හරියට කේක් හදන්න මෙතැනින් පටන්ගන්න

ඔක්තෝබර් 21, 2024

 

මේ දවස්වල ඔයාලා කේක් බඩු, බේකිං බඩු ගන්න, හඳුනා ගන්න බැරිව ළතැවෙනවා නේද? තරුණී දුරකථනයට දසතින් ගලා එන ඇමතුම් අතරින් පාඨක ඔබ අහනවා කේක් බඩු, බේකිං බඩු මොනවාද කියලා. ඉතින් ඒ අය වෙනුවෙනුයි මේ දිග හැරුම.

 

1. මිනුම් කප් හා හැඳි (Measuring cups & Spoons)

 

කේක් හා බේකිංවලදී මිනුම් ඒකකයක් ලෙස භාවිත කරන්න පුළුවන්. ජත්‍යාන්තර ලෙස පිළිගත් මිනුම් ඒකකයක් වෙනවා. දියර වර්ග පිටි වර්ග මැනීමට උපකාරී වෙනවා. මේක ඔයාට ගොඩාක් වැදගත් උපකරණයක් වෙනවා බේකිං කටයුතුවලදී. පුළුවන් නම් ගන්න බලන්න. සුපිරි වෙළෙඳසැල්වලින් ගන්න පුළුවන්. බේකිංවලදී ඔයලා අතේ තියෙන අඬු කෝප්පය, ගෙදර තේ හැන්ද, හොදි බෙදන හැන්දෙන් මේ මැනීම් කරන්න එපා. ඒක වැරදියි.

 

2. හැන්ඩ් බීටරය (Hand beater)

 

මේක කේක් එක මිශ්‍රණය කිරීම සඳහා උපකාරී වෙනවා. හෑන්ඩ් බීටරයේ හුක් වර්ග දෙකක් තියෙනවා. එකකින් කේක් / බිත්තර මිශ්‍රණය කර ගන්න පාවිච්චි කරන්න පුළුවන්. අනෙක් හුක් එක ඩෝ එකක් ඇනීම සඳහා භාවිත කළ හැකියි. එහෙත් සැරින් සැරේට නවත්ත නවත්ත තමයි බීට් කළ යුත්තේ.

 

3. තරාදිය (scale)

 

පිටි වර්ග, බටර් වර්ග කිරා ගැනීමේදී ගොඩාක් පහසු වෙනවා. ඔයාට අවශ්‍ය කුඩා ප්‍රමාණයක් වුණත් හරියටම තරාදිය මඟින් කිරා ගන්න පුළුවන්. මේ තරාදි සඳහා Electric scale භාවිත කිරීම තවත් ගොඩාක් පහසුයි.

 

4. මිනුම් ජොග්ගුව (Measuring jugs)

 

මේවා ප්ලාස්ටික් හා වීදුරු වශයෙන් මිලදී ගැනීමට හැකිය. වීදුරු ඒවා නම් pyrex සහ anchor ගන්න තියෙනවා. ඒ වගේ වීදුරු ජොග්ගු මිලෙන් අධික වන අතරම අවන් සඳහා භාවිත කිරීමට වුණත් පුළුවන්. මේකත් දියර වර්ග මැනීමේදී බෙහෙවින් උපකාරී වේ.

 

5. කේක් තැටි වර්ග (Cake trays)

 

අද වෙළෙඳපොළේ විවිධ වර්ගයයෙන් හා විවිධ හැඩවලින් කේක් තැටි ගන්න පුළුවන්. ඒවගේම කේක් තැටි ඇලුමිනියම්, නන්ස්ටික් හා සින්තටික් වැනි තැටි ඇති. එක එක ගණන්වලින් මිලදී ගැනීමට හැකියාවක් තියෙනවා. කේක් එකේ ප්‍රමාණය අනුව තැටියේ ප්‍රමාණය ද වෙනස් වෙනවා.

