වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
හෙයා අයන් එක නිවැරැදිව භාවිත කරන්නේ කොහොම ද?
ප්රශ්නය
මම නිතර හෙයා අයන් එක භාවිත කරමි. මෑතක සිට මාගේ හිස කෙස් කැඩී ගැලවී යයි. මෙය මා භාවිත කරන හෙයා අයන් එකේ වරදක් ද? නැතිනම් එය මා පාවිච්චි විදිහේ වරදක් ද?
අනුරාධපුරය - ඉසංකා
පිළිතුර
වැරැදි හෙයාර් අයන් එකක් භාවිත කිරීමෙන් හෝ එය වැරදි ලෙස භාවිත කිරීමකින් ඔබේ හිස කෙස්වලට හානි සිදු වීමේ අවදානමක් තිබෙනවා. වැරැදි භාවිතය නිසා බොහෝ විට හිස කෙස් පිලිස්සී යෑම, හිස කෙස් දිරා යෑම, හිස කෙස් මැදින් කැඩී යාම, හිස කෙස් අග පැලීම, හිස කෙස් වියළී යාම, හිස කෙස් වැටීම සහ හිස කෙස්වලට මලානික පෙනුමක් ලැබීම වගේ ගැටලු ඇති වෙනවා. මේ නිසා පළමුව ඔබ පිළිගත් ප්‍රමිතියකින් යුතු, සහතික කර ඇති හෙයාර් අයන් එකක් මිලදී ගත යුතුයි. ආවාට ගියාට, මිල අඩුවට තිබුණට, ගුණාත්මක බැවින් අඩු හෙයාර් අයන් මිලදී ගන්න එපා. ඔබේ හිස කෙස් පළුදු වී ඇත්නම්, ඔබ හෙයාර් අයන් එක භාවිත කළ යුත්තේ ඉතා පරෙස්සමිනි. පළුදු වූ හිස කෙස් යනුවෙන් අදහස් කරන්නේ වරක් හෝ ස්ට්‍රේට් හෝ පර්ම් කළ, රසායනික ද්‍රව්‍ය යොදා වර්ණ ගැන්වූ හිස කෙස්ය.
හෙයාර් අයන් එකේ උෂ්ණත්වය ගැන සැලකිලිමත් වන්න. උෂ්ණත්වය වැඩි වන තරමට එය ඔබේ කෙස් කලඹට හානි කරන බව මතක තබා ගන්න. මෙහි උෂ්ණත්වය සෑම විටම සෙල්සියස් අංශක 185ට අඩුවෙන් තබා ගැනීමට කල්පනාකාරී වන්න.
හෙයාර් අයන් එකක් භාවිත කරනවා නම්, හිස කෙස් වියළා ගැනීම සඳහා හෙයාර් ඩ්‍රයරයක් භාවිත නොකරන තරමට හොඳය. ඒ උපකරණ දෙකෙන්ම සිදු වන්නේ හිස කෙස් රත් කිරීම වන නිසාය. තෙත කොණ්ඩය කෙදිනකවත් අයන් කරන්න යන්න එපා.
හදිස්සියට බොහෝ යුවතියන් එසේ කළත් එය ඔබේ කෙස්වලට හානි කරනවා. ඇතැම් විට කොණ්ඩය පිලිස්සෙන ආකාරය ඔබටම දැනෙනවා විය හැකියි. මෙසේ කොණ්ඩය පිලිස්සුණු විට එය නැවත යථා තත්ත්වයට පත් කළ නොහැකියි.
අපිරිසුදු හිස කෙස් අයන් කිරීම නොකළ යුතුයි. මේ නිසා ඔබ කෙස් අයන් කළ යුත්තේ ස්නානයකර වියළා ගැනීමෙන් පසුවයි. හිස කෙස්වලට සිදු විය හැකි හානිය වළක්වා ගැනීමට හොඳ ක්‍රමය වන්නේ කෙස් කුඩා කොටස්වලට වෙන් කර, එක කොටස බැගින් අයන් කිරීමයි.
මීට අමතරව දැන් වෙළඳපොළේ හීට් ප්‍රොටෙක්ෂන් ස්ප්‍රේ තිබෙනවා. හිස කෙස් අයන් කිරීමට පෙර මෙය භාවිත කිරීමෙන් හිස කෙස්වලට සිදු වෙන හානිය අවම කර ගන්න පුළුවන්.
සෙරමික්, ටයිටෙනියම් සහ ටර්මලින් ලෙස හෙයාර් අයන් වර්ග තුනක්ම පැවතියත්, නිවෙසේ සිට තමාගේ කෙස් අයන් කරන අයකුට වඩාත් ආරක්ෂාකාරී වන්නේ සෙරමික් වර්ගයේ හෙයාර් අයන් එකකි.
උපදෙස්
ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී
මානෙල් කොටුවේගොඩ
2020/08/19 තරුණි පුවත්පත බලන්න