කාන්තා හද කලඹන ලොව සුපතල වෙළෙඳ නාම

දෙනෙත් හැර බලන්න මේ ඔබේ ලෝකයයි
මැයි 30, 2022

 

අවුරුදු 16 ක් වත් නොමැති අපේ රටේ දැරිවියක් හෑන්ඩ් බෑග් එකක ලාංඡනයක් දැක ඇසුවේ“ආ මේ ගුසි බෑග් එකක් නේද?“ කියායි. අපේ දරුවන් මේ විලාසිතා ලෝකයට මොනතරම් ආකර්ෂණය වී ඇත්ද යන්නට මෙය නිදසුනක් නොවේ ද?

ලොව පුරා ළඳුන්ගේ හද සොරා ගෙන ඇති දෙයක් වේ නම් ඒ ඇඟලුම්, හෑන්ඩ් බෑග්, සුවඳ විලවුන්, පාවහන් හා ආභරණයි.

පිරිමි වාහනවලට ඇලුම් කරන්නේ කෙසේද, කාන්තාවන් ඉහත කී දෑට දක්වන අපිරිමිත ආශාව එයට දෙවැනි නැත. වාහනයක් ගැන ඇසූ සැණින් ටොයෝටා, නිසාන්, සුසුකි, මර්සිඩිස් බෙන්ස්, හොන්ඩා, හුන්ඩායි, ජගුවර්, අවුඩි, ෆෝඩ්, බීඑම්ඩබ්ලිව්, ෆෙරාරි, ලැම්බෝගිනි, වොක්ස්වැගන් ආදී ලෙසින් පිරිමි අතොරක් නැතුව කියවයි. එලෙස කාන්තාවන්ට කියන්නට හැකි බ්‍රෑන්ඩ් නේම් ද බොහෝය, ඩියෝ, ලුවී වුටන්, බල්ගාරි, චැනල්, කාටියර්, බැලෙන්සියාගා ආදිය ඉන් සමහරකි.

පැරිස් විලාසිතා සතිය, මිලාන් විලාසිතා සතිය පමණක් නොව යුරෝපයේ සහ අමෙරිකාවේ විලාසිතා ප්‍රදර්ශන බොහොමයක් ළඳුන්ගේ සිත සොරාගෙන තිබේ. ඩුවාලිපා අඳින විදිය කොපි කරන්නට, බ්ලැක් පින්ක් ජිසෝ හෝ ලීසා කොපි කරන්නට පමණක් නොව රිහන්නා, කේට් කුමරිය, මේගන් මර්කල්, කිම් කාඩේසියන්, කින්ඩ්ල් ජෙනර්, කයිලි ජෙනර් කොපි කරන්නට ද අතේ මුදල් තිබේ නම් අපේ තරුණියන් පසුබට නොවේ. එදා නයෝමි කැම්බල්, වික්ටෝරියා බෙකම්, ඩයනා කුමරිය, ජූලියා රොබට්ස් වැනි ළඳුන් ගේ විලාසිතා යන්තමින් හෝ කොපි කළ අය බොහෝය.

ලොව සුපතල මේ ළඳුන් හැඩවෙන්නේ රුපියල් ලක්ෂ ගණන්, මිලියන ගණන් වටිනා ඇඳුම් පැලඳුම්වලින් බව ඔබ දන්නවා ද? මේ මිලියන ගණන් වටිනා ඇඳුම්, පාවහන්, බෑග්, සුවඳ විලවුන්, මේක්-අප්, ආභරණ නිර්මාණය කරන ලොව සුපතල වෙළෙඳ සමාගම් තිබෙන බව ඔබ දන්නවා ද? යුරෝපයේ සහ අමෙරිකාවේ විලාසිතා ප්‍රදර්ශන මෙහෙයවන්නේ මේ සමාගම් වේ. ලොව අංක එකේ වෙළෙඳනාම කාණ්ඩයට අයත් මේවායින් කිහිපයක් වන්නේ ඩියෝ, ලුවි වුටන්, බල්ගාරි, චැනල්, කාටියර්, බැලෙන්සියාගා, ගුසි, ප්‍රාඩා, සැන්ට් ලුරන්ට්, වැලන්ටිනෝ, ආමනී, ගිවෙන්චි, ෆෙන්ඩි, සාරා වැනි වෙළෙඳ නාමයන් ය.

