වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
නෙළාගත් කවි කුසුම
පාසල් බිමට දුක හිතිලා...
වෙනදට ඇහෙන සීනුව අද නිහඬ වෙලා
පාසල් බිමත් හොඳටම දැන් පාළු වෙලා
සුරතල් දරු කතා සේරම නතර වෙලා
කවදා නැවත ඒවිද සැම සිනා වෙලා
උදේ පාන්දර පොත අත්සන් කරලා
පාසල් මිදුලෙ වටයක් සක්මන් කරලා
පාසල් ගේට්ටුව ළඟ යුතුකම් කරලා
විදුහල්පති තුමිය නෑ අද සිනා සලා
මල් මල් සාරි ඇඳලා නෙක නෙක පාට
ගුරුවරු අලංකාරයි එන පාසලට
දරු දැරියන් ද ඇඳලා කිරි සුදු පාට
අද මේ බිමේ කවුරුත් නෑ බැලුවාට
වෙනදා වගේ කඩිසර කමකුත් නැත්තේ
මල් ගස් මැලවිලා මල් පිපිලත් නැත්තේ
නාගස් සෙවණෙ අපෙ සර්ලත් ඇයි නැත්තේ
පාසල පටන් ගත්තොත් නරකම නැත්තේ
ඩෙස් පුටු දරුවො නැති හන්දා සැතපෙනවා
ගුරු මේසයයි ගුරු පුටුවයි තනි වෙනවා
අකුරු නැතිව කළු ලෑල්ල බුම්මනවා
පංති කාමරෙත් හොරැහින් වැළපෙනවා
ගණිතාගාරෙ අද මොකදෝ නිසොල්මනේ
සංගීතෙන් ඇහෙන හඬ නෑ වයලීනේ
නැටුම් කාමරේ බෙර ගෙඩි නිදිද අනේ
ක්‍රීඩා කරන දරුවන් කෝ පිට්ටනියේ
සවන් දෙන්න ලෙස නෑ දැන් පණිවිඩය
රිලීෆ් අරන් යන්නෙත් නෑ හිටිහැටිය
කොම්පියුටර් හෙමත් අද මෙහි නිහඬමවය
පාසල් බිමෙත් නෙතු අග මේ කඳුළුමය
නිලන්ති ගංගා රත්නසේකර
නියෝජ්‍ය විදුහල්පති
ර/ජේසු බිලිඳාගේ කන්‍යාරාම ජාතික පාසල
කොරෝනා ව්‍යසනය නිසා වැසුණු පාසලක කාලීන අත්දැකීමක් කිවිඳිය කවියට නඟා ඇත. හෘද සංවේදීය.
සංසාරේ හැටි
ගංදියට නැමි අතු ඉතී
තුමුල තුර, පෙම් හිත ඇති
ගං දියෙන් සැනසෙන්නැති
ගඟට පෙම්බැඳ ඉන්නැතී...
පෙමින් මුදහළ මල් පෙතී
ගඟ පහළ ගෙන යන්නැතී
හරි හැටිම පැවසුන්නැතී
පෙමක් හිතයට ඉන්නැතී...
කල දවස ඉගිලෙන්නැතී
ගඟත් වියපත් වෙන්නැතී
ගං දියට බැඳි සිත්ඇතී
ගස ඉපල් පලඳින්නැතී
කඳුළු දියකර නිම්නැතී
අමුතු පබැඳුම් එන්නැතී
නොපළ පෙම මියැදෙන්නැතී
සංසාරෙ හැටි වෙන්නැතී
එස්. ජේ. එම්. එස්. කුමාර සඳරත්
කුලියාපිටිය
පිදුරුතලාගල තරම් සෙනෙහස
පුර සඳක් ලෙස ඔබෙ අඳුරු ලොව
එළිය කළ සුදු මැණික මං
අවපසේ අව සඳක් ලෙස අද
හිතට ඔබෙ මා දැනේ නම්
පණවගේ පෙම පිදු හිත ළඟ
අනේ ඔබ නොම රැඳේ නම්
තවත් කවුරුත් එපා දැන් මට
තනිවෙලා මං හිඳින්නම්...
