කරවිල සහ රූපලාවණ්‍ය

දෙසැම්බර් 3, 2018

කරවිලවල ඇති තිත්ත රසය නිසා වැඩි දෙනෙක් කෑමට අකැමැති එළවළුවක් වුණත් කරවිලවල ඇති වටිනා ඖෂධීය ගුණ පිළිබඳ ඔබ දැනගෙන සිටියා ද?

එහි ඇති පෝෂණ ගුණය ගැන ඔබ දැන සිටියා නම්, කිසිදිනෙක කරවිලවල තිත්ත රසය ගැන තැකීමක් නොකරාවි. කරවිලවල යකඩ, පොටෑසියම්, මැග්නිසියම් සහ ඉහළ තලයේ විටමින් වර්ග රාශියක් අඩංගුයි. එමෙන්ම බීටා කැරොටින් ද යහමින් අඩංගුවේ. කරවිල ව්‍යාංජන, කරවිල බැදුම, කරවිල සම්බෝලය ලෙස කරවිල ආහාරයට ගැනීමෙන්ද පෝෂණයක් ලැබෙන නමුත් කරවිල යුෂ පානය කිරීම ඉතා ප්‍රතිඵලදායක වේ. ඔබත් කරවිල පානය කරනවා නම් මේ වාසි ඔබටත් ලබා ගන්න පුළුවන්.

දියවැඩියාවට සහ තරබාරුවට

කරවිල දියවැඩියාවට ඔසුවකි. ඊට අමතරව ශරීරයේ පවතින අනවශ්‍ය සීනි ප්‍රමාණයත් ඉවත් කර, සිරුරේ පරිවෘත්තීය ක්‍රියා නිසිපරිදි සිදු කිරීමටත් කරවිලවලින් සිදුවන්නේ මහඟු මෙහෙයක්. මීට අමතරව අප ලබාගන්නා කාබෝහයිඩ්‍රේට්, සිරුරට උරාගන්නා සීනි සහ එහි අතිරික්තය නසා දමන්නට කරවිල සමත් වෙනවා. මේ හේතුව නිසාවෙන් සිරුර තුළ පිෂ්ඨය තැන්පත්වීමෙන් ඇතිවිය හැකි තරබාරු තත්ත්වයන් කරවිල ආහාරයට එකතුකර ගැනීම නිසා නැතිකර ගන්නට පුළුවන්.

මුත්‍රා ගල් ඉවත්කරයි

කරවිල මුත්‍රා ගල් ඇතිවීමේ රෝගී තත්ත්වයෙන් මිදෙන්නට අගනා ඔසුවක් ලෙසින් සැලකෙනවා. ආහාරයත් සමඟම සිරුරට එකතුවන ඖෂධයක් ලෙසින් සිරුරට එක්කාසුවීම වේගවත් කරන අතර අපට බාහිර ඔසු ලබාගැනීමෙන් තොරව මේ රෝග තත්ත්වයට පිළියම් ලබාගන්නට පුළුවන්.

කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරයි

වැරැදි ආහාර රටා මඟින් සිරුරේ පවතින කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යාම පාලනය කිරීමටත් කරවිල කියන්නේ හොඳ විසඳුමක්. හදවත් ආබාධ, හදවත් රෝග සහ රුධිර නාල ලේ කැටි ගැසීම් වැළැක්වීමටත් කරවිල සමත්කම් දක්වනවා.

පිළිකා සෛල මැඩපවත්වයි

පිළිකා නාශක ගුණ ඇති ආහාරයක් ගැන ඔබ කල්පනා කරනවා නම් ඔබේ මනසට මුලින්ම පැමිණිය යුතු ආහාරයක් ලෙස කරවිල දක්වන්නට පුළුවන්.

ඉහත සඳහන් කළ පරිදි සිරුර තුළ සීනි මට්ටම පාලනය කරන අතරතුර, අග්න්‍යාශ ආශ්‍රිත පිළිකා සෛල වර්ධනයවීම මැඩ පවත්වන්නට සමත්කම් දක්වනවා. මීට අමතරව කරවිල ආහාරයට එක්කාසු කර ගැනීම මඟින් පුරස්ථ ග්‍රන්ථි, මහා බඩවැල, අක්මාව සහ පියයුරු ආශ්‍රිතව පිළිකා සෛල ඇතිවීම වළක්වා ගත හැකියි.

