අමන්දානන්දයට පත් වෙන උමංදාවේ රජ බොජුන් පොල්පිටි අලුවා

අප්‍රේල් 10, 2023

ශ්‍රී ලාංකිකයන් වස විසෙන් තොර දේශීය ආහාරවලට හුරු කරවීමෙහිලා සුවිශේෂී කාර්යභාරයක් ඉටුකරන ස්ථානයක් ලෙස උමංදාව හඳුන්වාදිය හැකියි. සමන්ත භද්‍ර ස්වාමීන් වහන්සේගේ සංකල්පනාවක් මත ඉදි වුණු මේ උමංදාව දේශීය ආහාර ප්‍රවර්ධනය කරන ආදර්ශමත් මොඩලයකි.

 

මේ මොඩලය තුළ නිෂ්පාදනය කරන ආහාර පිළිබඳ මේ දිනවල බොහෝ දෙනකුගේ කතාබහට ලක් වී තිබේ.මෙහි සුවිශේෂත්වය වන්නේ 100% දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන වස විසෙන් තොර ආහාර නිෂ්පාදනය කිරීමයි. මේ ආහාර සඳහා යොදන වර්ණක පවා සකසා ගන්නේ ඔබ අප හොඳින් හඳුනන දේශීය අමුද්‍රව්‍ය ඇසුරෙන් වීමත් විශේෂත්වයකි. අපේ ආහාර සංස්කෘතිය කෙතරම් දියුණු ද පුළුල් ද යන වග උමංදාව අපට නිදර්ශන සහිතවම පෙන්වා දී තිබේ.

 

හැමදාමත් සුවිශේෂී දේ පළමුවෙන්ම ඔබට රැගෙන එන තරුණී පුවත්පත හරහා ලබන සතියේ සිට මේ උමංදාවේ සුවිශේෂ ආහාර සකසා ගන්නා ආකාරය ඔබට කියාදීමට අප සූදානම්. මේ ආහාර අත්හදා බැලීමෙන් මෙරට කෙතරම් ප්‍රණීත ආහාර වර්ග සැකසිය හැකිදැයි ඔබටම දැනෙනු, හැඟෙනු නිසැකයි.

 

පොල්පිටි අලුවා

* යාන්තම් බැදගත් හාල් පිටි ග්‍රෑම් 250ක්

* පොල් කුඩු පිටි ග්‍රෑම් 100ක්

* සීනි ග්‍රෑම් 500ක්

* වතුර කෝප්ප භාගයක්

* කජු මද පහළොවක් පමණ

* ලුණූ අවශ්‍ය පමණට

* සීනි සහ වතුර භාජනයකට දමා ළිප තබා උකුවන තුරු හැඳි ගාන්න.

* ඉන්පසුව මේ උකු සීනි දාවණයට හාල් පිටි හා පොල් පිටි එක් කරන්න. මෙය ඉක්මනින් හැඳිගා ගත යුතුයි.

* කැබලිවලට කැපූ කජු ටිකද එයට මිශ්‍ර කරගන්න

* මෙහි රසය තවදුරටත් වැඩි කරගැනීමට ඔබට බැදගත් මාදුරු කුඩු ස්වල්පයක් ද එක් කර ගත හැකියි.

* රස පදමට ලුණු ස්වල්පයක් ද එකතු කරන්න .

* ඔබේ කැමත්ත වර්ණවත් පොල්පිටි අලුවා කැබැල්ලක රස බැලීමට නම් මෙයට දැන් වර්ණක එකතු කළ යුතුයි.

* ඒ සඳහා නිල් කටරොලු මල්වලින් යුෂ දමා නිල් පාටින් හෝ බීට්රූට් යුෂ දමා රතු පාටින් අලුවා සකසා ගත හැක.

* දැන් වර්ණ දමාගත් මිශ්‍රණය ළිපෙන් පිටතට බාන්න.

* අනතුරුව බටර් තවරන ලද දීසියකට දමා ඔබ කැමති හැඩයට කෑලි කපාගන්න.