදා ගැනීම අතිශයින් යෝග්‍ය වේ.

ඒ වගේම ඕලු දඬු නහර ගැට ගැසීමේ රෝගයටත් ඉතාම ගුණදායක බව එහි සඳහන්. ස්නායු රෝගවලට වගේම, අම්ලපිත්ත ප්‍රදාහයටත්, අධික රුධිර පීඩනය සමනය කිරීමටත්, නහර ගැට ගැසීම අවම කිරීමටත්, ශරීරයේ අවහිරව පවතින සියලු කොටස් දිය කර හැරීමටත් ඕලු ගුණදායක බව අන්තර්ජාලයේ වැඩි දුරටත් සඳහන්.

ඕලු සහල් ලෙස සැලකෙන්නේ මේරූ ඕලු මල්වල හටගන්නා ගෙඩිවලින් නෙළා ගන්නා ඕලු ඇටයි. මේවා සෝදා ගරා බත් හෝ කැඳ ලෙස පිසිනු ලබනවා. ඕලුහාල් අක්මාව සම්බන්ධ රෝගවලටද ඉතා ගුණදායකයි. ආහාර ජීර්ණ ක්‍රියාවලිය හොඳින් පවත්වා ගැනීමටත්, අර්ශස් රෝගය වළක්වා ගැනීමටත් දායක වන අතර ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කර වකුගඩුවල නිරෝගී බව පවත්වා ගැනීමටත් උපකාර වෙනවා. පිත්තාශයේ සහ වකුගඩුවල ගල් සෑදීම පාලනය කරන අතර ගල් දිය කිරීමේ හැකියාවෙන්ද යුක්තයි.

හදවතට සමීප ආහාරයක් ලෙස සැලකෙන ඕලු හෘද රෝගීන්ට ගුණදායක වන අතර රුධිර කැටි ගැසීම පාලනය කරවනවා. සෙම කිපීමෙන් ඇති වන රෝග සමනය කරන අතර ඇස් පෙනීම වැඩි දියුණු කරවනවා. ඕලු ඇට සෝදා ගරා බතක් ලෙස හෝ කැඳක් ලෙස පිස ගෙන ආහාරයට ගනු ලැබේ. අබ ඇට වලට වඩා මඳක් විශාල වූ ඕලු ඇට රැයක් පෙඟෙන්නට තබා උදෑසන බතක් ලෙස පිස ගත හැකිවේ. එළවළු සමඟ ආහාරයට ගත හැකිවා මෙන්ම මී කිරි මුසු කොට වුවද ආහාරයට ගැනීම ඉතා රසවත් වේ. ඕලු හාල් ග්‍රෑම් 100 පමණ ප්‍රමාණයක් දෙදෙනකුගේ ආහාර වේල සරි කර ගත හැකි වේ. එසේම ඕලු ඇට ජලයේ පෙඟෙන්නට හැර ගලකින් අඹරා ගෙන පොල් සමඟ මිශ්‍ර කර රොටී සාදා ගත හැක. සාමාන්‍ය පාන්පිටිවලින් සාදන රොටීවලට වඩා ඉමිහිරි රසයෙන් යුක්ත වන මෙම රොටී ඉඳහිට හෝ අපේ කෑම වේලට එකතු කර ගැනීමෙන් පෝෂණීය ඛනිජ ද්‍රව්‍ය ශරීරයට එකතු කර ගත හැකි වෙනවා.

එසේම ඕලු ඇට අඹරා ගන්නා පිටි පාන්පිටි මෙන් ඇලෙන සුළු හා පිපෙන ගතියෙන් යුක්ත වන නිසා කේක්, බනිස්, බිස්කට් ආදිය සාදා ගත හැකිය. වැඩිහිටියන් වන අප මෙම ඖෂධීය ආහාර කෑමට රුචියක් දැක්වුවත් බොහෝවිට අපේ කුඩා දරුවන් මේ පෝෂණිය ආහාර ප්‍රතික්ෂේප කරන අවස්ථා ඇත. එවැනි අවස්ථාවල මෙවැනි පෝෂණ ගුණයෙන් යුතු ආහාර ඔවුන් කෑමට ආසා කරන ස්වරූපයෙන් සකස් කර දීම තුළින් ඔවුන්ටත් මේ පෝෂණීය ආහාර ලබා දිය හැකිය. ඒ තුළින් අපේ ඉදිරි පරම්පරාව මෙම බෝ නොවන රෝග ගණයට අයත් දියවැඩියාව, අධික රුධිර පීඩනය ආදී රෝගවලින් වළක්වා ගත හැකිය.

-----------------------------

ඕලූ දඬු වෑංජනය

අපේ පැරැන්නන් රස විඳපු වස විස නැති රසවත් දේශීය වෑංජනයක් විදිහටයි ඕලු දඬු වෑංජනය හඳුන්වන්නේ. අද කාලේ කන්න වෙන වස විස ආහාරත් එක්ක බලද්දි ඕලු දඬු කියන්නේ ඖෂධීය ගුණයෙන් සපිරි රසවත් ආහාරයක්.

මේ සඳහා ළපටි ඕලු දඬු කිහිපයක්, තළාගත් සුදුලූනු, ලියාගත් රතුලූනු, අමු මිරිස් හෝ නයි මිරිස්, කහ, අමු තුනපහ කුඩු, මිරිස් කුඩු හා බැදපු තුනපහ කුඩු, ඔබේ රස පදමට, අබ ස්වල්පයක්, කැබලි කපාගත් ලොකු තක්කාලි ගෙඩි 2ක්, මිටිකිරි කෝප්පයක් සහ රස අනුව ලුණු අවශ්‍යයි.

මුලින්ම ඕලු දණ්ඩේ තියෙන තද දුඹුරු පාට කොටස නූල් ඇරලා ඉවත් කර කුඩා කැබලි කපාගන්න. මඩ ඉවත් කිරීමට ඒ ටික විනාඩි 10ක් පමණ ලුණු වතුරේ දමා තබා මිරිකා ගන්න. මැටි හට්ටියක් ළිපේ තබා තෙල් ස්වල්පයක් රත් කර අබ පුපුරුවා ගන්න.

එයටම ඕලු දඬු හා පොල්කිරි හැර තළාගත් සුදුලූනු හා අනෙකුත් ලියාගත් කළමනා සියල්ලක්ම එකතු කොට මඳ ගින්දරේ ටික වේලාවක් තෙම්පරාදු කරන්න.

එයටම තුනපහ වර්ග එකතු කරන්න. හැන්දකින් තක්කාලි ටික පොඩි කරන්න. ටික වේලාවකින් හොඳ සුවඳවත් තක්කාලි පේස්ට් එකක් හැදෙනවා.

දැන් එයට ඕලු දඬු එකතු කරලා ටික වේලාවක් තෙම්පරාදු කර උකු පොල්කිරි එකතු කර පිසගන්න. ලුණු හා තුනපහ මදි නම් එකතු කරන්න.

බත්, පොල් රොටී, පාන් ඕනෑම කෑමක් එක්ක කන්න පුළුවන් හරිම රසවත් වෑංජනයක්.

 

උපදෙස් හා ඡායාරූප

ප්‍රවීණ සූපවේදිනී

තිලානි විතානගේ