මේ විලාසිතා ලෝකයට පෙන්වන්නේ සඟරා මඟිනි. එලෙස විලාසිතා වෙනුවෙන් ලොව පළ කරන සඟරා අතර ප්‍රමුඛයෝ වන්නේ වෝග්, හාපර් බසාර්, එලේ, GQ, L'Officiel, වැනිටි ෆෙයාර්, මාරි ක්ලෙයාර්, ග්ලැමර් ආදී සඟරාය. ඒ සමහරක් සඟරා අමෙරිකාව, එංගලන්තය, ඉන්දියාව, තායිලන්තය, කොරියාව ආදී රටවල එම භාෂාවන්ගෙන් ද මුද්‍රණය කෙරේ.

මේ බොහොමයක් වෙළෙඳ නාම යටතේ ඇඳුම්, පාවන්, හෑන්ඩ් බෑග්, සුවඳ විලවුන්, මේක්-අප් ආම්පන්න, ආභරණ ආදිය නිෂ්පාදනය කරයි. ඩියෝ ප්‍රමුඛ වන්නේ ඇඟලුම්, පාවහන්, හෑන්ඩ් බෑග්, සුවඳ විලවුන්, මේක්-අප් කට්ටල හා සම සුරකින ආලේපන ආදී නිෂ්පාදනයන් වෙනුවෙනී. ඩියෝ හෑන්ඩ් බෑග් ලොව ඕනෑම ළඳකගේ සිහිනයකි. මේ ඩියෝ හැන්ඩ් බෑග් එකක් ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ දහයක් හෝ ඊට වඩා වැඩි අගයක් ගනී. ඩයනා කුමරියට උපහාර ලෙසින් නම් කළ, ඇය ද භාවිත කළ වර්ගයේ බෑග් විලාසිතාව හඳුන්වන්නේ ලේඩි ඩියෝ ලෙසිනි. හොලිවුඩ් නිළි නැටලි පෝට්මන්, ටෙනිස් සූරියක වන එමා රැඩුකානු, දකුණු කොරියානු බ්ලැක් පින්ක් හි ජිසෝ, තායිලන්තය වෙනුවෙන් කිම්බර්ලි ඈන් මේ සන්නාමයේ නිරූපිකාවන් අතරින් කිහිපදෙනෙකි.

ලුවි වුටන් හෝ අනෙකක වුවද මිල ඊට දෙවැනි නැත.මෙහි හෑන්ඩ් බෑග්, ඇඟලුම් සුපිරි නිර්මාණයන්ය. දීපිකා පදුකෝන් ඉන්දියාව වෙනුවෙන් ලුවි වුටන් නියෝජනය කරන නිරූපිකාවයි. තායිලන්තය වෙනුවෙන් සුරූපී නිළි යායා උරස්සයා පෙනී සිටියි. චැනල් හෑන්ඩ් බෑග් එකක, සුවඳ විලවුන් කුප්පියක ගණන වුව ලක්ෂ පහ හයකි. ජෝ මෙලෝන් ලන්ඩන් වූ කලී සුවඳ විලවුන් සඳහාම ප්‍රමුඛ වෙළෙඳ නාමයකි. කාටියර් වෙන්වෙන්නේ ආභරණ වෙනුවෙනි. කාටියර් ලව් බ්‍රේස්ලට්, චේන් හා මුදු ලොව අංක එකේ ධනවත් ළඳුන්ගේ තේරීමකි. වයිට් ගෝල්ඩ්, ගෝල්ඩ් මෙන්ම පින්ක් ගෝල්ඩ් හා දියමන්ති යෙදූ මේ ආභරණ ආකර්ෂණීය විලාසිතාවෙන් තෝරා ගත හැකියි. බල්ගාරි නම ඇසුණු විට නයකුගේ හැඩය ගත් ඔරලෝසු මතකයට එයි. බල්ගාරි ආභරණ බොහෝ සුන්දරය. ගුසි ප්‍රසිද්ධ ඇඟලුම්, පාවහන් හා හෑන්ඩ් බෑග් සඳහාය. අවුරුදු 16 ක් වත් නොමැති අපේ රටේ දැරිවියක් හෑන්ඩ් බෑග් එකක ලාංඡනයක් දැක ඇසුවේ “ආ මේ ගුසි බෑග් ඒකක් නේද?“ කියායි. ඒ ඇසූ මට පුදුම සිතුණේ අපේ දරුවන් මේ විලාසිතා ලෝකයට මොනතරම් ආකර්ෂණය වී ඇත්දැයි කියාය. ගුසි ඇඟලුම් ද ඊට දෙවැනි නැත. චැනල් හෑන්ඩ් බෑග්, සුවඳ විලවුන් හා පාවහන් ද ඔබේ සුපිරිබව ලොවට කියයි.

