එයාගේ අත්දෙකේ ලස්සන

ජූලි 1, 2024

ඔබට ඇත්තේ ගොරෝසු දෑතක් නම් මෙනිකියු මඟින් එය මඟහරවා ගත හැකිවනු ඇත.

මෙනිකියු සත්කාරයෙන් ලැබෙන ප්‍රතිලාභ බොහෝය. හොඳින් රැක බලා ගන්නා දෑතක් හැමවිටම ආකර්ෂණීය එකක්වනු ඇත.

සැර සබන් සහ ඩිටර්ජන් භාවිතයෙන් ද අත්වල මෘදුබව කෙමෙන් අඩුව යාවී. මෙනිකියු වෙතින් සිදුවන්නේ නියපොතු ඔප දැමීමට එහා ගිය කර්තව්‍යයකි.

* පිරිසුදු සහ නැවුම් බවක්

මෙනිකියු සත්කාරය ඔබේ දෑතට පිරිසුදුබවක්

මෙන්ම නැවුම්බවක් ද ගෙන දෙයි.

දෑත් කෙරෙහි අවධානය යොමු නොකළහොත්

එය ඔබේ සමස්ත පෙනුමටම බලපායි.

* ආත්ම අභිමානය වැඩිදියුණු කරයි

ආකර්ෂණීය, පිරිපුන් දෑතක් වෙනුවට රැලි

වැටුණු, අක්‍රමවත්ව නියපොතු ඇති දෑතක්

ඔබේ ආත්ම අභිමානය හීන කරයි.

* රුධිර සංසරණය වැඩිදියුණු කරයි

රුධිර සංසරණය මනාව සිදුවන්නේ නම්

වඩාත් තරුණ පෙනුමක් ද ගෙනදෙයි.

නියපොතු ශක්තිමත් වන්නේ ද මනා රුධිර

සංසරණයක් ඇති විටයි.

 

මෙනිකියු කිරීමේ පියවර්‍

 

1. ස්ථානය සූදානම් කිරීම

මෙනිකියු සත්කාරය කරනු ලබන ටේබල් එක

විෂබීජනාශකයකින් පිස දමා පිරිසුදු ටවල් එකක් දමාගන්න.

* සුදුසු ටේබල් ලෑම්ප් එකක් ඒ මත තබන්න.

* අවශ්‍ය අනෙකුත් ද්‍රව්‍ය හා උපකරණ ට්‍රේ

එකක් මතට ගැනීමට පහසු ආකාරයට තබාගන්න.

* මඳ උණුසුම් ජල භාජනයක් සහ විෂබීජනාශක ෂැම්පු සහිත මඳ උණුසුම්

භාජනයක් සාදාගන්න.

 

2. සේවාදායකයා සූදානම් කිරීම

* සේවාදායකයාගේ දෙඅත් නිරාවරණයවන ආකාරයට ඇඳුම් සකසා ගන්න.

* පහසු ආකාරයට වාඩි කරවන්න.

* සේවාදායකයාගේ උකුළ මතට ටවල් එකක් එලන්න.

3.දෙඅත් පිරිසුදු කිරීම

* සේවාදායකයාගේ දෙඅත් ඉහත සූදානම් කරන ලද ජල භාජනයට දමා විනාඩි කිහිපයක් තබා නෙල් බ්‍රෂ් එකකින් අතුල්ලමින් හොඳින් පිරිසුදු කරගන්න.

* ඉන්පසු අනෙක් පිරිසුදු ජල භාජනයට දෙඅත් දමා සෝදන්න.

* දෙඅත් පිටතට ගෙන තුවාය මඟින් තෙත මාත්තු කරන්න.

4. ආලේපකර ඇති පරණ නිය ආලේපන ඉවත් කිරීම

* නේල් පොලිෂ් රිමුවර් ටිකක් පුළුන් කැබැල්ලක පොඟවා වම් අතේ සුළැඟිල්ල දක්වා පරණ නිය ආලේපන ඉවත් කරන්න.

* මෙහිදී නේල් පොලිෂ් රිමුවර් පොඟවන ලද පුළුන් කැබැල්ලක් නිය මත තබා තද කරගෙන තත්පර කිහිපයක් තබාගෙන සිට පිටතට පිස දමන්න.

* නිය ආලේපන කියුටිකල් එක මත තැවරී ඇත්නම් ඔරේන්ජ් ස්ටික් එක වටා ඔතා ගන්න.

* පුළුන් කැබැල්ලකට නේල් පොලිෂ් රිමූවර් දමා පිස දමන්න.

5. නියපොතු කැපීම හා හැඩගැන්වීම

* නේල් ක්ලිපර් එක භාවිතකර නියපොතු කැබලි විසි නොවන සේ කපා ගන්න.

* අවශ්‍ය හැඩයට කපාගත හැකියි.

6. නේල් ෆයිල් එක භාවිතකර නියපොතු හැඩ කරගන්න.

* නෙල් ෆයිල් කිරීමේදී අංශක 45ට පමණ ආනතව තබාගන්න.

