වර්ෂ 2025 ක්වූ January 13 වැනිදා Monday
සංහිඳියාවේ නෑකමෙන් බෙදා ගැනෙන තෛපොංගල් රස
ශ්‍රී ලාංකේය අපි සෑම ජන වර්ගයක් හා එක්ව සමඟියෙන්, සහයෝගයෙන් සියලු ජාතීන්ගේ උත්සව සමරමින් සතුටින් ජීවත් වීමයි කාගේත් හිතේ සැනසීම. සිංහල, දමිළ, මුස්ලිම් වැනි විවිධ ජාතීන් මෙරටෙහි වාසය කරති. ඔවුන්ගේ විවිධ සංස්කෘතික උත්සව අතරින් තෛපොංගල් දිනය උත්සව සිරියෙන් සෑම වසරකම සමරන්නේ මහත් භක්ත්‍යාදරයෙනි.
සූර්යා කේන්ද්‍ර කර ගත් තෛපොංගල් උත්සවය සශ්‍රීකත්වය සංකේතවත් කරමින් අපේ රටේ හින්දු බැතිමතුන්ද සමරන්නේ ආගමික කටයුතු සඳහා මුල් තැන ලබා දෙමිනි. එම සංස්කෘතික උත්සවයේදී ඔවුහු තෛපොංගල් බතක් සෑදීම සෑම නිවෙසකම සිදුකරති. එයට අමතරව ඔවුන්ගේ හින්දු සංස්කෘතියට ආවේණික වූ කෑම බීම සාදා තම අසල්වැසියන් සමඟ බෙදා ගැනීමද ඉතාම අගනා ආගමික සංහිඳියාවකි.
එම සංස්කෘතික බැඳීම තවත් ශක්තිමත් කිරීමේ අපේක්ෂාවෙන් අපද ඔබට සුවිශේෂි ඉන්දියානු කෑම වට්ටෝරු කිහිපයක් තිළිණ කරන්නෙමු.
සාම්ප්‍රදායික තෛපොංගල් බත
* සෝදාගත් මුං ඇට කෝප්ප 1/2 ක්
* සෝදාගත් සහල් කෝප්ප 01ක්
* ගිතෙල්
* වතුර
* කිරි කෝප්ප 01ක්
* හකුරු කෝප්ප 02ක්
* කරදමුංගු ඇටයක් දෙකක්
* වතුර කෝප්ප 04ක්
* කුඩාවට කපාගත් කජු මේස හැඳි 02ක්
* වියළි මිදි 10ක් 12ක්
01. මුලින්ම භාජනයක් ළිප තබා එයට ගිතෙල් මේස හැන්දක් එක්කර ගන්න.
02. එයට සහල් සහ මුං ඇට දමා හොඳින් කළවම් කර වතුර කෝප්ප 02ක් සහ කිරි කෝප්ප 01ක් එකතු කර හොඳින් කළවම් කරගන්න.
03. භාජනය වසා සහල් සහ මුං ඇට බෙරිවෙන තුරු හොඳින් තැම්බී වතුර හිඳෙන තුරු පිසගන්න.
04. වෙනම භාජනයක් ළිප තබා එයට හකුරු කෝප්ප 02ක් සහ වතුර කෝප්ප 04ක් එකතු කරගන්න. හකුරු හොඳින් දියවී තරමක් උකු මිශ්‍රණයක් සෑදෙන තුරු හැඳිගාමින් කළවම් කරගන්න.
05. තවත් භාජනයක් ළිප තබා එයට ගිතෙල් මේස හැඳි 02ක් එකතු කර තෙල් රත්වන විට එයට කජු සහ වියළි මිදි එක්කර කජු රන්වන් පැහැවන තුරු මඳක් බැදගන්න.
06. පිසගත් බත් සහ මුං ඇට මිශ්‍රණයට
දිය කරගත් හකුරු, කරදමුංගු, බැදගත් කජු, වියළි මිදි සහ ගිතෙල් මේස හැන්දක් එක්කර හොඳින් කළවම් කරගන්න.
07. පිළිගන්වන විට ගිතෙල් ස්වල්පයක් උඩින් වත් කර පිළිගැන්වීමෙන් සාම්ප්‍රදායික පොංගල් බතක රස සහ සුවඳ තවත් වැඩිපුර රස විඳින්න ඔබට පුළුවන්.
-------------------------
කීර්
කිරි ලීටර් 1ක්
කීරී සම්බා ග්‍රෑම් 125ක්
සිහින්ව අඹරා ගත් කජු ග්‍රෑම් 100ක්
වියළි මිදි ග්‍රෑම් 100ක්
සීනි ග්‍රෑම් 100ක්
බටර් 100ක්
වතුර කෝප්ප 1/2ක්
වර්මසීලි ග්‍රෑම් 25ක්
01. මුලින්ම මයික්‍රෝවේව් උදුනක දැමිය හැකි භාජනයකට බටර් එක්කර මයික්‍රෝවේව් උදුනට දමාගන්න. උපරිම උෂ්ණත්වයේ තත්පර 20ක් පමණ තබන්න.
02. එය පිටතට ගෙන එයට කජු, වියළි මිදි සහ වර්මසීලි එක්කර නැවත මයික්‍රෝවේව් උදුනට දමා උපරිම උෂ්ණත්වයේ මිනිත්තු 2ක් පමණ රන්වන් පැහැ ගැන්වෙනතුරු බැදගන්න.