මේවා මේ තරමටම මිල අධික ඇයි දැයි ඔබට සිතේවි. එයට හේතුව වන්නේ ලොව හොඳම අමුද්‍රව්‍ය යොදාගෙන මේවා නිෂ්පාදනය කිරීමයි. ඒ වගේම මේ සඳහා මිනිස් නිර්මාණශීලීත්වය, ස්වාභාවික ද්‍රව්‍ය අඩංගු වීම ආදිය තවත් හේතු කීපයකි. මොවුන්ගේ නිෂ්පාදනවල ඇති විශ්වාසයත්, පාරිභෝගික විශ්වාසය රැකීමත් ඒවා ලොව අංක එකේ වෙළෙඳ නාම බවට පත්තර ඇත. එපමණක් නොව මේ නිෂ්පාදනවල වෙළෙඳ දැන්වීම් වෙනුවෙන් පෙනී සිටින්නේ ද ලොව බබළවන අංක එකේ තරුය. ඒ දැන්වීම් වෙනුවෙන් ඔවුන්ට ලැබෙන ගෙවීම් ද සංඛ්‍යා හත අටක ඉලක්කමකි.

ලාංකේය අපට මේවා හීන වුවද අපේ රටේ සුපිරි පැලැන්තිය මේවා මිල දී ගනී. මේ නිෂ්පාදන සමාගම් කාන්තාවන්ට පමණක් නොව පිරිමි අය සඳහා ද මේ සියලු දෑ නිෂ්පාදනය කරයි. නමුත් කතා බහට ලක්වෙන්නේ කාන්තාවන් අතරය.

මේ නිෂ්පාදන සඳහා ලොව ඇති ජනප්‍රියත්වය නිසාම මේවායේ හොර නිෂ්පාදන හෙවත් ඩුප්ලිකේට් නිෂ්පාදන ද බොහෝය. ඒ ඩුප්ලිකේට් ලංකාවේ වෙළෙඳපොළේ දැකගත හැකියි. මේ ලියන මම ඩියෝ හෑන්ඩ් බෑගයකට මොනතරම් ආශා වී ද යත් මගේ ප්‍රංශයේ හා ඉතාලියේ වෙසෙන මිතුරියනට ඒ එකක් මා වෙනුවෙන් මිල දී ගෙන එවන ලෙස පැවසූ මොහොතේ ඔවුන් කීවේ අපේ මාසික වැටුපවත් ඒ බෑග් එකක් මිලදී ගන්නට ප්‍රමාණවත් නොවන බවකි. ඩියෝ ඩුප්ලිකේට් බෑග් කොළඹ අලෙවි වන්නේ උණු කැවුම් මෙනි. ඒවා රුපියල් 20000 ක් වැනි මුදලකට මිල දී ගත හැකියි.

එවැනි විසිදහසට තිස්දහට අපට මිලදී ගන්නට ඇති සැබෑ වෙළෙඳ නාම යටතේ තිබෙන්නේ බිර්කින්ස්ටොක් පාවහන්, ඇල්ඩෝ, කාර්පිසා, ටොමී හිල්ෆිගර්, ගුඑස් වැනි වෙළෙඳ නාම යටතේ එන පාවහන් හා හෑන්ඩ් බෑග් හා ඇඟලුම්ය. ගුඑස් හෑන්ඩ් බෑගයක් රුපියල් පනස් දහසක් පමණ වේ. ඔරලෝසුවක් වුවද එවැනි මිලකි. හොරග්ලාස් මේක්-අප් කට්ටලයක්, ජෝ මෙලෝන් සුවඳ විලවුන් කුප්පියක්, කාටියර් ලව් බ්‍රේස්ලට් එකක්, ඩියෝ හෑන්ඩ් බෑග් එකක්, ලුවි වුටන් ඇඟලුමක් දවසක අපේ ළඳුන්ගේත් පරිහරණයට ලැබෙන දවසක් අද නැතත් අනාගතයේ දිනෙක දීවත් උදා වේවා!