දෙවිවරු වැනි වෛද්‍යවරුන්ට උපහාරයක්!

ඔක්තෝබර් 23, 2019

 

වෛද්‍යවරයකුට සමාජයේ හිමිවන්නේ ඉහළම පිළිගැනීමකි. ඒ අප කොයි කවුරුත් රෝගී වූ විට එය සුවපත් කරන්නේ වෛද්‍යවරයා නිසාය. වෛද්‍යවරයා දෙවියකු ලෙස හඳුන්වන්නේ ද ඒ නිසාය.

වෛද්‍යවරයකු වීම ලෙහෙසි නැත. දිවා රෑ නොබලා නිදිවරා වෙහෙසවෙමින් පාඩම් කළ යුතුය. බොහෝවිට යොවුන් වියේ විනෝද වීමට ඇති අවස්ථා මඟහැර දමමින් ඉතා සුවිශේෂී කැපකිරීමක් වෛද්‍ය විද්‍යාලයට තේරීමට ශිෂ්‍ය අවධියේ දී කළයුතුය. ඉන්පසු වෛද්‍ය විද්‍යාලයට ගියපසු වසර 5 කට ආසන්න කාලයක් ඉතාමත් දැඩි කැපවීමක් කළ යුතුය. මේ සියලු කැපකිරීම් අවසන වෛද්‍යවරයකු/වෛද්‍යවරියකු ලෙස රෝගීන්ට ප්‍රතිකාර කිරීම අරඹයි. එතැන් සිට එම වෛද්‍යවරයා කරන කැපකිරීම මත ලබාදෙන සේවයේ ගුණාත්මක භාවය මත ඔහු/ඇය හොඳ වෛද්‍යවරයකු බවට පත්වෙයි.

“එයා නම් දෙවියෙක්”

“අනේ ඒ ඩොක්ටර් කතා කළත් ඇති ලෙඩ සනීප වෙනවා”

“එක බෙහෙත් වේලයි බිව්වේ ලෙඩේ කොහෙන් ගියාද නැහැ”

“ඇස් වහක් කටවහක් නෑ. ඒ ඩොක්ටර්ගේ අත්ගුණේ ගැන”

“අනේ ඒ ඩොක්ටර්ට බුදුබව අත්වෙන්න ඕනේ”

මෙවැනි වදන් රෝගීන්ගේ මුවෙන් නික්මෙන්නේ වෛද්‍යවරයාගේ ක්‍රියාකලාපය මතය.

සැබැවින්ම වෛද්‍යවරයකු වූ පමණින් ඔහු/ඇය හොඳ වෛද්‍යවරයකු වන්නේ නැත. වෛද්‍යවරයා කොතරම් දැනුමින් පිරිපුන් වුවත් නිහතමානී විය යුතුය. තමන් වෙතට එන්නේ මානසිකව හෝ කායිකව දුර්වල වුණු අයකු බව සිතා රෝගියාට හොඳින් කතා කරන්නට, රෝගියාට සවන් දෙන්නට කාලයක් වෙන් කළ යුතුය. අපේ රටේ වෛද්‍යවරුනට ලොව ඇත්තේ ඉහළ පිළිගැනීමකි. ඒ ඔවුන් දැනුමින් පිරිපුන් මෙන්ම අප ඉහත සඳහන් කළ නිහතමානී කමින් යුතු නිසාය.

මේ සටහන තබන්නට හේතුවූයේ කර්තෘ නමට ලැබුණු ලිපි ගොන්නේ තිබූ එක් සුවිශේෂී ලිපියක් නිසාය.

එය එවා තිබුණේ අම්බලන්ගොඩ චන්ද්‍රා මාලිනී ද සිල්වා නම් කිවිඳියක විසිනි. එහි ශීර්ෂය ලෙස ඇය ලියා තිබුණේ සිනාමල් පොකුරකින් රෝගීන් පිළිගන්නා වෛද්‍යවරයා මෙන්න යනුවෙනි.

දෙවියන්ට සමකළ හැකි වෛද්‍යවරුන් දස දහස් ගණනක් වෙනුවෙන් ඇගේ ලිපියෙන් කොටසක් මෙහි පළකරන්නට තීරණය කළෙමු.

බලපිටිය මූලික රෝහලේ ප්‍රධාන ශල්‍ය වෛද්‍යවරයා ලෙස සේවය කරන නිලංග පෙරේරා වෛද්‍යවරයා වෙත ඇය ප්‍රතිකාර ගන්නට ගොස් තිබේ. ඇය තම රෝගය පිළිබඳ බියෙන් සැලෙමින් මේ වෛද්‍යවරයා වෙත ගොස් තිබූ අතර එතුමන්ගේ සිනාපිරි මුව දුටු ඇගේ බිය අඩුවී තිබේ. පසුව රෝගයේ විස්තර අසා ප්‍රතිකාර නියම කර තිබූ අතර ඇය ඉක්මනින් සුවපත් වී ඇත.