ඇඟිලි තුඩු අග රිදෙන තුරු එවු
කෙටි පණිවුඩ මොනතරම්
නොවැටහුනෙ ඇයි සොඳුරු ඔය සිත
නපුරු වුණෙ ඇයි මේතරම්
නොදන්නෙද නුඹ ආදරේ බව
නුඹට මං මගෙ පණ තරම්
පිදුරුතලාගල පවා හැඬුවා
මගේ දුක දැක රත්තරං
ඔෂීන් දිසානායක හම්බන්තොට
දයාබර දස්කොන්
ඇස තෙමන්නට නොවෙයි
මුහුණ මඟහරින්නේ
හිත පෙළන්නට නොවෙයි
සක්මනට නොඑන්නේ
මතකය ම මී විතකි
එයිනි දිවි ගෙවෙන්නේ
අතහැරීමට තමයි
ආදරේ කියන්නේ
අනුරාධා නිල්මිණි
ආදරය පිළිබඳ බොහෝ දෙනා තුළ නොවන හැඟීමක් කිවිඳිය මතුකරයි. අත හැරීම ආදරය සේ පිළිගන්නට පෙම්වතුන් සූදානම්ද? මඳහසක මැදියම කෘතියෙනි.
මල් කිනිත්තියකට ඇහැරිලා
මල් කිනිත්තියකට ඇහැරිලා
මල් ගොමුවෙ එබිකම් කළා
මුනි පුදට යන්නට සැරසිලා
ඉඟි - බිඟි කළෝ
අක්කණ්ඩිලා - අක්කණ්ඩිලා
රෝස, අරලිය - ඉද්ද - වතුසුදු
සුදු වතින් සැරසිලා
ගියෝ... උන් මුනි පුදට
කිටි- කිටියෙ හිරවිලා
නමත් වදයක් - මට අනේ
කුලෙත් වදයක් මට අනේ
කඳුළු බිඳුවක් මෝදුවී
රතු සළුවෙ වැටිලා කොනේ
රතු වද කුමරියක් ඇඬුවා අනේ
එන්. ජී. එල්. ආර්. මැණිකේ
මියනවිට
දැරණියගල
එපුර
ලලන තී
ගමෙන් පිටව
කොලොම්පුරට ගියේ
අමරදේවයන්ගේ ගීතයක
තාලයක් ලෙසින්...
ටික කලකට පසු
එපුර සිට යළිත්
ගමට ආවේ කිමැයි
කපිරිඤ්ඤා ගීතයක
තාලයක් ලෙසින්...
ලීල් චන්ද්‍රසිරි
කුඹුක්වැව
නෑගම්පහ
කිරි සිහිනය
කිරෙන් නොපිරුණු පයෝදර තුඩු
පෙරුම් පුරමින් දින ගණින්නේ
සිඟිති දෙතොලක පහස විඳිනට
ඉටු නොවූ කිරි සිහිනයේ
උකුළ සුව යහනක් සදා
නලවන්න උණුසුමේ සතපා
බිලින්දෙක් එනතුරු සිටින්නේ
ඉටු නොවූ කිරි සිහිනයේ
වසර ගණනක් පෙරුම් පුරමින්
කුස ගැබේ ඉඩ තබාගනිමින්
වඩිනතෙක් හිමිකාරයෙක්
දකිමි සැමදා කිරි සිහිනයක්
අමිතා පද්ම කුමාරි
කොළඹ - 05.
සරා සඳ
සරා සඳට පෙම් කළාද
නොදන්නෙමි මෙමා
ඔබෙන් ලැබූ පෙම පෙමක්ද
නොදන්නෙමි මෙමා...
ඇස පිය යට හීන තියා
පෙම් කළාද මා...
සුවඳ තියා ඔබ ගියාද
නොදන්නෙමි මෙමා
සරා සඳට රැවටුණ ද
නොදන්නෙමි මෙමා...
මට නොකියා ඔහු ගියාද
නොදන්නෙමි මෙමා...
කේ. එම්. එච්. ඩී. සේපාලි
අරලගන්විල