හැඩ වැඩි කර ලෙඩ අඩු කරන අලුත් ම ක්‍රමය

නොවැම්බර් 29, 2021

 

බර, බඩ අඩුකර ගෙන ලෙඩ අඩුකර ගන්න පහසු ක්‍රමවේදයක් වූ වන්නකු මෙතඩ් ඉදිරිපත් කරන වෛද්‍ය ජානක වන්නකු සමඟ සිදු කළ සාකච්ඡාවේ ඉතිරි කොටස..

 

පසුගිය සතියේ ලිපියෙහි අවසාන ගැටලුවට වෙනත් පිළිතුරක් ප්‍රමාද දෝෂයකින් පළවී ඇති අතර අද එම ගැටලුවට අදාළ පිළිතුර පළවේ.

 

 විවිධ වූ ආහාර පාලනය කිරීමේ ක්‍රම නැතිනම් ඩයට් ප්ලෑන් සමාජයේ කොතෙකුත් තියෙනවා. අනෙක් ඩයට් ප්ලෑන් වලට වඩා මෙහි ඇති විශේෂත්වය මොකක්ද?

මේ ක්‍රමයෙහි පියවර 10ක් පමණ විස්තර කරනවා. ආහාර පමණක් නෙවෙයි, සම්පූර්ණ ජිවන රටාවම වෙනස් කළයුතු ආකාරය මෙහිදී විස්තර කෙරෙනවා. එනිසා මෙය ඩයට් ප්ලෑන් එකකට එහා ගිය ජීවන රටාවක්.

අපේ ජීවන රටාව, ආහර රටාව තරමක් වෙනස්කර ගැනීමයි මේ ක්‍රමයේ විශේෂත්වය.

මෙහිදී අපි ආහාර ගන්න ප්‍රමාණයට වඩා ආහාර වර්ග අතර අනුපාතයත් ආහාර ගන්නා වේලාවත් ගැන දැඩි අවධානයක් යොමුකරනවා.

ඊට අමතරව රාත්‍රී නිදාගන්න වෙලාව සහ ව්‍යායාම කිරීම ගැනත් අවධානය යොමු කරනවා. මේ ව්‍යායාම අවුරුදු 60 ඉක්ම වූ කෙනකුට වුවත් නිවෙසේ සිට ම ආරම්භ කරලා ප්‍රතිඵල ගන්න පුළුවන් විදියට තමයි හඳුන්වා දීලා තියෙන්නේ. මේ සඳහා උපකරණ හෝ මුදල් වැය වන්නේ නෑ.

අනෙක් විශේෂත්වය තමයි මේ ක්‍රමය තුළ දේශීය ආහාරවලට මුල් තැනක් ලබා දීම. කිසිම කෘත්‍රිම ආහාරයක් මේ ක්‍රමයේ දී ගන්නේ නෑ.

ඒ නිසා වැඩි වියදමක් නැතිව ගෙදර හදන සාමාන්‍ය කෑම වේලෙන් ම මෙය සිදුකර ගන්න පුළුවන්. මේ ක්‍රමයේ දී වැඩි වැදගත්කමක් දෙන්නේ පොල්සම්බෝල, බිත්තර සහ මීකිරි කියන කෑම වර්ගවලට. මොකද අපේ රටේ වැඩි පිරිසක් මස්, මාළු කන්න ඒ තරම් කැමැත්තක් නැහැ. ඒනිසයි මේ ආහාර අපේ ක්‍රමයට එකතු කළේ.

 

අපේ පොල්සම්බෝලය කියන්නේ දිව්‍යමය ආහාරයක්. පිටරටවල පොල් සහ ඒ ආශ්‍රි්‍රත ආහාර සඳහා අධික මිලක් වියදම් වෙනවා.

නමුත් අපේ රටේ පොල් හැමතැනම තියෙන නිසා අපට එහි කිසි අගයක් නෑ. පොල් තෙල්වල වගේ පොල්සම්බෝලවල ප්‍රමිතිය ගැන ගැටලුවක් එන්නෙත් නෑ. කොහොම වුණත් හැකි හැම වෙලාවකම ආහාරයේ ඇති ස්වභාවය පවතින ආකාරයට ම අහාරයට ගන්නවා නම් වඩාත් හොඳයි.

මේ ජීවන රටාව පුරුදු පුහුණු කිරීමෙන් කෙනෙකුට ලැබෙන ප්‍රතිලාභ මොනවද?

ප්‍රධාන ම දේ සිරුරේ පවතින අනවශ්‍ය මේදය ඉවත් වීම. දියවැඩියාව, අක්මාවේ තෙල් බැඳීම (ෆැටි ලිවර්), අධි රුධිර පීඩනය, රුධිරයේ කොලෙස්ටරෝල් වල අසාමාන්‍යතා, කාන්තාවන්ගේ ආර්ථවය හා බැඳුණු රෝගයක් වන පොලිසිස්ටික් ඔවරි සින්ඩ්‍රෝමය, ගර්භණී සමයේ දියවැඩියාව, ළමා ස්ථුලතාව ආදී ස්ථුලතාව හා බැඳුණු රෝග සමූහයක් ම තියෙනවා.