යළිත් දිනෙක ඇය එහි ගොස් ඇත්තේ එතුමන්ට ස්තූති කරන්නටය. එතැන් සිට ඇගේ වචනවලින් එම විස්තරය කියවමු.

“අද නම් ඔබ තුමී ආවේ බෙහෙත් ගන්න නෙවි... එහෙම නේද..?”

“ඔව් ඩොක්ටර්.. මට දැන් සනීපයි. ස්තූති කරන්නයි ආවේ” මට පොඩි යෝජනාවක් කරන්න ඕනේ.”

“මොකක්ද කියන්න.”

“ඩොක්ටර් මම කිවිඳියක්. පත්තරවලට කවි, කතා ලියනවා. පත්තරේ කවි පළවෙනවා. ‘සමන් මල් පියළි“ කියලා කවි සඟරාවකුත් කළා. ඔබතුමාගේ සේවය ගැන කවි පන්තියක් ලියලා පත්තරේ දාන්න ද?”

“අනේ... කොච්චර හොඳ ද?.. මමත් කවියට ආසයි. ලියන්න... ..අර කවි පොතක් මට ගෙනත් දෙන්න..”

“ඩොක්ටර් තව යෝජනාවක්... ඒකටත් කැමැත්ත දෙන්න.. මට ඔබතුමාට වඩා වයස ඇති පුතුන් ඉන්නවා. මට පුත්තු හතයි. කවියයි, ගීතයයි තමයි මගේ සතුට, විනෝදය ඔබතුමාට අපි ගෞරව කරන්න ඕනේ...”

බැඳීමක් ඇතිවෙනවා නෑදෑකමක් තියෙන විදිහට අමතනවානම්, ඒනිසා මට හිතෙනවා ඔබතුමාට ‘පුතා’ කියලා ආමන්ත්‍රණය කරන්න”

“අනේ ඒක කොච්චර හොඳ ද? ඔබතුමීට අම්මා... ඇන්ටි,, කියන්නම්..”

දැන් මම ඔබතුමීගේ පුතා... මට හරිම සතුටුයි..”

 

“ කුසයේ නොඉපදුනමුත් පුතුනේ ඔබට

මම ආදරෙයි කුස වත් මගෙ පුතු ලෙසට”

 

මම සතුටු සිනා මැද එම කවි දෙපදය කීවෙමි. මගේ යෝජනා දෙකම ස්ථිර වීම මට සැනසීමක් ගෙනදුණි.

එතුමා ගැන කවි පන්තියක් ලියා පුවත්පතක පළ කිරීමට ඇරියෙමි. එය පත්තරේ පළවී තිබෙනු දැක සතුටට පත්වුණෙමි. දොස්තර මහතාට එය පෙන්වීම සඳහා ගියේ මා ද සිනාමලින් මුව සරසා ගෙනය. එතුමා සිනාමලින් යුක්තව සිතින් කවි පන්තිය කියවා මා දෙස බලා ලස්සනට පිරුණු සිනාවක් පා මගේ දෙඅත් අල්ලාගෙන සුබ පැතුම් පිදුවේය.

“හරිම ලස්සනයි කවි ටික... කිසිම කෙනෙක් මේ වගේ මගේ සේවය අගය කළේ නැහැ. ඇන්ටි තමයි මාව තේරුම් ගත්තේ... මේක මට කළ උපහාරයක්.. පුදුම සතුටක් මට .. “ මෙසේ කියමින් මට සුබ පැතීය.

 

මම පුවත්පතේ නිතරම කවි පළවූ පසු එම කවි පන්තිය ෆොටෝ කොපි ලෙස සකස් කර එතුමා අතට පත් කළෙමි. ඒ යන සෑම වාරයකම එතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමට යොමු වුණෙමි. එතුමා ගැන පළවූ කවි පන්තිය පි‍්‍රන්ට්කර චැනල් කාමරයේ බිත්තියක එල්ලා තැබීමට පවා මට හැකියාව ලැබුණි. මේ වගේ වෛද්‍යවරු ඉන්නවා නම්.... එතුමන්ලාගේ වචනවලින්.... සිනාවෙන්... කිව නොහැකි තරම් සුවදායී සහනයක් අපේ රෝගීන් හට ලැබෙනවා සහතිකමයි. රෝගියාගේ මනසට ගතට ලැබෙන සුවය ගැන මොනවට කියන්න ද? ඇත්තටම රෝගීන් එවැනි සුහදශීලී දයාබර වෛදතුමකු/තුමියකු දුටු පමණින් තරමක හෝ සුවයක් ලැබෙන එක සත්‍යයකි. මම කිහිප දෙනකුට මේ වෛද්‍යවරයා ගැන විස්තර කියා කිහිප දෙනකු සුවපත් කිරීමට දායක වුණෙමි.

 

 

 

මේ ඔබේ,

ආදරණීය

 

 

ඉඳුනිල් වීරරත්න

[email protected]

0112429591

[email protected]