6. වික්ස් (Vhisk)

 

හෑන්ඩ් බීටර් එක භාවිත නොකරන අවස්ථාවලදී මේ විස්ක් එක භාවිත කරලා මිශ්‍රණය හොඳට මිශ්‍ර කර ගන්න පුළුවන්. විවිධ හැඩතල විස්ක් වර්ග තිබුණත් දැනට ලංකාවේ නම් තියෙන්නෙ සාමාන්‍යයෙන් නිතරම භාවිත වන වික්ස් එක පමණක්ය. අනෙක් විස්ක් ටිකත් බලන්න. ඒවායෙන් ගන්න ප්‍රයෝජන සඳහන් කර ඇත.

 

7. කේක් දැල (Cooling Rack)

 

බේකිංවලදී බේක් කරන ලද කෑමවල මෘදු බව (softness එක) ලබා ගැනීමට නම් අපි අවන් එකෙන් බා ගත් විගසම කූලින් රැක් (cooling Rack) එකට දාන්න ඕනා. කූලින් රැක් එකේ හිමීහිට නිවෙන්න දෙන්න අවශ්‍යයි.

 

8. ස්පැචිලර් (Spatula)

 

කේක් එකට පාන්පිටි දාන අවස්ථාවේදී නිතරම කියන දෙයක්නේ කේක් එක බීට් කරන්න එපා කළවම් කරන්න කියලා. ඒ සඳහා මේ spatula එක භාවිත කරන්න පුළුවන්. ඒවගෙම මිශ්‍රණයේ බිංදුවක්වත් අපතේ නොයවා එකතු කර ගැනීමට ද හැකියාවක් තියෙනවා වගේ මිශ්‍රණය ලස්සනට මට්ටම් කිරීමට තැවරීමට ද භාවිත කළ හැකි වේ.

 

9. නොසල් (Nozzle)

 

නොසල් එකක් භාවිත කර කේක් එකක් ලස්සනට හැඩ වැඩ කර ගන්න පුළුවන් වගේම ඩෝනට් හදනකොට ක්‍රීම් බනිස් හදනකොට ෆිලිං එක පුරවන්නත් උපකාරී වෙනවා.

 

10. පයිපිං බෑග් (Piping bags)

 

මුලින් නොසල් එකේදී කිව්වා වගේ බෑග් එකෙන් දමා පයිප් කරන කොට ලස්සනට අවශ්‍ය හැඩය ගන්න පුළුවන්. හැමතැනම ගා ගන්නේ නැතිව. පයිපින් බෑග්, ප්ලාස්ටික් හා සිලිකන් බෑග් විදිහට ගන්න තියෙනවා. හෝදලා නැවත පාවිච්චි කරන්න පුළුවන්.

 

11. කේක් සාදන්න ගන්න භාජන

(Mixing bowls)

 

කේක් හෝ බේකිං වැඩ සඳහා ඔයාට ලේසි වෙන්න වෙනම බෝල් එකක් තියාගන්න. ඒක ඔයාට ප්ලාස්ටික්, වීදුරු, ඇලුමිනියම් හො සිලිකන් විදිහට වුණත් භාවිත කරන්න පුළුවන්. ටිකක් ලොකු එකක් තියාගන්න රොටී, බනිස් කේක් වගේ ඩෝ එක හදාගන්න.

 

12. රෝලිං පින් (Rolling pin)

 

 

බනිස්, රොටි වර්ග හදන කොට ඩෝ එක තුනී කරන්න වගේම කේක්වලදී ඔයා හදන ෆොන්ඩන්ට් අයිසිං එක තුනී කරන්නත් රෝලිං පින් එක අවශ්‍ය වෙනවා. මේවා ලීං ප්ලාස්ටික්, නන්ස්ටික්, සිලිකන්, ඇලුමිනියම් ආදියෙන් මිලදී ගත හැකිය.

 

13. පින්සල් (Brush)

 

මෙමඟින් බේකිං කෑමවලදී අවන් එකට දාන්න කලින් බිත්තර / කිරි / බටර් හෝ ගාර්ලික් බ්‍රෙඩ් හදනකොට ගාර්ලික් ගාන්න භාවිත කරනවා. පිපුණු ඩෝ එකේ (බිත්තර ගෑමට) (eggwash) කිරීමට ගන්නවා.