7. නේල් බෆර් එක භාවිතයෙන් නියපොතුවල දුර්වර්ණ බව හා රළු බව නැතිකර සුසිනිඳු කරගන්න.

8. කියුටිකල් තල්ලු කිරීම

කියුටිකල් ක්‍රීම් ස්වල්පයක් ගෙන කියුටිකල් එක මත ආලේප කරන්න. (මොයිස්චරයිසර් හෝ මසාජ් ක්‍රීම්)

* මාපට ඇඟිල්ල ආධාරයෙන් සියුම්ව රවුම්ව මසාජ් කරන්න.

* කියුටිකල් පුෂර් එක භාවිතකර කියුටිකල් එක පස්සට තල්ලු කරන්න.

* මෙහිදී අනවශ්‍ය ලෙස කියුටිකල් එක පස්සට තල්ලු කිරීමෙන් තුවාල කිරීමක් නොකර අවශ්‍ය නම් පමණක් කියුටිකල් සිසර් එක (කතුර) භාවිතයෙන් ප්‍රවේශමෙන් කියුටිකල් එකේ ඉහළට මතුවී ඇති අනවශ්‍ය මස් කැබලි කපා දමන්න.

* අවසානයේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ස්වල්පයක් පුළුන් කැබැල්ලක පොඟවා පිස දමන්න.

9. දෙඅත්වල මැරුණු සම ඉවත් කිරීමට ස්ක්‍රබ් කිරීම

* ස්ක්‍රබ් ටිකක් දෙඅත්වල තවරා විනාඩි දෙකක් පමණ තිබෙන්නට හැර ඉන්පසු රවුම් ආකාරයට ස්ක්‍රබ් කරන්න.

* ඉන්පසු ස්ක්‍රබ් එක ඉවත්කර හොඳින් සෝදා තෙත මාත්තු කරන්න.

10. පැක් එකක් යෙදීම

* දෙඅතේම හෑන්ඩ් පැක් එකක් ආලේප කරන්න. මිශ්‍රණය ගෙන බ්‍රෂ් එකක් ආධාරයෙන් ආලේප කරන්න.

* අවශ්‍ය පමණ වේළෙන්නට හැර (විනාඩි විස්සක්)

සෝදා තෙත මාත්තු කරගන්න.

11. දෙඅත් සම්බාහනය කිරීම

* සේවාදායකයාගේ වම් අත ගෙන මසාජ් ජෙල් ආලේප කරන්න.

* එම අත මසාජ්කර අවසානයේ ටවල් එකකින් වසා තබන්න.

* ඉන්පසු අනෙක් අත ගෙන මසාජ් කරන්න * අනෙක් අත ද මසාජ්කර අවසානයේ ටවල් එකකින් වසා තබන්න.

* උණුසුම් ජල භාජනයට ටවල් එක දමා මිරිකාගන්න.

 

* එම ටවල් එකෙන් දෙඅත් සහ නියපොතු හොඳින් පිස දමන්න.

12.නිය ආලේපන ගැල්වීම

* නිය ආලේපන ගැලවිය යුත්තේ වම් අතේ සුළැඟිල්ලේ සිටත් දකුණු අතේ සුළැඟිල්ලේ සිටත් මාපට ඇඟිල්ල දක්වායි.

* නිය ආලේපන ගැල්වීමේදී පළමුව නිය මැද්ද ඉන්පසු දෙපස ද ගල්වන්න.

 

නිය ආලේපන ගැල්වීමේ පියවර

 

බේස් කෝඩ් - මෙය පළමුවෙන් ආලේප කරන්නේ නියපොත්තේ ආරක්ෂාවටයි.

නේල් පොලිෂ් - දෙවනුව ආලේප කෙරේ. මෙමඟින් සේවාදායකයාට අවශ්‍ය වර්ණය ආලේප කරගත හැකියි.

ටොප් කෝඩ් - තෙවනුව ආලේප කෙරේ. මෙමඟින් නිය ආලේපනයට ආරක්ෂාව ද අලංකාරයද ගෙන දේ. අවශ්‍ය නම් නේල් ඩ්‍රයර් එක පාවිච්චි කරන්න.

ඔරේන්ජ් ස්ටික් - අවසානයේ නියපොතුවලින් පිටත ගෑවුණු ආලේපන ඉවත්කර ගැනීමට මෙය භාවිත කරයි.

මෙනිකියු එක අවසානයේදී

* ස්ථානය පිරිසුදු කරගන්න.

* පාවිච්චි කරන ලද උපකරණ පිරිසුදු කරගන්න.

* ජීවානුහරණය කරන ලද එම උපකරණ

ෆොයිල් කොළවල ඔතා තබන්න.

* ටවල් විෂබීජනාශක දමා වේළාගන්න.

* පාවිච්චි කළ පසු සියල්ල නියමිත ස්ථානවල තබන්න.

 

ඉදිරිපත් කිරීම
ප්‍රවීණ මනාලියන් හැඩගැන්වීමේ සහ රූපලාවණ්‍ය පිළිබඳ ශිල්පිනි ඉෂාරා කෝරළගේ