ලේ පිරිසුදුකර සම පැහැපත් කරයි

කරවිල රුධිරයේ ඇති අපද්‍රව්‍ය ඉවත් කරයි. පිරිසුදු රුධිරය සියලු සෛලවලට ගමන් කළ විටයි සිරුර සෞඛ්‍ය සම්පන්න වන්නේ. එසේ පිරිසුදු රුධිරය සිරුර පුරා සංසරණය වන විට සම පැහැපත්වීම නිරතුරුවම සිදුවන දෙයක්. කරවිල ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් වන අතර එහි ඇති විටමින් ඒ සහ ඛ් මඟින් සම පැහැපත් කර සමේ රැළි වැටීම් වළක්වනවා. එමෙන්ම එය සම උඍ කිරණවලින් ආරක්ෂා කිරීමටත් උපකාරි වෙනවා. එසේම සමට වැලඳෙන ් ඉස්හොරි, කුරුලෑ, ලප, කැළැල්, පොතුකබර, පණු රෝග ආදි තත්ත්වයන් සඳහාත් කරවිල ඉතා ගුණදායකයි. මීට අමතරව සම මත ඇතිවන විවිධ තුවාල සහ අසාත්මිකතාවලටත් කරවිල යුෂ පානය කිරීම වැදගත්.

නිරෝගී කෙස් කලඹකට

කරවිල යුෂ හිස මත ගල්වා සම්බාහනය කිරීමෙන් හිසකෙස් යාම, රළු කෙස්, ඉස්හොරි සහ හිසෙහි කැසීම්වලට සුවයක් ගෙන දෙනවා. කරවිල යුෂ සෘජුවම හිසෙහි ආලේප කිරීමෙන් හිසකෙස් වැටීම වළක්වාගත හැකි අතර එයට මී කිරි ටිකක් එකතු කර ගැනීමෙන් හිස් කබලට සහ හිස කෙස්වලට කන්ඩිෂනර් එකක් ලෙස ක්‍රියා කරනවා.

ඇස්වල පෙනීමට

කරවිලවල ඇති බීටා කැරොටින් සහ විටමින් වැනි සංඝටකවලින් ඇසේ සුද ඇතිවීම හා දෘෂ්ටි ආශ්‍රිත රෝග ඇතිවීම වළකනවා.

ප්‍රතිශක්තිය වඩවයි

ශක්තිමත් ප්‍රතිශක්තිකරණ පද්ධතියක් මඟින් ලෙහෙසියෙන්ම අපට අහිතකර බැක්ටීරියා සහ රෝග තත්ත්වයන් ගෙන් මිදී සිටීමට හැකියාව ලැබෙනවා. ඉතින් කරවිල ආහාරයට එක්කර ගැනීමේදී, සෙම්ප්‍රතිශ්‍යාව, වෛරස් රෝග, උණ රෝගය ආදිය රෝග ඉතා පහසුවෙන් මඟහරවා ගන්න පුළුවන්. තවද ආහාර ජීරණය ක්‍රමවත්වීම නිසා ආහාර අජීරණවලින් මිදී සිරුර වඩාත් සෞඛ්‍ය සම්පන්න වනවා.

විටමින් මට්ටම නිසා ඔබව නිරෝගී කරවයි

විටමින්වලින් පොහොසත් මේ අපූරු ආහාරය, සිරුර තුළ රුධිරය අලුතින් නිපදවන්නට සහ අස්ථි ශක්තිමත් කරන්නට බොහෝ වැදගත් කාර්යභාරයක් ඉටුකරන බව නොරහසක්. මීට අමතරව ආමාශයේ දැවිල්ල සහ ඉන් ඇතිවන තුවාල සුවකිරීම සඳහාත් භාවිත කරයි. මෙයට අමතරව ක්‍රීඩාශීලී ජීවන රටාවක් සහිත පුද්ගලන්ට නිතර ඇතිවන මාංස පේශි ඉරීයාම් සහ ඒවායේ ඇතිවන වේදනාවන් අඩුකරන්නටද කරවිලවලින් සහය ලැබෙන අතර, කරවිල වැඩි ප්‍රමාණයක් ආහාරයට එක්කර ගැනීමෙන් සිරුරේ විටමින් මට්ටම ඉහළින් තබාගෙන සිරුර නිරෝගී කරගන්නට ඔබට අවස්ථාව ලැබෙනවා.

කරවිල යුෂ පානය කිරීම මෙතරම් ගුණදායක වුවත් දිනපතා පානය කිරීම අහිතකර වේ. එබැවින් සතියකට තුන්වතාවක් පමණ පානය කිරීම සුදුසු වේ. තවද ගර්භණී සමයේදී ද කරවිල පානය කිරීම එතරම් සුදුසු නැත.

 

 

විදුමිණි දිසාකරුණා