 

14. තෙල් කඩදාසිය / පාච්මන්ට් පේපර්

 

කේක් එක තැටියට දාන්න ප්‍රථමයෙන් කේක් තැටිය සූදානම් කිරීමේදී ට්‍රේ එකට බටර් ටිකක් දමා තෙල් කඩදාසියක් හෝ පාච්මන්ට් පේපර් එකක් දානවා. ඒකෙන් කේක් එක ඩෝ එක තැටියේ ඇලීම වළකාලනවා. වැඩිපුර පිච්චෙන එක අවම කරනවා. ඒවගෙම තෙල් කඩදාසියට වඩා පාච්මන්ට් පේපර් එක ඝනකමින් වැඩි ටිකක්.

 

15. පෙනේරය flour sifter

 

කේක්වලදී හැම තිස්සේම කියන දෙයක්නෙ පිටි වර්ග කිහිප වතාවක්ම හළා ගන්න කියලා. එතැනදී දාන බේකිං පවුඩර්, බේකිං සෝඩා හොඳට මිශ්‍රණය වීමක් වෙනවා. එබැවින් 4, 5 වතාවක් වුණත් පිටි හළා ගැනීම වැදගත්. ඒවගේම කේක් එකක් හෝ පෑන් කේක් එකක් හෝ වොෆ්ල් එකක් හැඩවැඩ කරන්න අයිසිං සීනි, කොකොවා පවුඩර්, කෝපි පවුඩර් ඉහින්නත් ගන්නවා.

 

16. පැලට් නයිෆ් (Palette knife)

 

කේක් එක අලංකාර (decoration) කිරීමේදී ගොඩාක් වැදගත් වෙනවා.

 

17.Turntable Rotating Cake Decorating Plate

 

කප් කේක් එකක් අයිසිං කිරීමේදී පහසුවෙන් ලස්සනට කරකවමින් අයිසිං කරගැනීමට මෙයින් හැකියාව ලැබෙනවා.

 

18. Adjustable Metal Cake Cutter

 

මේ උපකරණ මඟින් කේක් එක එක සමාන තට්ටු ආකාරයට කපාගෙන වෙන් කර ගැනීමට හැකියාවක් තියෙනවා. පිහියෙන් කපනකොට කේක් එක එකම ප්‍රමාණයට කපාගන්න ටිකක් අමාරු නිසා මේ වගේ උපකරණයක් කේක් වැඩිපුර හදන කෙනෙක්ට උදව්වක් වෙයි.

 

19. Stainless Steel Pizza Dough Scraper

 

මේක කේක්වලදී වගේම බේකිංවලදී, රොටී සාදනකොට අපිට අවශ්‍ය වෙනවා. කේක් එක රෝටෙට් ටේබල් එකට දාලා අයිසිං කරන ගමන් මෙමඟින් කේක් එක Smooth and neat කර ගන්න උදව් වෙනවා.

 

20.ෆොන්ඩන්ට් කේක් ඩෙකරේෂන් ටූල්ස් (Fondant cake decorating tools)

 

මේවා ගොඩාක්ම අවශ්‍ය වන්නේ ෆොන්ඩන්ට් අයිසිංවලින් හදන කේක් සඳහායි. කේක් එක හැඩ කර ගන්න විවිධ හැඩතල හදාගන්න උදව් කර ගන්න පුළුවන්.

 

21. අවන් ග්ලවුස් Oven gloves

 

බේකිංවලදී අපිට අවශ්‍ය දෙයක් තමයි ග්ලවුස් කියන්නේ. අවන් එකට දමා පිටතට ගන්නා අවස්ථාවේදී රත් වූ තැටිය අල්ලන්න අපහසු බැවින් ඒකට තමයි මේ ග්ලවුස් භාවිත කරන්නේ.