වන්නකු මෙතඩ් හරහා මේ සියල්ලට ම සහනයක් ලබා ගන්න පුළුවන්. මේ රෝග බෙහෙත් වලින් නිට්ටාවට සුවවෙන්නේ නැහැ. පෙතිවලින් කරන්න පුළුවන් රෝග ලක්ෂණ යම් පමණකට පාලනය කිරීම පමණයි. නමුත් මේ රෝග සියල්ලම ආහාර සහ ජීවන රටාව නිසා ඇතිවන බව තමයි මේ වනවිට වෛද්‍ය මතය වන්නේ. ඒ නිසා ජීවන රටාවේ වෙනස්කම් මඟින් මේ රෝගවලට පිළියම් කිරීමත් සිදුකළ හැකියි.

මේ රෝග සියල්ලේම රෝග මූලය වන්නේ සිරුරේ ඉන්සියුලින් හෝමෝනයට ඇති ප්‍රතිරෝධය. ඉන්සියුලින් හෝමෝනය තමයි අප ගන්නා ආහාරවලට කුමක් සිදු කරන්නේද යන්න තීරණය කරන ප්‍රධාන හෝමෝනය. ඉන්සියුලින් ශ්‍රාවය වන්නේ ඔබ ගන්නා ආහාරයේ ඇති පැණි රස හා පිෂ්ටය සහිත ආහාර නිසයි.

අපේ රටේ ජනප්‍රිය ආහාර වන බත්, කොස්, කොත්තු, කෙටි ආහාර, පාන් පිටිවලින් සකසන ආහාර සහ චොක්ලට්, අයිස්ක්‍රීම් වැනි පැණිරස අධික ආහාර නිසා සිරුරේ අධික ලෙස ඉන්සියුලින් ශ්‍රාවය වැඩි කරනවා. සිරුරේ ඉන්සියුලින් ප්‍රතිරෝධය ඇති වන්නේ සිරුරේ පවතින අධික ඉන්සියුලින් ප්‍රමාණය නිසයි. ඉහත පැවසූ සියලුම රෝග ඇතිවන්නේ ඉන්සියුලින් ප්‍රතිරෝධය නිසයි.

ඒ වගේම අපේ ජීවන රටාවට හුරු වුණ බොහෝ දෙනෙක් මට පැවසුවා ඔවුනට තිබූ මිග්‍රේන් තත්ත්වය මේ ක්‍රමයෙන් සුව වූ බව.

පිෂ්ටය අඩු ආහාර රටාවේ දී මිග්‍රේන් සුව වන බව මම අහලා තිබුණත් ඒ ගැන අත්දැකීමක් තිබුණේ නෑ. මොකද මිග්‍රේන් තියෙන අයට ආහාර රටාව වෙනස් කරන්න කියන්නේ නැති නිසා.

රාත්‍රියේ දී නින්දෙන් ගෙරවීමටත් මේ ක්‍රමයෙන් සාර්ථක විසඳුම් ගන්න පුළුවන්. දිවේ තෙල් තැන්පත් වීම ගෙරවීමට හේතුවක්. අපේ බඩේ වගේම දිවේත් තෙල් තැන්පත් වෙනවා.

මේ හේතුව නිසා තමයි ගෙරවීම සිද්ධ වෙන්නේ. අපි සාමාන්‍යයෙන් දන්න දෙයක් තමයි සිරුරේ බර වැඩිවෙනකොට ගෙරවීම වැඩිවෙන බවත් බර අඩුවෙනකොට ගෙරවීම අඩුවෙන බවත්. ඒ නිසා මේ ක්‍රමයෙන් ඒ අයටත් විසඳුමක් ගන්න පුළුවන්. ගැස්ට්‍රයිටිස් කියන සුලබ රෝගයත් මේ ක්‍රමය නිසා සුවකර ගන්න පුළුවන්. ගොඩක් අයට තියෙන ගැටලුවක් තමයි මේ ආහාර රටාවේදී ගැස්ට්‍රයිටිස් හැදෙයිද කියන එක. බොහෝ දෙනකුට මේ රෝගී තත්ත්වය එන්නේ ආහාර නොගෙන සිටීමෙන් නෙවෙයි.

ගැස්ට්‍රයිටිස් නිසාම බොහෝ දෙනෙක් නිතර කිරි තේ බීමටත්, සැරින් සැරේ ටික ටික විවිධ ආහාර ගැනීමටත් පුරුදු වෙනවා.

කවුරුත් නිරාහාරව සිටීම නිසා නෙවෙයි, ගැස්ට්‍රයිටිස් හැදෙන්නේ උදේ ඉඳන් ඒ විදියට නිතර ආහාර ගැනීම නිසයි. ඒකට ප්‍රධානම හේතුව වෙන්නේ පාන් පිටි, කෘත්‍රිම ආහාර, සීනි, කිරි, එළවළු තෙල් සහ ක්ෂණික ආහාර. ගැස්ට්‍රයිටීස් තියෙන අයට මුලදී මේ ක්‍රමයට අනුගත වෙනකල් තරමක් අපහසු වෙන්න පුළුවන්. නමුත් අපේ ක්‍රමයට හුරු වුණාට පසුව ගැස්ට්‍රයිටිස් ඔබට තවදුරටත් ගැටලුවක් වෙන්නේ නැහැ.

ලෙඩ අඩු කර හැඩ වැඩි කරන හැටි කියාදෙන වෛද්‍ය

ජානක වන්නකු