03. මෙය පිටතට ගෙන එයට සහල්, වතුර, කිරි සහ සීනි එක්කර නැවත මයික්‍රෝවේව් උදුනට දමා උපරිම උෂ්ණත්වයේ මිනිත්තු 15ක් පමණ පිසගන්න.
-------------------
රාවා කේසරි
රුලං (රාවා) පීරිසි කෝප්ප 1ක්
සීනි ඔබේ රස අනුව
අවශ්‍ය නම් කජු හා මුද්දරප්පලම්
ෆ්‍රෙෂ් මිල්ක් පීරිසි කෝප්ප 2ක්
ගී හෝ බටර් පුරවා මේස හැඳි 1ක්
සැප්රන් ටිකක් හෝ එග් යෙලෝ
කලරින් බිංදුවක්
හදන්න පටන් ගන්න කලින් බටර් හෝ ගිතෙල් ගා ගත් ලෑල්ලක් හෝ පැතලි පිඟානක් ලෑස්ති කර පසෙකින් තබන්න.
01. රාවා කියන්නෙ රුලං. රාවා කේසරී කියන්නෙ රුලං කේසරීවලටම තමයි. රුලං ටික වියළි භාජනයකට (Non Stick නම් හොඳයි) දමා අඩු ගින්දරේ හැන්දකින් කළවම් කර විනාඩියක්
පමණ කබලේ බැද ගන්න. (දුඹුරු පාට වෙන්න දෙන්න එපා)
02. එයට ෆ්‍රෙෂ් මිල්ක් හා රස අනුව සීනී දමා අඩු ගින්දරේම හැඳි ගාන්න. බටර් හා කලරිං එකතු කර කැටි ගැහෙන්න නොදී නොනවත්වාම හැඳි ගාන්න.
03. එක දිගටම අඩු ගින්දරේ හැඳි ගානකොට මිශ්‍රණය ඝනකම් වී එක ගුළියකට එනවා.
04. ළිප ඕෆ් කර පරිස්සමට මිශ්‍රණය කලින් බටර් ගා සූදානම් කර ගත් ලෑල්ලට හෝ පිඟානට දමා ස්පැචුලා එකකින් හෝ කෙසෙල් කොළේකින් පැතලි කර ගන්න.
05. ඒ එක්කම බටර් ගා ගත් පිහියකින් කෑලි මාක් කර කපා ගන්න. අවසානයට කජු හා මුද්දරප්පලම්වලින් සරසා ගන්න.
---------------------
පායසම්
සව් ඇට ග්‍රෑම් 50ක්
කිරි අඬුකෝප්ප 2ක් (පිටි කිරි දියකරගෙන හෝ ෆ්‍රෙෂ් කිරි)
සීනි
කරදමුංගු ඇට 4ක්
කජු සහ වියළි මිදි ස්වල්පයක්
01. සව් ඇට ටික භාජනේකට දමා ටිකක් බැදගන්න. අඩු ගින්දරේ බදින්න.
02. කිරි කෝප්ප දෙක භාජනේක දමා ළිපේ තියන්න. කිරි රත් වුණාම බැදගත් සව් ඇට දමන්න.
03. කරදමුංගු, සව් ඇට තැම්බුණාට පසුව මෙයට රස අනුව සීනි එක්කරන්න. හොඳින් උකුගතියට ගන්න.
04. බටර් හැන්දක් පමණ වෙනම රත් කර කජු සහ වියළි මිදි යන්තම් පාට වෙන්න බැදගන්න.
05. මේ බැදගත් කජු සහ වියළි මිදි සාදාගත් සව් එක සව් භාජනයේ උඩින් දමාගන්න.
----------------------
රුලං ලඩ්ඩු
ලඩ්ඩු කියන්නේ ලොකු පොඩි හැමෝම ආසාවෙන් රස බලන කෑමක්. ඉතින් රුලං වලින් විවිධ කෑම වර්ග රස බලන ඔයාලට අද අපි කියලා දෙන්නේ ලඩ්ඩු හදන විදිය ගැන.
* රුලං කෝප්ප 1 1/2ක්
* ගා ගත් පොල් කෝප්ප 1
* ගිතෙල් මේස හැඳි 2 1/2ක්
* උකු ටින් කිරි පොඩි ටින් 1
* තළා ගත් කරදමුංගු
* කුඩුකරගත් හකුරු කෝප්ප 1/4ක්
* කැබලි කර ගත් කජු ග්රම් 50ක්
01. භාජනයක් ළිප තබා එයට ගිතෙල් දමා රත් කර ගන්න.
02. එයට රුලං එක් කර විනාඩි 6 - 7ක් මඳ ගින්නේ හොඳින් හැඳි ගාමින් බැද ගන්න.
03. පොල් එක් කර විනාඩි 2 - 3ක් බැදෙන්න හරින්න.
04. කරදමුංගු කුඩු, හකුරු, කජු සහ ටින් කිරි එකතුකර ගන්න.
05. මඳ ගින්නේ හැදි ගාමින් මිශ්‍රණය ගුළියක් වූ පසු ළිපෙන් බාගන්න. මිශ්‍රණය නිවුණු පසු බෝල කර ගන්න.
උපදෙස්
ප්‍රවීණ සූපවේදීනී
සර්වදර්ශනී අප්සරා