ආදරයේ මහිමය

විස්තර කරන ඇසිය යුතුම ගීතයක්
දෙසැම්බර් 18, 2019

 

ආදරය පුදුමාකාරය. එයට අරුත් දෙන්නට කිසිවෙක්ට බැරිය. "ආලය අන්ධයි" කෙනකු කියන්නට පුළුවන.

විටෙක එය ඇත්තයැයි පිළිගන්නට අපට සිදුවේ. කුල - මල, උස්-පහත්

දුප්පත්කම, පොහොසත්කම, රූප ස්වාභාවය මේ ආදී කිසි දෙයක් ආදරයේදී වැදගත් වන්නේ නැත. එසේ කියන්නට සිදුවන්නේ ඉතිහාසයේ පටන්ම එන ආදරවන්තයන්, ආදර කතා ගැන විමසිලිමත්ව බලන විටය.

“එක වගේ කුරුල්ලෝ පියාඹන්නේ එකට”. තවත් විටෙක අපි එසේ කියන්නේ සමාන අදහස් ඇති අය එකට හමු වූ විටය. ඇස ඇස ගැටීමෙන් හිත් එකට යා විමෙන් දෙදෙනකු බැඳෙන්නේ පුදුමාකාර ලෙසිනි.

ආදරය, විශ්වාසය, කරුණාව එකිනෙකා කෙරෙහි ගරුකිරීම වගේම එකිනෙකා තේරුම් ගැනීම බැඳීම්වලදී මුල් තැන හිමිවේ. දෙදෙනකු එක වහලක් යට ගත කරන විට මේ මේ අයුරින් ඔවුන්ගේ ජීවන පැවැත්ම සකස් විය යුතුයැයි රූල් ගසා එක දෙක තුන යන පිළිවෙළට අපට කිව නොහැකිය. කවුරුන් කෙසේ කීවත් ජීවත ගෙන යා යුත්තේ ඔවුන්ය. එසේ ජීවිත ගෙනයාමට නම් ආදරය ප්‍රධාන තැන ගනී. නමුත් මියෙනතුරු එකට ජීවත් වෙමු යැයි කී බොහෝ ආදරවන්තයන් වෙන්වන්නේ ඔවුන්වත් නොදන්නා පරිදිය. අවසානයේ වෙන් වූයේ ඇයි දැයි යන්න හේතු කරුණු ඇතිව හෝ පහදා දීමට ඔවුන් නොදනී.

“අපෙ සිතුවිලි කුරුලන් වී

එකට එකතු වු‍ණේ

ඒත් කිමද අපි දෙන්නා

දෙලොවක තනි වුණේ...“

ඉරහද තරුමල් ළඟටම ගෙනැත් දෙන්නම් කී ආදරවන්තයන් හුදෙකලා වීම නම් සැබැවින්ම ඛේදවාචකයකි. වර්තමාන සමාජය දෙස බලන විට අපට හමුවන්නේ ආදරයෙන් බැඳුණ ආදරවන්තයන් වෙනුවට තම තමන්ගේ ලෝකවල හුදෙකලා වී ජීවිත ගෙවන්නෝය. මීට බොහෝ කලකට පෙර ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාරයන් විසින් ලියන ලද මේ ගීතය ප්‍රවීණ ගායන ශිල්පිනී නන්දා මාලනියගේ හඬින් ඇසෙන විට මෙය හුදු විරහා ගීයක් යයි බැහැර කිරීමට නොසිතේ. ඇය ගයන්නේ අද යුගයේ යොහෝ ආදරවන්තයන්ට, විවාපත් යුවළවලට කියාගන්නට බැරිව ළතැවෙන දුක යැයි සිතේ.

“එගොඩ මෙගොඩ අප වෙන් කර

ගඟ ලෝදිය වුණේ

ආදරයේ මහිමෙන් කිම

ලෝදිය නොනිමුණේ...

ජීවිතයක සොඳුරු බව රැඳී ඇත්තේ හිතේ සතුට සැනසිල්ල රැඳී ඇති විටය. නමුදු ඒ කිසිවක් නැති විට ජීවිතය මහා ඛේදවාචකයකි. ඇතැම් මිනිසුන් හිනැහෙන්නේ ලෝකයට පෙනෙන්නටය. ඔවුහු හිත යටින් මහා වේදනා කන්දක් උසුලති.

මිනිසුන් මේ බොරුවෙන් මිදිය යුතු කාලය දැන් එළැඹ ඇත. ආදරයෙන් බැඳෙනවා සේම ඒ ආදරය රැක ගැනීමටත් ඔවුහු උත්සාහ කළ යුතුය. ආදරය නැති සමාජයක් තුළ අපට මනුස්සකම ඇති මිනිසුන් හමු නොවේ. .. එකිනෙකාට ගරු කරන්නන්, එකිනෙකා අගය කරන්නන් හමු නොවේ. පවුලක්, සමාජයක්, රටක් හැටියට ඉදිරියට යන්නට නම් ආදරය ආදරය ලෙසින් තිබිය යුතුය. එකිනෙකා පුංචි දේටත් කා කොටා ගන්නා සමාජයක් තුළ ඒ අය වෙන් කිරීමට මාන බලන්නෝ බොහෝය. එහෙත් ආදරය ඇති විට මේ සියලු බාධක බිඳී යනු ඇත.